සංගීත කණ්ඩායමකට එකතු වෙන්න අදහසක් තියෙනවා
ගායකයෙක් ලෙස බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් තරුණ ගායන ශිල්පියෙකු වූ දුල්හාන් චමින්ද මෙවර කලාපයෙන් අප ඉඩක් වෙන් කළා. දැනට ගීත කිහිපයක්ම නිකුත් කර ඇති ඔහු ලබන වසරේදී තවත් අලුත් ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ ඔහු සමග කළ කතා බහයි.
දුල්හාන් ගායකයෙක් විදිහට කරළියට ආවේ කොහොමද..
මගේ මතකය හැටියට මම මුලින්ම ගීතයක් නිකුත් කළේ 2018 වසරේදී. ඒ රත්තරනේ.. කියලා. සමාජ මාධ්‍යය හරහා හඳුනාගත් මගේ මිතුරෙක් වුණ ළහිරු ඒකනායක තමයි මේ ගීතය ලියලා තනු නිර්මාණය කරලා දුන්නේ මට. ළහිරු කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. හාපුරා කියලා ගායකයෙක් විදිහට ක්ෂේත්රයට ආවේ ඒ ගීතය හරහා කිව්වොත් හරි.
දුල්හාන්ගේ හඬින් කරපු ගීත කියක් විතර දැන් නිකුත් වෙලා තියෙනවාද?
ගීත පහක් විතර. රත්තරනේ.. ගීතයෙන් පස්සේ මම ආදරි.. කියලා ගිතයක් කළා. මේ ගීතය ලියලා තනු නිර්මාණය කරලා දුන්නෙත් ළහිරු ඒකනායකම තමා. පස්සේ අප්සරාවියේ.. හා පැතුමන් රහසේ.. කියලා තව ගීත දෙකක් මම නිකුත් කළා. අන්තිම ගීතයක් මගේ හඬින් ආවේ ගිය වසරේ. ඒ කළු කෙල්ලේ.. කියලා. මේ ගීතය ලිව්වේ කැළුම් දිසානායක. ගී තනුව හා සංගීතය නිර්මාණය කළේ ශේනාල් මද්දුමගේ. කළු කෙල්ලේ.. ගීතයට මම ගීත රූප රචනාවකුත් කළා. ඒක කළේ රවිඳු අබේරත්න. ලබන වසරේ මගේ අලුත්ම ගීතයක් නිකුත් වෙන්න තියෙනවා. ඒක වෙනස්ම විදිහට වෙනස්ම රසයකින් හැඳුණ ගීතයක්.
දුල්හාන් ගායකයෙක් වෙන්න හිතුවේ ඇයි?
පාසල් යන කාලේ ඉඳලා ගීත ගායනයට මම ගොඩක් කැමති කෙනෙක්. පාසලේදී පවා මම සංගීතය හැදැරූවා. විශේෂයෙන් මතක් කරන්න ඕනා ආනන්ද රාජපක්ෂ ගුරු පියානන්. ඔහු තමයි මට සංගීතය, ගායන ගැන ගොඩක් දේවල් ඉගැන්වුයේ. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම කණ්ඩායම් සංගීතය පැත්තට යොමු වුණා. මම රෙඩ් ඇපල් කියලා මගේම සංගීත කණ්ඩායමක් කළා. පස්සේ අවිස්සාවේල්ල සුපර් සෙනික් වගේම කොස්ගම රේගී සංගීත කණ්ඩායමවල මම නිත්‍ය ගායන ශිල්පියා විදිහට කටයුතු කළා.
ගායන ක්ෂේත්රය තුළ දැන් ලොකු තරගකාරිත්වයක් තියෙනවා නේද?
ඔව්, දවසින් දවස ගොඩක් අලුත් අය එනවා. ඒ වගේ බිහිවෙන නිර්මාණ පවා අද වැඩිවෙලා තියෙනවා. සමාජ මාධ්‍යයන් ලොකු පිටුවහලක් වෙලා තියෙනවා අලුත් අයට තමන්ගේ නිර්මාණ එළිදක්වන්න. හැබැයි මම දකින දේ තමා ගොඩක් අය හැදැරීමකින් තොරව මේ ක්ෂේත්රය තුළ වැඩ කරන එක. ඒ වගේම සල්ලි තිබුණොත් ඕනෑම නිර්මාණයක් ක්ෂණිකව ජනප්‍රිය කර ගැනීමේ හැකියාවක් අද තියෙනවා.
නැවතත් කණ්ඩායම් සංගීතය පැත්තට යන්න අදහසක් නැද්ද?
තියෙනවා. දැනටත් විදෙස්ගත මගේ මිතුරෙක් කරන අලුත් සංගීත කණ්ඩායමකට එකතු වෙන්න ආරාධනයක් මට ලැබිලා තියෙනවා. ඉදිරියේදී එහි පුහුණුවිම් කටයුතුවලට සම්බන්ධ වෙන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වගේම සංගීත ප්‍රසංග සඳහාත් මම සහභාගි වෙනවා. දැනට ඒ ප්‍රසංග 25කට අධික ප්‍රමාණයක් සඳහාත් මම සහභාගි වෙලා තියෙනවා.
බුද්ධික සේනාධීර