සමහරු කියනවා මම නිෂ්පාදනය කරගෙන මමම රඟපානවලු - අරවින්ද දොඹගහවත්ත
සෙනසුරාදා, ඉරිදා දිනවල රාත්‍රී 9ට ‘‘ස්වාධීන රූපවාහිනියේ’’ විකාශය වන ‘‘පිච්චමල සුවඳයි’’’ මේ දිනවල ප්‍රේක්ෂක අවධානය බෙහෙවින්ම ලබාගත් නාට්‍යයක්. ඒ නිසාම ඒ පිළිබඳව කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන්වන්නේ අරවින්ද දොඹගහවත්ත වෙනුවෙන්.
‘‘පිච්ච මල සුවඳයි’’ නාට්‍යයට මේ වෙද්දි හොඳ ප්‍රතිචාර තියෙනවා නේද?
ඔව් ඇත්තටම අපි අපේක්ෂා කරපු විදියට වඩා ගොඩක් ප්රේක්ෂකයො මේ නාට්‍යය සමග එකතු වුණා. විශේෂයෙන්ම ගැමි පරිසරය, ගැමි මිනිසුන්ගෙ ජීවන සුවඳ ප්රේක්ෂකයො අතරට ගෙනියන්න අපි සමත් වුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියට පිච්ච මල තවත් සුවඳක් ගෙන දෙයි කියලා.
මෙහි රංගනයෙන් දායක වෙනවා වගේම නිෂ්පාදනයත් ඔබේ. මුලින්ම නිෂ්පාදනය පිළිබඳව කතා කරමු. ඇයි මෙවැනි දෙයක් කරන්න හිතුවෙ?
ඇත්තටම දැන් කලාවෙ තියෙන පසුබෑමත් එක්ක හොඳ නිර්මාණ බිහිවෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මිනිස්සු කලාවෙන් අයින් වෙලා නෙමෙයි. ඔවුන්ට බලන්න දැනෙන නිර්මාණ හැදෙන්නෙ නැහැ. ඒ වගේම නිෂ්පාදන කර්තව්යයෙදී සුදුස්සාට සුදුසු තැන නොලැබෙන අවස්ථාත් තියෙනවා. එක නළුවෙක් දුෂ්ටයාගේ චරිතය කරනවා නම් ඔහුට ලැබෙන්නෙ දුෂ්ටයගෙම චරිතය විතරයි. එක චරිතෙකට රාමුගත වෙනවා. ඒ වගේම අධ්යක්ෂවරයාට අවශ්‍ය විදියට තමන්ගේ නිර්මාණය හසුරුව ගන්න බැහැ. නිෂ්පාදකගෙන් නොයෙක් බලපෑම් එන නිසා. නළු නිළියො තෝරා ගැනීමේදීත් එහෙමයි. ටෙලිනාට්‍යයක් නිර්මාණය කරනවා කියන්නෙ කණ්ඩායමක වැඩක්නෙ. ඒ දේ තනි පුද්ගලයකුගෙ තීරණයකට විතරක් යන්න බැහැ. විශේෂයෙන්ම අධ්යක්ෂවරයාගේ අදහස තමයි මෙහි ප්‍රබල වෙන්න ඕනෑ. අපි නවකතාවක් පුංචි තිරයට ගෙනෙද්දී වුණත් පොතේ තියෙන විදියටම නෙමෙයිනෙ පුංචි තිරයට ගේන්නෙ. එහි තියෙන නාට්‍යමය අවස්ථානෙ කරන්නෙ. පොතක් කියවද්දී ඒ හැඟීම අකුරුවලින් දුන්නට ඇහැකින් බලද්දි ඒ හැඟීම ෙදන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෑ. එය අධ්යක්ෂවරයාගේ දක්ෂතාවයක්. ඒ නිසා අධ්යක්ෂවරයාට නිර්මාණයක් කරද්දි ඒ නිදහස ලබාදෙන්න ඕනෑ. ගොඩක් නිෂ්පාදන ආයතනවල නිෂ්පාදකවරු ඒ නිදහස දෙන්නෙ නැහැ. මේ සියලුම හේතූන් මත තමයි මට හිතුණෙ හොඳ නිර්මාණ ටිකක් දෙන්න ඕනෑ කියලා.
