17වන සෙනසුරාදා අගෝස්තු 2024 ප.ව. 07:00
Views 209
මේනකා පීරිස් යනු නර්ථන කලාව මෙන්ම රංගන කලාව තුළ ප්‍රේක්ෂක ආකර්ශණය ඉහලින්ම දිනාගත් කලා ශිල්පිණියකි. නැටුමට පමණක් නොව තමන්ටම අන්‍යය වු කලා රාමුවක් තුළ ඇය පණ පෙවූ චරිත අතර ප්‍රේක්ෂක හදවත් වැඩි වශයෙන් ආමන්ත්‍රණය කළේ ගැමි චරිතයන් තුළිනි. එමෙන්ම අභියෝගයත් වාසනාවත් පෙරදැරි කරන් ආ ඇය නිරූපණය කළ බොහෝ චරිතයන්ට වටිනාකමක් එක් කළේ ද අවස්ථා ගණනකදීම විශිෂ්ඨතම නිළිය සම්මානය පාත්‍ර වෙමින්ය . කොහොම නමුත් මව් පදවිය ලැබීමත් සමග කලාවට සමු දී සිටි ඇය ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වන්නේ පසුගියදා පැවති සිග්නීස් සම්මාන උළෙලේ 2022 වසරේ හොඳම නිළියට හිමි සම්මානය ලැබීමත් සමගය. ඒ පානාමංකඩ ටෙලි නාට්‍යයේ රඟපෑ පුල්ලි ගේ චරිතය වෙනුවෙනි. කාලෙකට පස්සේ නැවත රංගනයට නර්ථනයට ලෑස්ති වෙන මේනකා පීරිස් වෙනුවෙනුයි මේ ඉඩකඩ.
පහුගිය කාලේ හැමෝම කෝ මේනකා කියලා හෙව්වා. ලංකාව හැර ගිහින් කියලා සමහරු කිව්වා. කෙහොම වුණත් ඇත්තටම මේනකා සියල්ල හැරදා කොහෙද ගියේ ?
ඇත්තටම කලාකටයුතු සියල්ලගෙන්ම මම ඉවත් වුණේ පුතා නිසා. එයා මගේ කුසට ආ දා ඉඳලා මම වැඩ වලින් අයින් වුණා. ගොඩක් දෙනා සිතුවා මම නැවත රඟපාන එකක් නැහැ කියලා. පුතා ඉපදුනාට පස්සේ මම දැඩි ලෙස තීරණය කළා පුතා ටිකක් ලොකු වෙනකම් එයා වෙනුවෙන් යම් කාලයක් යනකම් මම රංගන කටයුතු සහ නර්ථන පන්ති පටන් ගන්නේ නැහැ කියලා.
කොහොම ද ඉතින් පුතා එක්ක ගෙවන ජීවිතේ?
මේ දවස් වල නම් ජීවිතේ ටිකක් කාර්ය බහුලයි. පුතා පෙර පාසලකට දැම්මා සතියකට විතර ඉහතදි. සෑහෙන වෑයමක් දරනවා අඩන්නේ නැතුව මොන්ටිසෝරි එක්ක යන්න. මේ දවස් වල ගෙවන ජීවිතේ කාර්යබහුල වගේම ටිකක් කටුකයි මොකද පුතා මොන්ටිසෝරියට දාලා එද්දි අඩනවා. එයා අඩනකොට මටත් දරාගන්න බැහැ.
එයා හරි ආසයි පෙර පාසල් යන්න. ඒත් පුතාට මගෙන් වෙන්වෙන්න බැහැ. එයාව පෙර පාසල් දාලා මම එළියට වෙලා ඉන්න ඕන. පුතාගේ මොන්ටිසෝරිය ලගට වෙලා ඉන්න එක තමයි මේ දවස් වල මගේ එකම රාජකාරිය.
පුතාගේ නම ?
රොවෙන් විද්වාන් පතිරණ. නමේ තේරුමත් වෙනම ඉරක් කියන එක. ඇත්තම කියනවනම් මගේ ජිවිතේ ඉරණම වෙනස් කරන්නේ පුතා. මගේ ජිවිතේ එළිය කරපු මගේ ජිවිතේට ශක්තිය සතුට සැනසීම ගෙනත් දීපු එයා වෙනම ඉරක්.
ඇත්තටම මේනකා පුතෙක්ද බලාපොරොත්තු වුණේ?
අනේ නෑ මට දෙන්නාගෙන් ඕන කෙනෙක් භාරගන්න ලෑස්ති වෙලා හිටියේ. මම දරැවා කුස පිලසිඳ ගත් දා පටන් සමිතා අක්කාගේ ,මරියසෙල් මහත්මියගේ ගීත කිහිපයක් ඇහුවා. උපේඛා නිර්මාණි නංගිගේ අම්මාගේ හාදුව සින්දුව මම දවසට දෙතුන්පාර ඇහුවා. මට ඒ සින්දුව අහන හැම දවසකම මගේ ඇස් දෙකට කඳුළු එනවා. ඒ වචන මට හරියට දැණුනා. මං දන්නේ නැහැ මගේ යටි හිත පුතෙකුට ආස කරාද කියලා. එහෙම දුවෙක් වුණා නම් හොඳයි , පුතෙක් වුණා නම් හොඳයි කියලා විශේෂයෙන් බලාපොරොතුවක් තිබුණේ නැහැ. මට ඩොක්ටර් කිව්වාම ඔයාට ලැබෙන්නේ පුතෙක් කියලා මට අදහාගන්න බැරි වුණා.
