සිංදුවක් කියාගෙන, සතුටින් ඉන්න කාටවත් කරදරයක් නැති කොල්ලෙක්
විසේකාර කොල්ලන්ට කෙල්ලන්ගෙන් ලැබෙන්නෙ, මොන වගේ ප්‍රතිචාරද? ඒක ඉතින් දන්නෙ විසේකාර කොල්ලොම තමයි. මේ විසේකාර කොල්ලා නම් ඕනෑ දේකට ඔට්ටු දඩබ්බරයෙක්. දන්නවනෙ මේ දිනවල විකාශය කෙරෙන ‘‘මැස්සා’’ සෙට් එකේ තවත් කොල්ලෙක් තමයි මේ. මැස්සා නාට්‍යයේ එයාගෙ නම දිගා. පහුගිය කාලයේදි දිගා එයාලගෙ සෙට් එකේ කොල්ලන්ට යටින් ගේමක් දෙන්න සූදානම් වුණේ. ඒත් දැන් නම් එයා එයාගෙ ඒ යාළුවො එක්ක පණට – පණ වගේ තමයි. මැස්සා නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයින්ට මේ ‘‘දිගා’’ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. මැස්සා ‘‘දිගා’’ ලෙස හමුවන ඔහු ‘‘රැල්ල වෙරළට’’ නාට්‍යයේ ‘‘ජූඩ්’’ ලෙස හමුවෙනවා. මේ වෙලාවෙ ඕනෑ දේකට ඔට්ටු දිගා සහ ජූඩා එක්ක අපි ටිකක් කතා කරමුද? මෙයාගෙ ඇත්ත නම, චතුර එරංග රාජපක්ෂ. ගෙදර අය නම් ආදරේට කියන්නෙ ‘‘බිනර’’ කියලයි. රංගනයේදී හරි අපූරුවට චරිතයට පණක් ලබා දෙන ‘චතුර’ගෙ විසේකාර හඬයි මේ.
චතුර කියන්නද? නැත්නම් ගෙදර අය වගේ අපිත් ‘‘බිනර’’ කියන්නද?
බිනර කියන නම අපෙ අම්මයි තාත්තයි මට දැම්මෙ ආදරේට. අයියාට ආදරේට කියන්නෙ ‘‘ඇසල’’ කියලයි.
මරදානෙ නේද ගම?
ඔව්, මරදාන පුංචි බොරැල්ලෙ ඉන්නෙ.
කොළඹ කොල්ලෙක්?
ඔව්. මම කොළඹ කොල්ලෙක්.
එතකොට බණ්ඩාරවෙල නෙවෙයිද ගම?
නැහැ. පුංචි කාලෙදි විතර තාත්තාගෙ රැකියාව නිසා ස්ථාන මාරු එක්ක බණ්ඩාරවෙලට ගියා.
චණ්ඩිකම වගේ ගති ලක්ෂණ පෙනෙන්නෙ, ගම මරදානෙ හින්දද?
ටිකක් ඒ නිසා වෙන්නත් ඇති නේද.
පාසල් කීපයකටම ගියාලු නේද?
මම කිව්වෙ පොඩි කාලයේදීම තාත්තා රැකියාව එක්ක ට්‍රාන්සර් වුණාම අපටත් යන්න වුණා. මුලින්ම ගියේ කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලයට. ඊට පස්සෙ සා/පෙළ වෙනකල් ඉගෙන ගත්තෙ බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ. ඊට පස්සේ ඒ/ලෙවල් කරන්න කොළඹ රාජසිංහ විද්‍යාලයට ආවා.
කොහොමද ඒ දවස්වල කොළඹ මතකයන්?
පහ වසරෙදි විතර බණ්ඩාරවෙල ගිය ගමන මතකයි. ඕ/ලෙවල් වෙනකල් හිටියෙ එහේ.
පැහැපත් පෙනුම ආවෙ බණ්ඩාරවෙල ගියාට පස්සෙද?