හොඳ නිර්මාණවලට අවශ්‍ය කරන වපසරියක් හදන්න පුළුවන් නිෂ්පාදකවරයකුට. ඉතින් අපේ බොනාරෝ (Bonaro) ආයතනයෙන් කල්පනා කරන්නෙ හොඳ නිෂ්පාදනයක් ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න. මේ අපේ පළමු නිර්මාණය. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ නිර්මාණ බිහිකරන්න.
ඇයි මේ නවකතාව තෝරාගන්න හේතු වුණේ?
සුමනසිරි දසනායක මහත්මයා රචනා කරපු ‘‘පිච්ච මල සුවඳයි’’ නවකතාවට මම ගොඩක් කැමතියි. මේ කතාව කියවගෙන යද්දි ‘‘නාලනී’’ කියන චරිතය ගැන ලොකු සංවේගයක්, පැහැදීමක් ඇති වුණා. ඒ චරිතයට පණ දෙන්නයි මට උවමනාව තිබුණේ. ඇත්තටම මුලදි නම් මේ නිර්මාණය කිරීම ලොකු අභියෝගයක් වුණා. මේ තුළ අපිට අභියෝග කිහිපයකටම මුහුණ දෙන්න සිදුවුණා. මුලින්ම නාලිකාවලින් ප්‍රශ්න කිහිපයක් ආවා. මෙහි ගැටුම් ස්වභාවය අඩුයි කියලා. අද යන රටාව අනුව බොළඳ ආදර කතාවලට එහා ගිය සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් නිසා වෙන්න ඇති මේ නිර්මාණයට එහෙම වෙන්න ඇත්තෙ. නමුත් කතාව ඉදිරියට ගලාගෙන යද්දි ස්වාධීන රූපවාහිනිය අපිත් එක්ක එකඟ වෙලා මෙය විකාශනය සිදුවෙලා ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණට පස්සෙ ඒ අභියෝගාත්මක ස්වභාවය නැතිවෙලා ගියා.
නාට්‍යයේ දර්ශන තල සහ මෙහි චරිත තෝරා ගැනීම ගැන කතා කළොත්?
ඒ වගකීම තනිකරම අධ්යක්ෂවරයාට බාර දුන්නා. මොකද කතාවක් නිර්මාණය කරද්දි ඒ චරිත ස්වභාවය, ඒ චරිත ගලාගෙන යන විදිය, චරිතවලට ගැළපෙන වපසරිය, එයට අවශ්‍ය මූලික හරයන් සියල්ලම තියෙන්නෙ අධ්යක්ෂවරයාගේ හිතේ. එතැනදී සම්මානනීය අධ්යක්ෂවරයෙක් විදියට සමන් කුමාර ලියනගේ මහත්මයා ඒ වැඩකටයුතු ටික කරගෙන ගියා.
ඔබේ චරිත රංගනය ගැනත් කතා කරමු?
මේ කතාවෙ අධ්යක්ෂවරයා සමන් කුමාර ලියනගේ මහත්මයා තමයි මට යෝජනා කරන්නෙ මිත්රපාලගෙ චරිතය කරන්න. නමුත් මට මුලින්ම රංගනයෙන් දායකවෙන්න තිබුණෙ චන්ද්රපාලගෙ චරිතය. නමුත් අධ්යක්ෂවරයා සහ තිර රචකයා දෙදෙනාම යෝජනා කළා මිත්රපාලගෙ චරිතය අරවින්දට ගැලපෙනවා කියලා. ඒ හේතුව නිසා තමයි මම ඒ චරිතය නිරූපණයට එකතු වෙන්නෙ. නමුත් සමහර තැන්වලදී විවේචනයක් විදියට කට්ටිය කියනවා මම නිෂ්පාදනය කරගෙන මමම රඟපානවා කියලා. ඒ දේවල්වලට නම් මම කිසිම විදියකින් සැලෙන්නෙ නැහැ. මොකද හොඳ නිර්මාණයක් අපිට අවශ්‍ය නම් එය නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙනව නම්, ඒ චරිතය කරන්න සුදුසුකම් තියෙනවා නම් කලාවට හානියක් වෙන්නෙ නැහැ.
