සම්මාන රැසක් දිනු ප්‍රසන්නගේ පැරඩයිස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ සහ සම්මානනීය අධ්‍යක්ෂකවරයකු වන ප්‍රසන්න විතානගේ තිරයට රැගෙන එන නවතම චිත්‍රපටය තමයි 'පැරඩයිස්' කියන්නේ. 'පැරඩයිස්'  චිත්‍රපටය මලයාලම්, දමිළ, හින්දි, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ගෙන් ලොව පුරා ප්‍රදර්ශනය කිරීම ආරමිභ වූයේ පසුගිය ජුනි මස 28 වැනිදා සිටයි. එකොළොස්වන චිත්‍රපට අධ්‍යක්ෂණය වන ප්‍රසන්නගේ මෙතෙක් අධ්‍යක්ෂණය කළ සියළුම චිත්‍රපටවලට වඩා 'පැරඩයිස්' චිත්‍රපටය වෙනස් වෙයි.

ඊට හේතුව වන්නේ ප්‍රථම වරට මලයාලමි සිනමාවේ ජනප්‍රියතම නළු නිළි දෙපළක් වන රොෂාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කිරීමයි. එමෙන්ම ලාංකේය නළුවන් දෙපළක් වන ශ්‍යාමි ප්‍රනාන්දු සහ මහේන්ද්‍ර පෙරේරාද මෙහි ප්‍රධාන චරිත සඳහා දායකව සිටියි. චිත්‍රපටයේ තිර රචනය ප්‍රසන්න විතානගේ සහ අනුෂ්කා සේනානායක සිදු කර ඇති අතර කැමරා අධ්‍යක්ෂණය මෙහෙයවා ඇත්තේ ප්‍රවිණ මලයාලමි කැමරා අධ්‍යක්ෂකවරයකු වන රජිවි රවී විසිනි.

කේසව් සහ ආරීතා යන දෙපළ කේරළයේ සිට තම පස් වන විවාහ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි. දින හතක් ඇතුළත රාම රාවණා පුරාවෘත්තයට අයත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක පැටලී ඉන්ධන සහ ගෑස් පෝලිම්වල පෙළ ගැසී සිටිති. මොවුන් දෙපළ ලංකාවේ සංචාරය කිරීම අතරතුර මුහුණ දෙන ඛේදනීය සිදුවීමක් වටා 'පැරඩයිස්' චිත්‍රපටයේ කතාව ගෙතෙයි.

ආසියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය සහ හොඳම සංස්කරණය සඳහා නිර්දේශ වූ අතර, ප්‍රංශයේ 30 වන වරට පැවති වේෂූල් අන්තර්ජාතික සිනමා උළෙලේදී යොවුන් ජූරියේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත්, බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන කිම් ජෝෂක් සම්මානයත්, ස්පාඤ්ඤයේ ලස්පල්මාස් ග්‍රෑන්ඩ් කැනරියා අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රේක්ෂක ජූරි සම්මානයත් හිමිකර ගැනීමට 'පැරඩයිස්' චිත්‍රපටය සමත් විය. එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පවත්වන ලද 24 වන නිව්යෝර්ක් ඉන්දීය සිනමා උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා ද 'පැරඩයිස්' නිර්දේශ විය.

මලින්ත විතානගේ