සිනමාමය ආදරවේදයක දිලිසෙන දෙපයින් ඇවිදින ඔහු - රවී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුරාතීතේ එදවසක පටන් වර්ණවත් අපමණක් සිනමාවී හුය අත රන්දා වියන්නට ඇරඹූ ස්වර්ණවත් සිනමාමය කලාලය ඔහු තවමත් වියමින් හිඳින වග හැඟේ;... ගෙවුණු වගක් නම් නොදැනේ; අඩ සියවසක් සපුරමින් එදවස්.... රවීන්ද්‍ර රන්දෙණිය...

ඒ ගඟ... තවම තරුණය...

ඔබ දන්නවාද?

ගිම්හානය පැමිණි පමණින් වසත් ඍතුව නිමා නොවන වග... යළි යළිත් අහම්බකාරක කුසුම් කැකුළක් වුව පිපෙන සඳ සපැමිණෙන්නේම වසන්තයම මිස ඍතුවක් නොවෙයි වෙන...

ඉතින්...

රවී...

ඔබ නිමා නොවන වසන්තයක්මය... ඒ සිනහව පෙරදාක සේම අද ද ප්‍රේමණීයමය... වසත් කල තරම්ම මනරම් වූ ළතෙත්මය භාවයන් ඉසියුම් ලෙසින් තවරාන රඳවන නෙත් බැල්ම සොඳුරුමය.

රවී... බොහෝ ඍතුන් ගෙවා දමා අහවර වූ ඉනික්බිති සැපැමිණි මේ ඍතුවද තවත් එක් වසන්තයක්මය. එය එසේ නොවී නම් ජූනි මහේ පස්වැනිදා ගෙවාලූ අඩ සියවසක සිනමාමය වසන්තය සමරන්නට හැටියක් නැත. වසන්තයකදිම මිස වසන්තයක මතක වෙනත් ඍතුවක සමරනු නොහේ.

රවී... වසන්තය යනු සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද හදවතට දැනෙන හැඟීම්වල වර්ණයම මිස අන් කිසිවක්ම නොවේ. ඉඳින් සිතුවිලි වසන්තයක් නම් ගෙවී යන දවස් ද වසන්තයකටම මිස වෙනත් ඍතුවක් සන්තක නොහේ.

රවීන්ද්‍ර රන්දෙණිය නම් සිනමා පුස්තකයේ පළමු පරිච්ඡේදයේ ඇරඹුම සනිටුහන් වන්නේ 1974 වර්ෂයේදීය. ඒ තරංගා සිනමා රූපකාරකය ඔස්සේය. ප්‍රේමණීය පෙම්වත් භූමිකාවේ සිට සෑම රංග භූමිකාවක් තුළම ආලවන්ත හුස්මක් ගත් රවී වීරයාගේ සිට දුෂ්ඨයා දක්වා කවර රංග සුවිසැරියක යෙදුණත් පුදුමය නම් ඒ දුෂ්ඨයාටත් රසිකාගාරය ප්‍රේම කිරීමමය. පිරිමියෙකු ප්‍රේමණීය වෙසින් ගැහැනියක අබිමුව හිඳින මොහොතක සේම දරදඬු හිතුවක්කාර වෙසින් ගැහැනියක අබිමුව සිටින විටද තුඩින් තුඩ ඒ පිරිමි පපුව කණිමින් ගැහැනියක සොයන්නේ අංශුමාත්‍රික වූ හෝ විඳීමකි. ඉන් එහා ප්‍රේමයකි. විඳවීම් සුවහසක් තුළ වුව අල්පමාත්‍රික විඳීමක තත්ත්පරයක්! දඩයම තුළ රවී රංගනය හා ආලවන්ත හුස්මක් ගත්තේ එවන් චරිතයක් සමඟය. රොමාන්තික ආල පුරන ප්‍රේමාන්විත පිරිමි පපුවකට සේම ගොරහැඬි සඳ සදිසි නොවූ පිරිමි පපුවකටද වරෙක ගැහැනුන් ප්‍රේම කරන්නේ ප්‍රේමය විෂයෙහි ගැහැනියකගේ නිර්වචනයේ ඉසියුම් රේඛා විහිද යන මානයන් එතරම්ම සංකීර්ණ වන හෙයිනි. දුහුල් මලක්, පොඩි මල්ලි, වීරපුරන් අප්පු, ජනේලය, මායා, ආරාධනා, මංගල තෑග්ග, සාගර ජලය, සිසාරා සිරි මැදුරෙන් අනන්ත රාත්‍රියටත් ඉන් එහා සිනමා අනන්තයක විචිත්‍රවත් සිනමා චිත්‍රයන් තුළත් රවීන්ද්‍ර සලකුණ සටහන් වී ඇති දිශානතින් උදෙසා රංගනමය සංනිදර්ශනයන් බොහෝ වෙත්... ප්‍රධාන චරිතය ඔස්සේ Street child මෙන්ම Mother Theresa, Jungle Heat, Sandokan සේම තවමත් තිරය මත දිග නොහැරුණු Distant Tear Drop සිනමා වියමනෙහි ප්‍රධාන චරිතය ඔස්සේද රවීන්ද්‍රයාණන් විශ්වීය සිනමාව තුළ විදාහල රංගනමය කෞෂල්‍යයන්හි සලකුණුද සුවිශිෂ්ටමය.