අපෝ නැහැ. කොළඹදීම මම ඒ වගේ. තාත්තාගෙ පාට. අම්මත් සුදුයි. එයාලගෙ සුදු පුතා.
අපි ‘‘මැස්සා’’ ගැන කියමු? මැස්සා ‘‘දිගා’’ ටිකක් විසේකාරයෙක්නෙ? එතකොට ‘‘රැල්ල වෙරළට’’ නාට්‍යයේ?
ඒකෙත් ටිකක් ඒ වගේ චරිතයක් තමයි.
යාළුවො කියන්නෙ, ඇත්තටමත් චතුර චණ්ඩිකාරයෙක් වගේ කියලයි. ඒක ඇත්තද?
නැත්තෙමත් නැහැ. ඒ ගති ලක්ෂණත් තියෙනවා තමයි.
‘‘මැස්සා’’ නිසා නේද වැඩිපුර ප්‍රතිචාර මේ දිනවල?
‘‘රැල්ල වෙරළට’’ චරිතයටත් තියෙනවා. සාපේක්ෂව ගත්තොත් ‘‘මැස්සා’’ට තමයි.
රැල්ල වෙරළට චරිතය නිසා කී සැරයක් රැල්ල පාගන්න ගියාද? මතකයන් මොනවද?
කීප අවස්ථාවකදීම යන්න වුණා. මතකයන් ගත්තොත්, මතකයන් ගොඩක් තියෙනවා. දර්ශන් ධර්මරාජ්, මම ‘‘රැල්ල වෙරළට’’ නාට්‍යයේ එකටම වගේ රඟපෑවෙ. එයාගෙ අහිමිවීම දැනටත් මට හිතාගන්න බැරි දෙයක්. බිමල් අයියා, දර්ශන් සහ මම එකටම වගේ හිටියෙ. අනෙක් කාරණය දර්ශන් අයියයි, මමයි පදිංචියත් එක ළඟ. බිමල් අයියා, මම, දර්ශන් අයියා කළ වැඩ තමයි තවමත් මතක් වෙන්නෙ. ජීවිතය ගැන බොහෝ දේ මට ඒ දෙන්නගෙන් ඉගෙන ගන්න ලැබුණා.
පීනන්න එහෙම පුළුවන්ද?
පුළුවන්.
මුහුදෙ පීනන්න?
සාමාන්‍ය දුරකට විතර පුළුවනි. මුහුදෙ ලොකුවට පීනලා නැහැ.
‘‘මැස්සා’’ සෙට් එකේ, මැස්සා, ගලියා, බුවා සහ දිගා මේ චරිත අතරින් දිගා පසුගිය දිනවල ටිකක් ඩබල් ගේම්කාරයෙක් වගේ වුණානෙ? කොහොමද ඒ නිසා ප්‍රේක්ෂකයින්ගෙ ප්‍රතිචාර?
ඒ නාට්‍යයේ හැටියට ඔය චරිත හතර වීදි දරුවො. හරි අධ්‍යාපනයක් නැති අය. ඒ නිසා බලපුළුවන්කාරයින් එයාලව එයාලගෙ අනිසි වැඩවලට යොදා ගන්න හදනවා. ඒ විදිහට අහුවෙන කෙනෙක් තමයි ‘දිගා’. ඔක්කෝගෙම අරමුණ සල්ලි හම්බ කිරීම. ඉතින් එයා වතාවක ටොපියට අහුවෙනවා. ඒ කොටස් රඟපෑවට පස්සෙ, මිනිස්සු මගෙන් අහන්න පටන් ගත්තෙ ආ ටොපියට අහුවුණා නේද කියලා. අද අපි ඔක්කෝටමත් අපේ රටටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්.
‘‘දිගා’’ගෙ චරිතය ගොඩනගා ගත්තෙ කොහොමද?
කෞෂල්‍ය පතිරණ අයියා ලියලා තිබුණු විදිය එක්ක තමයි. ඉන්දික ධර්මතිලක අධ්යක්ෂවරයාගෙන් චරිතයේ ස්වාභාවය ගැන අහගත්තා. ඉතින් මාත් දැකලා තියෙන චරිත සහ මම පොඩි කාලයේදී දැකපු චරිතවල මතක අත්දැකීම් එකතු කරගත්තා. මම ‘‘දිගා’’ වුණේ එහෙමයි.
