සුලෝචනා වීරසිංහගෙන් සංවේදී කතාවක්
රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත සුලෝචනා වීරසිංහ, ගෝල්ෆේස් පිටියේ පැවැත්වුණු නිර්පාක්ෂික අරගලය තුළත් කැපී පෙණුනු චරිතයක්. පසුගිය දිනෙක ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණේ ඡායාරූප කිහිපයක්ද එක් කරමින්.
මේ තියෙන්නෙ ඒ සටහන.
අවුරුදු 38 ක ජීවිතේ මැරෙනකම්ම අමතක කරන්න බැරි දවසක ගත් පින්තූර කීපයක්...
පාරට ආවහම එන්න විදිහක් නෑ....ටිපර් එකක යන්න බලාගෙන පිරිසක් පාරේ හිටියා.අපිටත් යන්න ඉඩක් ඇද්දැයි මගෙ යෙහෙළිය ඇහුවා.."එන්න එන්න අලුත්ම ටිපර් එකක් "කියලා කිව්වා..අලුතෙන්ම වාහනයක් ගත්තහම බොහෝ දෙනෙක් යන්නේ දේවාලෙකට හෝ ආගමික ස්ථානයකට.ඒත් මේ වාහනය මගින් මගට එකම අරමුණක් විතරක් හිතේ තියාගෙන අරගලයට යන්න කිසිම වාහනයක් නැතිව පාගමනින් යමින් හිටි සියයකට ආසන්න පිරිසක් නංවාගෙන අරගල භූමිය කරා පැදෙව්වා..
ඒක හරිම ආදරණීය අද්දැකීමක් මගේ ජීවිතේට එකතු කරපු දවසක්.කිලෝමීටර් 25 ක පමණ දුරක් තැනින් තැනින් ටිපර් එකට ගොඩවුනු අපේම මිනිස්සුන් එක්ක එකපොදියට එකම විරෝධතා පාඨයක් කියමින් ,තිරිංග පාගනවිට එකාඋඩ එකා වැටී සිනාසෙමින්,අරගල භූමියට පා ගමනින් සහ වෙනත් ලොරි,වෑන්,ජීප්,කාර් වැනි වාහනවල නැග යන අපේම මිනිසුන් සහෘද බව කියාපාමින් පිරිනැමූ සිනාවන්ට ප්‍රතිසිනා පාමින්, මහමග වගේම ෂෙඩ් අසල රාජකාරීයේ යෙදී සිටි පොලිසියේ සහ හමුදාවේ සහෝදරයින්ට " තුවක්කුව තියලා යමු අපිත් එක්ක අරගලයට "යැයි කෑගසා කියමින් කොල්ලුපිටිය දක්වා ආ ගමන ජවය පිරුණු අපේක්ෂා දැල්වී තිබුණු කාල පරිච්ඡේදයක්..
ටිපර් රථයෙන් බහින්න උනේ අන්තිමට වගේ..මොකද පස්සේ නැගපු සියයකට ආසන්න පිරිස බහිනකම් ඉන්න උනා..එතන ඉදලා ආ පිරිසේ කීපදෙනෙක් එක්ක ගෝල්ෆේස් පැත්තට ඇවිදන් ගියා.. උදේ 10 ට වගේ ඇති වෙලාව.අපිත් එක්ක ආපු අය කන්න කියලා නැවතුනත් අපි හොදට උදේ කටකපලා බත් කාලා ආව නිසා ඔවුන්ගෙන් වෙන්ව ඉස්සරහට ආවා.යන්න විදිහක් නැති උනොත් ආයෙමත් ටිපර් එකේම යන්න පුලුවන් කියපු නිසා කෝකටත් කියලා එක්කෙනෙක්ගෙ නම්බර් එකත් අරගත්තා..
