සිංහල වචනයක්වත් නෑසෙන ඉසව්වක ශ්‍රී ලාංකිකයන් රංගනයෙන් දායක වෙන සිංහල වේදිකා නාට්‍යයක් තිරගත වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමාන තාක්ෂනික ලෝකයේ වේදිකා නාට්‍යය යන කලා මාධ්‍යය කෙමෙන් කෙමෙන් වියැකි යන වකවානුවක මුහුදු හතක් එහා සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි රටක අපේ රටේ වේදිකා නාට්‍යයක් වේදිකාගත වෙනවා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන් ද?

මේ පුවත අපට ආරංචි වෙන්නේ ලන්ඩනයෙන්. ලන්ඩනයේ ජීවත්වන ලාංකිකයන් පිරිසක් ආරම්භ කළ අරුණළු කලායතනය තම කුලුදුල් නාට්‍යමය නිර්මාණය පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ Leicester පුරවරයේදී එළිදක්වනවා. එම වේදිකා නාට්‍ය නමින් "පටාචාරා". බුද්ධ කතාවල එන පටාචාරා වැහැන්දෑවගේ කතාවස්තුව වස්තු විෂය බවට පත් කරගෙනයි මේ වේදිකා නාට්‍ය නිර්මාණය වී තිබෙන්නේ.

ලොකු කුඩා රංගන ශිල්පීන් 50 කට අධික පිරිසක් රංගනයෙන් දායක වන මෙම දැවැන්ත වේදිකා නිර්මාණය සඳහා කැළණිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය දායතත්වය ලබාදීලා තිබෙනවා.

මෙම කලා නිර්මාණයේ විශේෂත්වය වන්නේ එංගලන්තයේ හැදීවැඩී අධ්‍යාපනය ලබමින් සිටින සිංහල භාෂාව මනාව හැසිරවිය නොහැකි කුඩා දරුවන් පවා මෙම නාට්‍යය නිර්මාණය තුළ සිංහල දෙබස් උච්චාරණය ඉතා නිවැරදිව සිදු කිරීමයි.

පටාචාරා නාට්‍යය පුරාවටම ඇදෙන ගීතමය රංගන අවස්ථා බහුල වන අතර අර්ථාන්විත පද රචනය, ළයාන්විත සංගීතය, කන්කලු ගායනය, මෙන්ම එම ගීතවලට එක්කොට ඇති දැකුම්කළු නර්තනය නාට්‍යය නිර්මාණයට එක්කොට ඇත්තේ වචනයෙන් කිව නොහැකි තරමේ සුන්දරත්වයක්.