අරවින්දට වැඩිපුරම රංගනයේ යෙදෙන්න තියෙන්නෙ තිසුරි එක්කනෙ. ඇයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
තිසුරි කියන්නෙ ක්ෂේත්රයේ සෑහෙන්න වැඩ කරපු කෙනෙක් සහ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඉතාම නිහතමානී චරිතයක්. ඇයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. නිෂ්පාදන කණ්ඩායමක් විදියට වගේම රංගන ශිල්පියෙක් විදියටත් මට ඒ පහසුව දැනිලා තියෙනවා. නිර්මාණය සාර්ථක කරගන්න තමන්ගෙන් ලැබෙන්න ඕනෑ දායකත්වය ගැන දෙපාරක් නොහිතන රංගන ශිල්පිනියක් ඇය.
ඇත්තටම අපිට හරිම පහසුවක් වුණා ඇයගෙන් ලැබුණු සහයෝගය සහ ඒ කැප කිරීම.
ඒ වගේම අනෙකුත් රංගන ශිල්පී ශිල්පිනියන්ගෙනුත් ඉතා ඉහළ දායකත්වයක් ලැබුණා මේ නිර්මාණයේ සාර්ථකත්වයට. ඒ හැමෝමත් ඉතාම ඉහළින් චරිතය නිරූපණය කරපු නිසා තමයි ‘‘පිච්ච මල් සුවඳයි’’ ප්රේක්ෂකයො ආදරෙන් වැළඳගත්තෙ.
අරවින්ද පෞද්ගලිකව කැමැත්තක් දක්වනවද ගැමි ජීවන රටාවත් එක්ක යන කතාවලට?
ගැමි කතාවලට කියලා විශේෂයක් නැහැ. නමුත් මම කැමතියි විඳින්න පුළුවන් නිර්මාණයකට. මිනිස්සු ටෙලිනාට්‍යයක් හෝ නිර්මාණයක් බලන්නෙ කාර්යබහුලත්වයෙන් මිදෙන්නනෙ. යම් ප්‍රමාණයකට හෝ පොඩි මානසික නිදහසක් ලබාගන්න මේ නාගරීකරණය වී තිබෙන ලංකාව තුළ නාගරිකම කතාවක් පෙන්නුවොත් ඒ මනුස්සයාව බලන ප්‍රේක්ෂකයන්ට එහි විවිධත්වයක් නැහැ. මොකද තමන් උදේ හවස අත්විඳින ජීවිතේමනෙ මේ දකින්න තියෙන්නෙ කියන දේ හැඟෙන්නෙ. එතැනත් කලාවක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවල්වලට මම උත්සාහ කරනවා මිනිස්සු තුළ මතකයේ රැඳෙන නිර්මාණයක් කරන්න.
ඉදිරි නිර්මාණ කොයි විදියටද සැලසුම් කරලා තියෙන්නෙ?
ඉදිරියේදී නිර්මාණ 3ක් කරන්න දැනට කතා කරගෙන යනවා. නොබෝ දිනකින් තව රූගත කිරීමක් පටන් ගන්නවා. ඒ කතාව ටෙලිවිෂන් ඉතිහාසයේ නොවුණු දෙයක්. අපේ පරණ සම්ප්රදායේ තිබුණු දේවල් සහ නූතන තාක්ෂණයේ එකතු වුණු දේවල් යොදාගෙන ත්‍රාසය, කුතුහලය, හාස්‍ය සියල්ල කෙටි වුණු යුග දෙක තුනක කතාන්දරයක් නිර්මාණය කරගෙන යනවා.
ධනු විජේරත්න