වචනයෙන් වියුක්ත හෘද සංවේදී විශ්වීය කලාවක් වූ සිනමාව වූ කලී අතිශය ආත්මීය චමත්කාරයක් සහ ප්‍රබලත්වයක් තුළ සංකේන්ද්‍රණය වූ කලාවෙහි අති සියුම් කාව්‍යාත්මක ශානරයකි. එය එනයින්ම දැන රංගනය තුළ රඟපෑමකින් වියුක්තව ඕනෑම චරිතයක් හා ආත්මීය ආලයකින් බැඳී හුස්මක් ගන්නා රංගවේදීන් සුලභ නොවෙත්. එය එසේ වතුදු රවීන්ද්‍රගේ සිනමාමය ආත්ම භාෂණය තුළ රවීන්ද්‍ර තබා ඇත්තේම ඒ රංගනමය ආල කතාන්දරය උදෙසා සාක්ෂිමය.

ඒ සාක්ෂිය උදෙසා හුදෙක් මා සංනිදර්ශන කොටගන්නේ රවීන්ද්‍රයන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ලද දර්ශන ශූරී සම්මාන උපාධිය හෝ ජීවිතයට එක් වතාවක් පමණක් ලැබෙන සම්මාන කන්දරාවක අයිතිකාරයෙකු වීම හෝ ජනාධිපති, ස්වර්ණ සංඛ, ඕ.සී.අයි.සී, සරසවිය ඇතුළු සම්මාන බොහෝමයක් බොහෝ වර ලද්දේය යන සාධකය පමණක් නොවේ. සිංහල සිනමාමය සුවිසැරිය තුළ රවීන්ද්‍ර ඇවිද ගිය මිටියාවත් තුළ සනිටුහන් කළ රංගනමය ගෙත්තම්හි වර්ණයන්ය. තවද නොසිඳි රසිකාගාරයක අත් නොහැරුණු ප්‍රේමයමමය.

රවී සිනමාවී ආදරවේදයන් තුළ ප්‍රේමයත් ශෘංගාරයත් හුස්මකින් පවා දැනවූ, ප්‍රේමය සේම මානව ප්‍රකෘතිය ගැඹුරෙහි ඉපදෙන අනේක චිත්තවේග සහ මනෝභාව නෙක භූමිකාවන් ඔස්සේ ප්‍රතිබිම්බගත කළ අයුරු ද මේ මොහොතේත් මා ළය හිරිවට්ටයි.
ජූනි 05 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී රවී සිනමා අඩසියවසක ආත්ම භාෂණය දිගහැරෙන්නේ ඒ අසීමාන්තික රංගවේදියාට ආදරයේත් ගෞරවයේත් කෘතවේදීත්වයේත් මල් කළඹක් පුදනු පිණිසමය.

ජූනි 05 වැනිදා සන්ධ්‍යාවෙන් එහාට රාත්‍රිය සාර සුබාවට සරසන්නට පේවෙනු වස් ඉකුත් දිනක හැන්දෑවක ස්වර්ණා මල්ලවආරච්චි, මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, කමල් අද්දරආරච්චි වැනි ලාංකික සිනමාවේ සෞන්දර්යාත්මක සෞන්දර්යන් මෙන්ම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, උමාලි තිලකරත්න, සාරංග දිසාසේකර ඇතුළු රවීන්ද්‍රට ආදරණීය වූ බොහෝ දෙනාත් රවී සිනමා අඩසියවසක ආත්ම භාෂණය වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන මාතර Freelan සමාගමේ හිමිකාරීත්වය ඇතුළු එහි වගකිව යුතු පාර්ශ්වයන් ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවට පැමිණියහ. එමෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය යන සිනමාවේදියා සහ පිරිමියා මෙතුවක් ස්නේහයෙන් දරා හිඳින ස්නේහවන්ත බිරිඳ ප්‍රීති රන්දෙණියත් එදින සපැමිණියාය. ස්වර්ණා, මාලිනී, අනෝජා එක්ව රවීන්ද්‍ර යන සිනමාමය සුසංයෝගයේ අපූරු මතක මන්දිර වචනයෙන් තනද්දී කමල් ඒ හමුවට ළෙන්ගතු මිත්‍රශීලීත්වයක් එක් කළේය.