කාලෙකට පස්සේ මේනකාගේ සුපුරුදු නැටුම් ටික දකිනවා .කොච්චර කාලෙකට පස්සෙද ආයේ නර්ථනයට ආවේ ?
මගේ මුළු ජීවිතේම වුණේ නර්ථනය තමයි. පුංචි කාලේ පටන් ගත්ත නර්ථනය මම කවදාවත් නතර කරලා නැහැ. ඒත් ඒ හැම දේටම තාවකාලිකව තිත තිබ්බෙ පුතා නිසා. අවුරුදු 3 ක් පමණ නතර කරලා තිබුණු නර්ථන පන්ති පහුගිය දවස්වල මම නැවත ආරම්භ කළා. එක දෙයක් ලබන්න එක දෙයක් කැපකරන්නම ඕන. පුතා වෙනුවෙන් ඒ අත් හැරපු කාලය ගැන මම පොඩ්ඩක්වත් දුක්වෙන්නේ නැහැ. මම මුලින්ම ගෙදර තමයි නර්ථන පන්ති පටන් ගත්තේ. මගේ අම්මා තාත්තා, මහත්තයාගේ අම්මා තාත්තා, පුතාව බලාගෙන මගේ වැඩ වලට ලොකු සහයෝගයක් දෙනවා. දැන් පුතා ටිකක් ලොකු නිසා පිිළියන්දල ටවුන් එකේ නර්ථන පන්තියක් ආරම්භ කළා. දැන් ගොඩක් ආරාධනා ලැබෙනවා විවිධ ප්‍රදේශ වලින් නර්ථන පන්ති පටන් ගන්න කියලා. පුළුවන් විදිහට මම තව පන්ති දෙකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඇත්තම කියනවනම් පුතා ලැබෙද්දි මගේ බර කිලෝ 92 ක්. මම ඒකාලේ පුරාවටම හිතුවේ දරුවා ගැන .මම හොඳට කෑවා. ඇඳුම් තෝරගන්න බැරි තරමට මම මහත් වුණා. මාව ගොඩාක් කළු වුණා. දරැවා ලැබුණාට පස්සේ මගේ ඇග මේන්ටේන් කරගන්න මම පාවිච්චි කළේ නර්ථනය. ඒක මට භාවනාවක් වගේ.
මොණරතැන්නෙන් පටන් ගත්ත රංගන ජීවිතය ඇතුළේ මේනකාව බොහෝ වෙලාවට දැක්කේ ගැමි චරිත වලින්. සමහර චරිත තිබුණා ඔබට හරි අපූරුවට ගැලපිච්ච. අද ඒ චරිත දිහා බැලුවාම මොකද හිතෙන්නේ?
ඇත්තටම ස්වර්ණවාහිණියේ විකාශය වුණ මොණරතැන්න තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. ඒ ටෙලි නාට්‍යයට අලුත් මුහුණක් සොය සොය ඉන්නකොට තමයි එහි සත්‍යා කියන චරිතයට මට අවස්ථාව ලැබෙන්නේ. ඒ පළමු නිර්මාණයෙන්ම හොඳම නිළිය සම්මානය මට ලැබුණා. මොණරතැන්නෙන් පස්සේ වාසනාවකට වගේ මට හොඳ අධ්යක්ෂවරු, ප්‍රවීණ කලා ශිල්පීන් සමඟ වැඩ කරන්න ලැබුණා.
පානාමංකඩ ටෙලි නාට්‍යයේ පුල්ලි වෙනුවෙන් නැවතත් හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනවා. කලාවෙන් ඈත්වෙලා ඉන්න
මොහොතක සම්මානයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම පානාමංකඩ නාට්‍ය කරනකොටත් බොහෝ දෙනෙක් කිව්වා පුල්ලි ඇගයීමක් ලැබිය යුතු චරිතයක් කියලා. අවුරුදු 3 කට පස්සේ පුල්ලි වෙනුවෙන් සම්මානයක් ලැබෙද්දි ලොකු සතුටක් ලැබුණා. පුල්ලි වාසානාවන්තයි කියලා මම හිතනවා. මගේ රංගන ජීවිතේ හතරවෙනි වතාවට තමයි මේ විදිහට හොඳම නිළිය සම්මානය ලැබෙන්නේ. මම මුලින්ම සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ සත්පත්තිනි ටෙලි නාට්‍ය වෙනුවෙන්. ඊට අමතරව රාජ්‍ය සම්මාන උළෙලේ සහ රයිගම් සම්මාන උළෙලෙදි හොඳම නිළිය සම්මාන ලබලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ට, ජූරියට ස්තූතියි මේ ඇගයීමට . මේ සම්මානය මගේ කලා ජීවිතේට ලොකු උත්තේජනයක්.
