සාමකාමී අරගලය මේ දූෂිත පාලකයන්ට දරාගන්න බැහැ - කසුනි කාවින්දි ප්‍රනාන්දු
කසුනි කාවින්දි මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හරහා හමුවන ආදරණීය රංගන ශිල්පිනියක්. එමෙන්ම කසුනිව නිරන්තරයෙන් අරගල බිමේදීත් හමුවනවා. ජනතාව, කලාකරුවන් සහ විවිධ වෘත්තීකයන් එක් වී සිදු කරන මේ අරගලය පිළිබඳව කසුනිගේ අදහස දැනගැනීමට ඇයව සාරවිට කතාබහකට එක් කරගත්තේ මෙලෙසින්.
ගෝල්ෆේස් පිටියේ සහ දිවයින පුරා පැවතෙන සාමකාමී අරගලය ගැන ඔබේ මතය මොකද්ද?
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අරගලය ආරම්භයේ ඉඳලාම මේ වෙනකල් සමස්ථ ජනතාවම වෙනුවෙන් ප්‍රධාන අරගල භූමියේ නොකඩවා රැඳිලා ඉන්න පිරිසක් ඉන්නවා. කලාත්මකව එතැනට වටිනාකමක් ලබාදෙමින්, එතැන ලස්සන සුන්දර භූමියක් කරන්න යම්කිසි පිරිසක් මහන්සි වෙනවා. ඔවුන්ට මුලින්ම මගේ ආචාරය පිරිනමනවා. මම පුළුවන් හැම වෙලාවකම එතැනට ගිහින් සහයෝගය දක්වනවා. ඒ අය අතරේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න රූපණ ශිල්පිනුත් ඉන්නවා.
මේක හරි පැහැදිලියි. මම මට දැනෙන තැන ඉඳලා කතා කරන්නම්. මේ වෙද්දි දවස ගානේ හිතු මනාපෙට හිතුණ හිතුණ විදිහට බඩු මිල ඉහළ යනවා. තවමත් කරන්ට් යනවා. තවමත් තෙල් ටික නැහැ ගෑස් ටික නැහැ. මේ තත්ත්වයට මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මමත් අඩුවැඩි වශයෙන් මුහුණ දෙනවා. ඒ නිසා මටත් ඒක දැනෙනවා. මේ රටේ මිනිස්සු තෙල් පෝලිම්වල ඉඳලා මැරිලා වැටුණා අපි දැක්කා. ගෑස් පෝලිම්වල මැරිලා වැටුණා දැක්කා. පහුගිය දවස්වල මම දැක්කා කන්න නැතුව තේ කහට එකක් බීලා සියදිවි නසාගත්තා කියලා පුද්ගලයෙක්. මේවා මට දැනෙනවා. මට මේවා මනුස්සයෙක් විදිහට සංවේදජනකයි. මේවායෙන් මට හිතෙන විදිහට අපිවම තමයි පේන්නේ. මට මේක ඉස්සරහට වෙන්න පුළුවන්. මම දන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. මම නොදන්න කෙනෙකුට ඉස්සරහට වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මට අවංක වේදනාවක් තිබෙනවා.