ඇත්ත ජීවිතේදීත් දිගා, මැස්සා, ගලියා, බුවා ලෙස රඟපාන දසුන්, ජෙනට් ඇතුළු ඒ පිරිස එක්ක සෙට් වෙනවද?
අපි රඟපාන්නෙ ඇක්ෂන් - කට් කියන වෙලාවෙදි විතරයි. ඊට පස්සෙ ඉතින් අපි සෙට් වෙනවා තමයි. දසුන් අයියලගෙ ගෙදර තමයි ෂූටින් - කට් නතර වූ හැටියෙ අපි නතර වෙන්නෙ.
මේ විදියට රඟපාන්න පෙර, ‘‘චතුර’’ රස්සාවක් කරලා තියෙනවද?
ජොබ් පහක් - හයක් විතර කරලා තියෙනවා.
එයින් අල්ලලා ගියේ?
මාකටිං ජොබ් එක.
ඇයි ඉතින් ඒක අත්හැරියෙ?
පොඩි කාලයේ ඉඳලා මට තිබුණෙ නළුවකු වීමේ අරමුණ. මගේ හීනය වුණේ නළුවකු වීම. ඉතින් ඒ අරමුණ ඇතිව කැපවෙලා ගමනක් ආවා. පාසල් යන කාලයේදීත් මම නාට්‍ය කළා. ඒවා කරද්දි මට පාසලින් ලැබුණු ප්‍රතිචාර සහ ගුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මාව රංගනය කෙරෙහි ධෛර්යවත් කළා.
ආයෙත් අපි ‘‘මැස්සා’’ ගැන කතා කරමු. ඒකෙ ෂූටිං කරද්දි, මිනිස්සු ඇත්තටම බියවූ අවස්ථා එහෙම තියෙනවද?
එක් වතාවක මත්ද්‍රව්‍ය පාර්සලයක් අරගෙන යද්දි, පොලිසිය පන්නද්දි, අපි දුවනවා. කැමරාකරණ ශිල්පියාත් දුව දුව ඒක රූගත කළේ. මිනිස්සුන්ට හිතාගන්න බැහැ මොකද වෙන්නෙ කියලා. ඒ දර්ශන කළේ රත්මලානෙ. උදේ වරුවෙ ඔෆිස් ටයිම්. ගල්කිස්ස ස්ටේෂන් එකේ හිටපු මිනිස්සු හිතුවෙ ඇත්තම දෙයක් කියලයි.
‘‘මැස්සා’’ ‘දිගා’ නිසා, ගැහැනු ළමුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
එයාලගෙ ප්‍රතිචාර හොඳයි.
එයාලා කැමතිද චතුරගෙ විසේකාර ස්වාභාවයට?
කැමැති වගේම අකමැති අයත් ඉන්නවා. එයාල මට දක්වන ආදරය වගේම මාත් එයාලට ආදරෙයි. ඒ ප්‍රතිචාර මට හරියට වටිනවා.
සැබෑ ජීවිතේ පෙම්වතියගෙ ප්‍රතිචාර කොහොමද?
මගේ ප්‍රේමය තියෙන්නෙ රඟපෑමට. රංගනයට තමයි ප්‍රේම කරන්නෙ.
එතකොට ආදරේ? ඇයි ඒ ප්‍රශ්නෙන් පිට යන්නෙ?
ආදරේ හැමෝටම ඕනෑ දෙයක්නෙ. මාත් ඒක විඳිනවා.
චතුර මොන වගේ කොල්ලෙක්ද?
සිංදුවක් කියාගෙන, සතුටින් ඉන්න කාටවත් කරදරයක් නැති කොල්ලෙක්.
ආදරේදී අවංකයෙක්ද?
අවංකයෙක් කියලා හිතාගෙන ඉන්නවා.
සඳුන් ගමගේ