සඳුදා වැටෙන්නේ සිකුරාදාට කියන්නේ ඛේදාන්ත ප්‍රහසනයක්
නාට්‍ය කරන්න ඕනේ ප්‍රේක්ෂකයන්ට මිස විනිශ්චය මණ්ඩල වලට නෙවෙයි
සල්ලි තිබුනාට හොඳ නිර්මාණයක් කරන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ
- නාට්‍යවේදී චාලක රණසූරිය -
පසුගියදා නිමාවට පත් වූ 50 වන රාජ්‍ය නාට්‍ය උළෙලේ දී දේශපාලනය සහ නිලධාරි වාදය නිසා ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් වැඩි වශයෙන් කතාබහට ලක්වීම නිසා ජයග්‍රාහී නිර්මාණ හෝ නිර්මාණකරුවන් පිළිබඳව නාට්‍ය ලෝලීන් මෙන්ම මාධ්‍ය පවා කතා බහට ලක් කරේ ඉතා අඩු වශයෙන්. එනිසා මෙම කතාබහ වෙන්වන්නේ මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රාශියක් දිනාගත් "සඳුදා වැටෙන්නේ සිකුරාදාට" වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂක චාලක රණසූරිය සමඟයි.
50 වන රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම වේදිකා නාට්‍ය ඇතුළු සම්මාන රාශියක් දිනා ගත්තේ ඔබ අධ්‍යක්ෂණය කරනු ලැබූ "සඳුදා වැටෙන්නේ සිකුරාදාට" වේදිකා නාට්‍යයටයි. නාට්‍යයේ නමේ ඇති වෙනස වගේම මෙම නාට්‍ය ප්‍රේක්ෂකයාට අපූර්ව වන්නේ කුමන කාරණා නිසා යැයිද ඔබ සිතන්නේ?
ඔව්. මෙවර පැවැත්වුනේ පනස්වන රාජ්‍ය නාට්‍ය උළෙල. 2022 සහ 2023 වසර දෙකේම නිෂ්පාදනය වුන නාට්‍ය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් වෙලා තිබුනා. ඒ අතරින් වසරේ හොදම නාට්‍ය වුනේ මගේ සදුදා වැටෙන්නෙ සිකුරාදාට නාට්‍ය . මේ නාට්‍යයේ නමේ තියන්නෙ පැටලිලි සහගත බවක්. ඒ පැටලිල්ලම නාට්‍ය තුලත් තියනවා ..මේ පැටලිල්ල ලෙහෙන එක තමයි නාට්‍ය පුරාම සිද්ද වෙන්නෙ. පැටලෙමින්... ලෙහෙමින්... ප්‍රේක්ෂකයන් සිනහා සාගරයක ගිල්වලා තමයි ඒ ඉන්නෙ තමන් කියන එක ප්‍රේක්ෂකයාට හෙලිදරවු කරන්නෙ.
රාජ්‍ය නාට්‍ය උළෙලේදී ජයග්‍රහණය කළ සම්මාන පිළිබඳව කෙටියෙන් සඳහන් කළොත්?
හොදම නිෂ්පාදනය - දිලූපා නිරෝශනී ද අල්විස්,
හොදම අධ්‍යක්ෂණය - චාලක රණසූරිය,
හොදම රචනය - චාලක රණසූරිය,
හොදම සහය නලුවා - ප්‍රේමසිරි ගේ චරිතය වෙනුවෙන් සරත් කරුනාරත්න,
හොදම සහය නිලිය - නිර්මලා ගේ චරිතය වෙනුවෙන් සුලෝචනා වීරසිංහ,
හොදම නලුවා නිර්දේශිත - සදරුවන් ගේ චරිතය වෙනුවෙන් කුසල් මදුරංග,
හොදම නිලිය නිර්දේශිත - උත්තරාගේ චරිතය වෙනුවෙන් සිලිදු රංවල,
හොදම රංග වින්‍යාසය කුසලතා චාලක රණසූරිය
මෙය හාස්‍යෝත්පාදක නාට්‍යයක්ද? "සඳුදා වැටෙන්නේ සිකුරාදාට" නාට්‍ය වැඩි දර්ශන වාර ප්‍රමාණයක් පවත්වමින් දිස්ත්‍රික්ක ගණනාවක වේදිකාගත වන්නේ මෙම හාස්‍යෝත්පාදක ගුණය නිසාද?
මේකෙ හාස්‍ය තිබුනාට හාස්‍යෝත්පාදක නාට්‍යක් කියන්නම අමාරුයි. මේක ඛේදාන්ත ප්‍රහසනයක් කිවුවොත් වඩාත් නිවැරදියි. මුලුමනින්ම හාස්‍ය නාට්‍යක් නොවුනත් හාස්‍ය ගුණන ඉහලින්ම තියනවා. ඒකත් එක්ක කෙටි කාලයක් තුල සෑහෙන දර්ශන වාර ප්‍රමාණයක් අපිට වේදිකා ගත කරන්න හැකි වුණා.
ඉතාම සරල ආකෘතියකින් යුත් මෙම නාට්‍යයට වසරේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රැසක් හිමිවීම පිළිබඳව ඇතැමුන්ට ඇත්තේ විවේචනයක්. ඒ පිළිබඳව ඔබේ අවංක අදහස කුමක්ද?