ඊළඟ කාරණය තමයි පහුගිය අවුරුදු ගානක් පුරාවටම මේ රටේ පාලකයෝ අපේ රටේ දිළිඳුකම මේන්ටේන් කරමින් හිටියේ. දේශීය නිෂ්පාදනවලට අනුග්‍රහය දක්වන්නේ නැහැ. කවුරුහරි එහෙම නිෂ්පාදනයක් කරපු ගමන් දේශපාලඥයෝ බයවෙලා තමන්ගේ බලය පාවිච්චි කරලා එතනින්ම ඒ මනුස්සයාව ඩවුන් කළා. දේශීය නිෂ්පාදනවලට තැනක් දෙන්නේ නැතුව දිගින් දිගටම රටේ දිළිඳුකම මේන්ටේන් කරමින් මිනිස්සුන්ව රවට්ට රවට්ට දිගටම බලේ ඉන්න තමයි මේ පාලකයෝ උත්සාහ කළේ. ඒ වගේම ආගම ජාතිය කියන කාරණා දෙක දිගින් දිගටම මිනිස්සු අතරට ඔබ්බවමින් සිදුවීම් නිර්මාණය කරමින් මේකට මේ ජාතිය වගකියන්න ඕනේ, මේ ආගම වගකියන්න ඕනේ කියලා ඔවුන්ට දොස් කියමින් මිනිසුන්ව ජාති ආගම් විදිහට කඩලා වෙන් කරලා බලය තියාගත්තා. ඔවුන් දන්නවා මිනිස්සු එකතු වුණොත් ඔවුන්ට බලයේ රැඳෙන්න බැහැ කියලා. දිළිඳුකම මේන්ටේන් කරන්න බැරි වුණොත් බලයේ රැඳෙන්න බැහැ කියලා දන්නවා. ඔවුන් අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ මුදල් හොරාකමින් තමන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කටයුතු කළා. ඔවුන් අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ ඇස් වහලා රවට්ටලා තිබ්බේ. දැන් මිනිස්සුන්ගේ ඇස් ඇරිලා තිබෙන්නේ. තවදුරටත් මිනිස්සුන්ට ඇස් පියාගෙන කන් වසාගෙන දැක්කේ නැහැ වගේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ. ඔය කාරණා ටික තමයි සරලවම ජනතාව මේ වෙලාවේ පාරට බැහැලා අරගල කරන්න හේතුව. ඉතින් මම ඉතාම අවංකව, ඉතාම පිරිසිදු හැඟීමෙන් ජනතා අරගලයේ නියැලෙනවා. මම කොච්චර සාමාන්‍ය විදිහට හිටියත් මිනිස්සු මාව මැනගන්නේ මගේ වෘත්තීයෙන්. එතකොට මට ඒකෙන් මිදෙන්න බැහැ. ඒ පැත්තෙන් මම ඔව්, නිළියක් විදිහට මම ජනතා අරගලයට උපරිම සහයෝගය දක්වනවා. ඒක සමාජ ජාලා ඔස්සේ මම වැඩි වශයෙන් කරනවා. පාරට බහින්න පුළුවන් හැම අවස්ථාවකද මම කායිකවත් අරගලයට සම්බන්ධ වනවා.
මින් ඉදිරියට මිනිස්සු බෙදිලා හිටපු ආකල්පය වෙනස් වේවිද?
අරගල භූමියේදී අපේ නාට්‍ය කරන අය විවිධ කලා නිර්මාණ පෙන්වනවා. ඒවා අතරේදී කතාබහ පැවැත්වෙනවා. ඒවායේදී මට තේරුණ දේ තමයි මිනිස්සුන්ට තේරිලා තියෙනවා මෙච්චර කල් අපිව බෙදලා තිබීම මේ පාලකයන්ගේ බලය දිගටම පවත්වාගන්න භාවිතා කරපු කූඨ උපක්‍රමයක් කියලා. අපේ රටේ බොහොම අතලොස්සක් තමයි මේක විවෘත මනසින් බලලා කාලයක් පුරාවට තේරුම් අරගෙන හිටියේ. ඒ පිරිසට කොච්චර ට්‍රයි කළත් බැරි වුණා අපේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න. අරගල භූමියෙන්ම උදාහරණ ගත්තොත් අවුරුදු උත්සව, රාමසාන් උත්සව ඇතුළු සියළු ආගම්වල උත්සව අරගලභූමියේ පැවැත්වුණා. ඒ ආගමික නායකයෝ, ආගමික බැතිමතුන් ඇවිත් එකා වගේ මේ උත්සව සමරනවා අපි දැක්කා. ඒක කවුරුත් ප්ලෑන් කරලා නෙවෙයි. ජාතිය ආගම සංස්කෘතිය ඔළුවේ තියාගෙන පටු විදිහට පැවතුණු සමාජයක් එහෙම එකපාරටම ප්ලෑන් කරලා වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් අපේ රටේ තිබ්බේ නැහැ ඇත්තටම. මාසයකට අධික කාලයක් සිද්ධ වුණු මේ පෙරළියේ ප්‍රතිපලයක් වශයෙන් තමයි ඒ වගේ දේවල් වෙනස් වුණේ. මේක පිටිපස්සේ කවුරුත් නැහැ. රජයට මම කියන්නේ මිනිස්සුන්ව නවත්වන්න පාවිච්චි කරපු පරණ ක්‍රම දැන් වැඩක් නැහැ. අළුත් ක්‍රමයක් හොයාගන්න කියලා. තවදුරටත් ජාති ආගම්වලට බෙදන්න බැහැ. ඒක දැන් පැහැදිලියි.