පුල්ලි කියන්නේ රංගන ශිල්පිනියකට අභියෝගයක් සහ වාසනාවක් කිව්වොත් ?
ඇත්තටම ඇය අභියෝගයක් සහ මට වාසනාවක් විදිහට තමයි මුල ඉඳලාම මම දැක්කේ. පුල්ලි කියන්නේ මම හරිම කැමැත්තෙන් කරපු චරිතයක්. පුල්ලි කියන්නේ මගේ දක්ෂතාවය මට සැබෑ ලෙසම පෙන්වන්ට ලැබුණ චරිතයක්. රංගනය විතරක් නෙමෙයි නර්ථනයත් ඒ ටෙලි නාට්‍ය තුල ගැබ් වෙලා තිබුණා.
පානාමංකඩ කියන්නේ දුවරු 5 දෙනෙක් එක්ක තනිවුණ පියෙක් ගැන කතාවක් . පුල්ලි කියන්නේ වේදනාව හිතේ දරාගෙන වැටෙන්නේ නැතුව මුළු පවුලේම බර කරට අරන් ඇද්ද, මවක් විදිහට පවුල රැකගත්ත තරුණියක්. ඇත්තටම හරිම කලාතුරකින් ලැබෙන චරිතයක්.ඒ වගේම මම ඇය වෙනුවෙන් උපරිමයෙන් කැප වුණා.
නැවත මේනකාව අපට පුංචි තිරයෙන් දකින්න ලැබේවිද?
අනේ මම කවදාවත් කලාව අත්හරින්නේ නැහැ. නර්ථනය රංගනය කියන්නේ මගේ ජීවිතෙන් කොටසක්. මම අද මේ ඇගයීම් ආදරය ලබන්නේ කලාව නිසා. කලාව දෙයියෝ හැමෝටම දෙන්නේ නැහැ. දෙවියෝ මට ඒ වාසනාව දීලා තියෙනවා.
පවුල් ජීවිතේට මුල් තැන දීලා නැවත කලා කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. පුතා කියන්නේ මගේ මුළු ලෝකයම. මම කැමති නෑ පුතාව මගේ ඇස්දෙකෙන් ඈත් කරලා තියෙන්න. මම ගොඩාක්ම කරේ ගැමි චරිත ඒ චරිත වලට දුෂ්කර පාළාත්වලට ගිහින් මාස ගණන් ඉන්න වෙනවා. දැන් පුතා ලොකු නිසා හොඳ පිටපතක් ලැබුනොත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. මම ආසයි ආයෙම ගැමි චරිතයක් කරන්න.
ගෙවුන කාලය ගැන මොකද හිතෙන්නේ?
මම මුලින්ම එන්නේ නර්ථන ශිල්පිණියක් විදහට. කුඩා කාලේ ඉඳලාම හැදෑරුවේ උඩරට සම්ප්රදාය. අද මම නර්ථන ජීවිතේ යම් තැනක ඉන්නවානම් ඒ සිරිනාම තල්ගහගොඩ සහ, ස්වර්ණා සිරිනාම ගුරු දෙපල නිසා. මම නර්ථනය කරාට මමත් දැනගෙන හිටියේ නැහැ මගේ ඇතුලාන්තයේ නිළියකුත් ඉන්නවා කියලා. මට හොඳ අධ්යක්ෂවරු ලැබුණා. නිර්මාණ ලැබුණා. මම කරපු හැම නිරිමාණයක්ම ලොකු අරුතක් තිබුණා. මම මගේ කලා ජීවිතය ඇතුලේ අතිශය තෘප්තිමත්. ඒ වගේම මම අවුරැදු 3 ක් සමාජ මාධ්‍ය වලින් රූපවාහිනි තිරය තුළින් දකින්න නොලැබුණ කාලේ මම හිතුවෙම මාව ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා ඇති කියලා. ඒත් සම්මාන ලැබුණාට පස්සේ මට දැණුනා මට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කිසිම වෙනසක් වෙලා නැහැ කියලා. ඔවුන්ගේ හදවත් වල මාව ඉන්නවා කියලා දැණුනාම පුදුමාකාර සතුටක් දැනෙනවා.
මගේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තොත් මම ශක්තිසම්පන්න ගැහැණියක්. අද මම ගෙවන ජීවිතේ සතුටින්, හරිම සැනසීමයි ,මවක් විදිහට ආඩම්බරයි. නිහඩ වෙලා හිටපු කාලේ ගැන කිසිම පසුතැවීමක් නැහැ. මොකද සමහර ප්‍රශ්න තියෙනවා නිහඩ කම තමයි සාර්ථකම උත්තරය. මගේ ප්‍රශ්න වලටත් මම උත්තර හෙව්වේ නිහඩ වෙලා කාලයට භාරදීලා.
නදීශා අතුකෝරළ