ඉස්සරහට යන්න යන්න ලොකු වෙන මිනිස් ගඟට අපිත් එකතු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලය කිට්ටුවටම ගියා..එකම මිනිස් පොදියක්.කෙනෙක්ට තමන්ගේ යටිපතුල් දෙකේ වර්ගඵලයට විතරයි ඒ මොහොතේ එතැන ඉඩක් තිබ්බේ. ටික වෙලාවකින් ඉදිරියෙන්ම හිටි පිරිසක් ආරක්ෂිත වැටෙන් ඇතුල්වීමට සැරසෙද්දී ඒ දෙසට එල්ලකල කදුලු ගෑස් සුලගත් එක්ක අප සිටි පැත්තට වේගයෙන් ආවා.මාස්ක් එකක්වත් නොදා හිටිය හින්දා නහය වගේම ඇස් දෙකත් දන්න ගත්තා.එද්දී හුලගට ෂේඩ් දෙක ටිපර් එකෙන් එලියට විසිඋනා.යාලුවෝ දෙන්නාගේ ඇස්වලනම් ෂේඩ්ස් තිබුණා.කොහොමහරි කැහැ කැහැ ඇස් උඩ දදා අපි මෙතනින් අනිත් පැත්තට හැරෙමු කියලා හැරෙන්න හැදුවා විතරයි සෙනග තෙරපෙන්න ගත්තා එක ඇසිල්ලට.ඔය අතරේ සපත්තුව ගැලවුනා..ගන්න හැදුවා නැමෙන්න විදිහක් නෑ..දවස් දෙකයි කලින් සපත්තු දෙක දාලා තිබුණේ..ලගින් හිටපු ටිකක් වැඩිමහල් කෙනෙක් කිව්වා ඒක දැන් ගන්න බෑ.දාල යන්න කියලා.මල්ලිලා කීපදෙනෙකුත් එතන හිටියා.අනේ මල්ලී මට අර සපත්තුව අරන්දෙන්න උදව් කරන්න කිව්වහම එයා තද වෙන සෙනගෙ බර එයාගේ අත්දෙකට පුලුවන් විදිහට ගද්දි මම ක්ෂනෙන් නැමිලා සපත්තුව ගත්තා..ඒ වෙලාවේ දානවා බොරු..අතට අරන් සෑහෙන දුරක් පයින් එන්න පුලුවන් උනා මේස් දාලා හිටපු නිසා..
කැම්පස් කාලෙන් පස්සේ කදුලු ගෑස් වලට කදුලු වැටුණා..ඒ කදුලුනම් මොනවද ?? කී ලක්ෂයක් හිතෙන් අඩනවා ඇද්ද අවිනිශ්චිත අනාගතයක් ගැන නෙවෙයි හෙට දවස ගැන,ඊලග වේල ගැන වගේම හුස්ම ටික නතර වෙනකම් ජීවතය ගැටගහගන්නේ කොහොමද කියලා...
මහ මන්දිර වගේ ගෙවල් හදන්න,වාහන දෙක තුන ගන්න,ලොකේ වටේ ඇවිදින්න,තරු ගාන වැඩි හෝටල් වලින් එක එක රහ කෑම කන්න,ඉස්තරම් ඇදුම් අදින්න වගේ බලාපොරොත්තු මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට නෑ කියලා මම හිතන්නේ..මට නැති නිසා මට එහෙම හිතෙන්න පුලුවන්.ඒත් මම දන්න බොහෝ දෙනෙක්ටත් එහෙම නෑ. හම්බ කරන රස්සාව කරගෙන,හදා ගන්න පටන් ගත්ත ගේ වැඩ ටික හෙමිහිට ඉවර කරගෙන,පොඩියට වාහනයක් අරගෙන,දරුවන්ට උගන්නාගෙන, සාමාන්‍ය විදිහට කාලාබීලා, ඉදලා හිටලා ට්‍රිප් එකක් ගිහින් විනෝදවෙලා ඉන්න තිබුණනම් ඇති කියලායි ගොඩක් අය කියන්නේ..ඉතින් ඒ ජීවිතේ විදින්න මැරෙනකම්ම අපිට මේ රටේ බැරි වෙනවා නම් ඒක මාරම අවුලක් නෙවෙයිද ?
අවුරුදු 74 තිස්සේ පාලකයෝ මේ විදිහට අපිව අවුලෙන් වියවුලට දැම්මානම්, අපිත් ඒක හොදටම දන්නවානම් ,එක පාලකයෙක් ගිහින් අලුත් එකෙක් ආවාට ප්‍රශ්නයට පිළිතුරක් නැත්නම්,ජනතාව වෙන අපි වෙනස් වූ ක්‍රමයක් හදා ගැනීම වෙනුවෙන් වෙනස් විය යුතුයි නේද? කිසිදු දූෂිතයෙක් නැති පාර්ලිමේන්තුවක් හදාගැනීමටත් පත්වෙලා ගිහින් වංචා දූෂණ කරනවා නම් උන්ගේ දේශපාලන ගමනට සදහටම තිත තැබීමටත් 9 වෙනිදා අප තුල වැඩුණු බලය නොනසා අපි තුලත් අපෙන් පසු අපේ දරු මුනුබුරන්ටත් පතුරමු...
අපි අපිට කල හැකි කොටස කරමු..