සමහරුන්ට ගෝල්ෆේස් අරගලය බීච් කානිවල් එකක්. ඇත්තටම අරගලය ප්‍රචණ්ඩත්වයට යා යුතුද?
මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ මට දැනෙන විදිහට. ඉතිහාසයේ ගත්තාම ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය මර්දනය කරන්න ගත්තු උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ ප්‍රචණ්ඩත්වයෙන් සිද්ධ වුණේ විනාශයක්ම පමණක් බව මේ වෙද්දි මිනිස්සුන්ට තේරුම් ගිහින් ඉවරයි. එතකොට මගේ මතය වන්නේ මේ යන සාමකාමී අරගලය මේ දූෂිත පාලකයන්ට දරාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මටත් මුලදි හිතුණා මේක ප්‍රමාණවත් වෙයිද කියලාත්. හැබැයි මමත් පස්සේ තේරුම් ගත්තා මේක තමයි මේ පාලකයන්ට දරන්නම බැරි කියලා. ඔවුන්ගේ පරණ ක්‍රමවලින් මේකට ගහන්න බැහැ. ඒවා දැන් වැඩ කරන්නේ නැහැ. මේ වෙලාවේ අරගලය වෙනුවෙන් කතා කරන කෙනෙක්ව මැරුවොත්, වෑන් එකක දාගෙන උස්සන් ගියොත් ඒගොල්ලන්ට පැහැදිලි දෝශාරෝපණය එනවා. මේ වෙලාවේ නීතිඥයෝ පවා මිනිස්සු එක්ක හිටගෙන තියෙන්නේ. පහුගිය දවස්වල අපි දැක්කා එයාලාගේ පරණ ක්‍රම. හැබැයි ඒ හැම පාරකම අපි දැක්කා මිනිස්සුන්ට නීතියෙන් සාධාරණය වුණා.
මේ සාමකාමී අරගලය යම්කිසි ආකාරයකට සාමකාමීව, සෞන්දර්යාත්මකව ගලාගෙන යනවා. ඒ සාමකාමී අරගලය උණ්ඩයට වඩා ප්‍රබල වෙලා තිබෙනවා මේ වෙලාවේ. ඒක නිසානේ අන්තරෙන් එද්දි බැරියර් දාන්නේ. පාර්ලිමේන්තුවට යන පාරේ යකඩ වැටවල් ගහන්නේ. ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නැහැ. මේ සාමකාමී අරගලයට පුළුවන් අපි උඹලා වගේ නැහැ කියලා පෙන්වන්න. අපි උඹලට වඩා නුවණක්කාරයි කියලා පෙන්වන්න. මමත් ඒක විශ්වාස කරනවා.
පාර්ලිමේන්තුවේ ඉන්න 225ම අයින් වුණොත් මේ අර්බුදය විසඳෙයිද?