 

සිනමාවේදී අපි දෙන්නා කවදාවත් පෙම් කළේ නෑ... එහෙම කීවේ ස්වර්ණාය...

ඒ අපේ ලොකු අයියා... එසේ කියන ගමන් රවීන්ද්‍ර තමන්ට අපූරු ඉංග්‍රීසි ගුරුතුමෙක් වූ හැටි සහ අදටත් වන හැටි ගැන කීවේ අනෝජාය.

මාලිනී, කමල්, සාරංග, මහැඳුරු සුනිල් ආරියරත්න කතා කළේ කවුද මේ රවීන්ද්‍ර යැයි අපට කියනු රිසියෙන් රවීන්ද්‍රගේ සිනමා දිවිසැරිය සහ ළෙන්ගතු හදවත ගැනය. වේදිකාවේ රවීන්ද්‍ර සැරිසැරූ භූමිකාවන් ගැනය.

එනමුත් වචන ඇති සල්ලාපවලට වඩා වචන නැති සල්ලාප යනු මහා දිග කතාන්දරය. වචනයක නොදැනෙන සංවේදනාවන් දැනෙන්නේම නිහඬත්වයකය. හීන් සුසුම් ස්වරයකය. හදවතත් නොදැනීම නෙතට උනන අනායාස කඳුළකය. 

එහෙයින් එදා ඒ හැන්දෑවේදී රවීන්ද්‍ර ගැන කියූ බොහෝ කතා අතර මගේ පපුවටම දැනුණේ ඈ නෙතඟින් ගැලූ කඳුළුය. මට ඇසුණේ හැඬුම් අතරින් ඈ - ප්‍රීති තෙපලූ වදන් සමුච්චය නොවේ. වැස්සක රිද්මය හංඟාගත් කඳුළක ස්වරයයි.

අසන්නට කිසිත් නැත
කියන්නට දෙයක් මිස...

ඒ කඳුළු දිගේ ඇගේ හදවත් මිටියාවතේ බොහෝ දුර ඇවිද යන්නට මට හැකිය. කඳුළු යනු කඳුළක් පමණක්මද? නැත...

එය හැඟුම් සමුදායක් පෙරා වත් කරන හදගැස්මේ රිද්මයයි.

රසිකාගාරයක්ම පෙම් කළ අදටත් පෙම් කරන සොඳුරු පෞරුෂයක් හිමි මහා රංගවේදියෙකු, කඩවසම් පිරිමියෙකු ඉවසීමෙන් සංයමයෙන් දරා උන් ගැහැනිය ඇයයි. බිරිඳක් ලෙස ඔහු යන මඟ මල් පුබුදන්නට ඇය කළ අසීමිත කැපකිරීම්, දරාගැනීම් ඇය සන්තක අතීතයේ ඈ සඟවා තබා ඇතැයි මට හැඟේ. ඒ කඳුළ ඇය නොකී සහ නොකියන බොහෝ කතන්දර වෙනුවෙන් සොඳුරුතම සාක්ෂියකි. රටක් ආදරය කරන නළුවෙක් මෙන්ම රටක් ආදරය කරන පිරිමියෙකු, එක් යුගයක ගැහැනුන්ගේ සිහින කුමරෙකු වූ පිරිමියෙකු දරා සිටීම ගැහැනියකගේ හදවතට සරල කාරණයක් නොවේ යැයි මට හැඟේ. ප්‍රීති එදත් අදත් නොවෙනස් ස්නේහයෙන් දරා සිටින්නේ එවන් මහා පුරුෂයෙකි. එහෙයින්ම ඒ සන්ධ්‍යාවේ සියල්ලටම වැඩියෙන් මට දැනුණේ ප්‍රීතිගේ දෑසින් නිරායාසයෙන් ගලා ආ ඒ කඳුළයි.

රවී සිනමා අඩසියවසක ආත්ම භාෂණය සිනමාමය මතක සමුදායක් තුළ ජීවනය ලබනු ඇත.. 

තවද සියල්ලටම වඩා ප්‍රේමය ශ්‍රේෂ්ඨ වග ඒ රාත්‍රිය අපට කියනු ඇත..

රවී.. ස්තූතියේත් ආදරයේත් මල් ඉසින්නට ඒ සන්ධ්‍යාවත් රාත්‍රියත් උදාවන තුරු රසිකාගාරයක් බලා හිඳිනු ඇත.

දිලිසෙන දෙපයින් සිනමාමය නිම්න, මිටියාවත් නවාතැන් සරා ඇවිද යන්නට රවී ඒ ආශිර්වාදයන් ඔබට උපනිශ්‍රය වේවා!

I සංජීවිකා සමරතුංග
සේයාරූ I දයාන් විතාරණ