ඔව්... ඒකට හේතුව මෙතෙක් රාජ්‍ය නාට්‍ය උළෙලවල හොදම නාට්‍ය විදිගට තෝරලා තියෙන්නේ සංකීර්ණ නාට්‍ය. නැත්නම් විදේශීය පරිවර්තන නාට්‍ය. ස්වතන්ත්‍ර ප්‍රහසන ගුණය තියෙන නාට්‍යක් හොදම නාට්‍ය උන එකේ අවුල තමයි ඔය තියන්නෙ. මම හිතන්නෙ, නාට්‍ය නිර්මාණය කරන්න ඕනෙ ප්‍රේක්ෂකයන්ට; විනිශ්චය මන්ඩල රසිකත්වයට නෙවෙයි. මෙතුවක්කාලෙකට සිදුවුනේ එහෙම. ඒ හින්දා මේ සැරේ ප්‍රේක්ෂකයෝ අතර තියන නාට්‍යක් හොදම නාට්‍ය වුන එක ගැන සාම්ප්‍රදායික විනිශ්චය මණ්ඩල දෘශ්ටියෙන් බලන අයට අවුලක් ඇති.
ඔබේ නාට්‍ය හැරුණු කොට, නාට්‍යකරුවෙක් සහ රසිකයෙක් විදිහට අනෙකුත් නාට්‍ය අතරින් හොඳම නාට්‍ය විදිහට ඔබ තෝරන්නේ කුමක්ද?
මට නාට්‍ය කීපයක් විතරයි බලන්න ලැබුනෙ..ඒ අතරින් "සක්වල රිය" නාට්‍යට මම කැමතියි.
මේ කාලවකවානුවේ වේදිකා නාට්‍යයක් සාර්ථක වීමට නම් ඔබට වඩා වැදගත් වන්නේ කුමන කාරණා ද?
හොද පිටපක්... පිටපත් නැතුවත් නාට්‍ය නිෂ්පාදනය වෙනවා. ඒත් මම හිතන්නෙ, සාර්තක නාට්‍යක් පිටිපස්සෙ සාර්තක පිටපතක් තියෙන්න ඕනෙ.
බොහෝ දෙනා කියන්නේ සල්ලි තියනවා නම් ඕන තරම් නිර්මාණ කරන්න පුළුවන් කියලා. ඒක එහෙමම ද? වේදිකා නාට්‍යකරුවෙක් විදිහට අර්ථපතිත්වය හෙවත් නිෂ්පාදන දායකත්වයේ ස්ථාවරත්වය ගැන විශ්වාසය කොහොමද?
සල්ලි තිබුනා කියලා හොඳ නිර්මාණයක් කරන්න හෝ නිර්මාණ කරුවෙක් වෙන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ. මොනව හරි කරයි. හැබැයි සල්ලි වලින් විතරක් හොද නිර්මාණයක් කරන්න බෑ. ටෙලිනාට්‍ය කලාවෙ මේ විනාසය වෙලා තියනවා. සල්ලි වියදම් කරන නිෂ්පාදක පාර්ශයන්ගෙ මැදිහත් වීම් එක්ක ඒක වෙලා තියන්නෙ. වේදිකා නාට්‍ය නාට්‍ය කරුවෙක් විදිහට අර්තපතීත්වයේ ස්තාවරත්වය ගැන කතා කරනවනම් ඒක හොද අවබෝධයක් එක්ක වෙන්න ඕනෙ දෙයක් ..මගෙ නාට්‍ය නිෂ්පාදනය කළේ දිලුපා නිරෝශනී ද අල්විස්. ඇයට ඒ අවබෝධය තිබුනා.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට සහ ඔබේ අනෙකුත් නිර්මාණ ඉදිරියේ දි රසවිඳින්න පුළුවන් කුමන මාධ්‍ය වලින්ද?
චාලක: මම නිර්මාණය කරපු "ජොයින්ට්" කෙටිනාට්‍ය සදහාත් මෙවර හොදම නලුවා, දෙවන සහ තෙවන ස්ථානය ලැබුනා. සරත් කරුනාරත්න ට සහ තිලාන් වර්ණජිත් ට..ඊට අමතරව හොදම වේදිකා පරිපාලනයට හිමි සම්මානය පසිදු රාජපක්ෂ , හිරන්‍ය ප්‍රමුදිත සහ අසංකා සේනාරත්නට ලැබුණා.මේ කෙටිනාට්යත්, 2010 මම කරපු " බොක්ස්" නාට්‍යත් 2011 කරපු "හෙලෝ" නාට්‍යත් 2015 දි කරපු "බර්මියුඩා" කෙටි නාට්‍යත් මම ලියපු "ඩයිනෝසර් ප්‍රේමය" කෙටි නාට්‍යත් එකතු කරලා ඉදිරියේදි වෙනම නාට්‍ය උළෙලක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා.. එතනදි මම 2016 දි කරපු මාරක ළිඳේ සවාරියක් දිගු නාට්‍යත් . සදුදා වැටෙන්නෙ සිකුරාදාට නාට්‍යත් වේදිකා ගත කරන්න බලාපොරොත්තු වෙනවා.