දේශපාලනය සම්බන්ධයෙන් මට ලොකු දැනුමක් නැහැ. මම දැන් තමයි දේශපාලනය සම්බන්ධයෙන් ඉගෙනගන්නේ. මම විශ්වාස කරන එක තමයි අනිවාර්යෙන්ම ජනාධිපති ඉල්ලා අස් වෙන එක තමයි හොඳම දේ. මේ ජනාධිපති මෙච්චරටම උද්දච්ච ඇයි කියන ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. එතකොට එයා අයින් වෙන එක තමයි හොඳම දේ. අනිත් අය ගැනත් කතා කළොත් මගේ මතය මෙහෙමයි. මේ ජනාධිපති වගේම අවුරුදු ගානක ඉතිහාසයේදී බලය රැඳිලා ඉන්න උත්සාහ කළ, රට විකුණමින්, කිසිම හැඟීමක් දැනීමක් නොමැතිව පුටුවල රැඳිලා ඉන්න පිරිසක් ඉන්නවා. මම පොඩි කාලේ ඉඳලා අද වෙනතුරු දකින දේශපාලඥයෝත් ඉන්නවා පුටුවල මාරු වෙවී. හැබැයි බලද්දි කිසිම දැනුමකුත් ඔවුන්ට නැහැ. එතකොට එයාලාත් මේකට වගකියන්න ඕනේ. අතිශය නීතිවිරෝධී වැඩ කරපු පිරිසක්නේ ඔය ඉන්නේ. ඒ කිසිම කෙනෙක් මේ මිනිස්සු ගැන හිතලා වැඩ කරපු අය නෙවෙයි. ව්‍යවස්ථාවෙන් ඔවුන්ට ලබා දී තිබෙන අනවශ්‍ය බලතලවලට කෑදරකමේ ඉන්න පිරිසක් තමයි ඔය පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් ඇති අවංකවම ජනතාව ගැන හිතලා වැඩ කරන. මම හිතන්නේ ඔය වයසක මිනිස්සු ටිකත් අයින් වෙන්න ඕනේ කියන තැන. කරන්න පුළුවන් එවුන්ට මේක කරන්න දීලා කරන්න බැරි එවුන් යන්න ඕනේ. එවුන් යන්නේ නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ.
අරගලයේ ඉන්න මිනිස්සුන්ට මොකද්ද කියන්න තියෙන්නේ?
මොන බලපෑම් මතවත් මට මගේ ඇතුළෙන්ම එන හැඟීමක් නවත්වන්න බැහැ. ඒ නිසා මම අරගල කරන එක නවතින්නේ නැහැ. මම මිනිස්සුන්ට කියන්නෙත් මේක අත්හරින්න එපා. මේක ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම මිනිස්සුන්ගේ නැගී සිටීම. මේ ජනතාව ආපු දුර සුළුපටු දුරක් නෙවෙයි සහ මේ පාලනයට මේ ජනතාව කරලා තියෙන බලපෑමත් සුළුපටු නැහැ. මිනිස්සුන්ට දැන් කතා කරන්න ගටක් තියෙනවා. ජනතා බලය පාවිච්චි කරන්නේ නැතුව මේ රට අපට දියුණු කරන්න බැහැ. තව අවුරුදු දහයකටවත් මේක තිබ්බ තත්ත්වයට ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. හැබැයි අපිට පහළ පරම්පරාව හරි දැනගනී මේ රට කවදාහරි සෞභාග්‍යමත් රටක් බවට පත්වුණොත් ඒ වෙනුවෙන් ලොකු ජනබලයක් නැගී සිටියා කියලා දැනගනීවි. අපේ ළමයි දැනගනීවි. ඒ අඩම්බරය අපි තියාගමු. ඒ නිසා මම අත හරින්නෙත් නැහැ. ඔයගොල්ලෝ අතහරින්නත් එපා. මේ කෑ ගහන උන්ව මොන විදිහට හරි නැවැත්තුවොත් ඒ උන් වෙනුවෙන් තවත් විශාල පිරිසක් නැගිටිනවාමයි. ඒ වගේම අපේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි. ඒ වෙනුවෙන් තනි තනිව වැඩ කරමු.
සාකාච්ඡා - කැළුම් දේවින්ද