සංගීතයෙන් තොර ජීවිතයක් මට නෑ - ගයන්ත විජේරත්න
ගයන්තට පුංචි කාලයට යන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ගයන්ත යන්න කැමති කොයි කාලයටද?
පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබුණොත් මට තේරෙන පුංචි වයසට තමයි මම යන්න කැමති වෙන්නේ. එහෙම වුණොත් මම හතර වසර පහ වසර පන්තියේ ඉගෙන ගත්ත කාලේට යන්න ආසයි. ජීවිතේ මම නිදහසේම හිටියෙ ඒ සුන්දරම කාලයේදියි. ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් නැතිව හරිම නිදහසේ හැසිරුණා. මගේ ගම මාවතගම. මගේ යාළුවෝ එක්ක මම මීට වඩා හරි සුන්දර කාලයක් ගත කළා. මගේ අම්මා ගුරුවරියක්. මගේ අත්තම්මාත් ගුරුවරියක්. අපි බොහෝ දේවල් ගෙවල්වලින් ඉගෙන ගත්තා. ආත්තම්මා අපිව ළඟ තියාගෙන හැමදේම කියලා දුන්නා. සරුංගල් හදන හැටි පවා අපිට ආත්තම්මා කියලා දුන්නා. ඒ හැමදේම එක්ක හරි සුන්දර ළමා කාලයක් මට තිබුණා.
නොහිතපු වෙලාවක ගයන්තව සංගීත ක්ෂේත්රයෙන් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?
මාව කවුරුන් හෝ කෙසේ හෝ සංගීත ක්ෂේත්රයෙන් අයින් කරත් මම සංගීතයත් එක්ක තියෙන බැඳීම, ආදරය මට නැති කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මම මුළු සමාජයෙන්ම අයින් වුණත් සංගීතයට ආදරය කරගෙන, සංගීතයත් එක්ක කොහෙට හරි ගිහින් ජීවත් වේවි. සංගීතයෙන් තොර මට ජීවිතයක් නැහැ. කවුරු මගේ සංගීතය ප්‍රතික්ෂේප කළත් මම කවදාවත් සංගීතය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
ගයන්තට නොකරපු වරදකට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් ගයන්ත මොකද කරන්නේ?
නොකරපු වරදකට දඬුවම් ලැබෙනවා නම් මම ඒ ගැන හැමවෙලේම හිතන්නේ ඒක මට ලැබෙන්න තිබුණු දෙයක් කියලයි. ඒ නිසා මම ඒක බාරගන්නවා. එහෙම නොකරපු වරදකට දඬුවම් ලැබුණොත් මම ඒකත් එක්ක ඔට්ටු වෙලා, රණ්ඩු වෙලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම මට දඬුවම් ලැබෙනවා ඇත්තේ මම පෙර ආත්මයක කරන ලද මොකක් හෝ පවකට වෙන්න ඇති. ඒ නිසා ඒ පව මේ ආත්මයේ ගෙවලා ඉවර කරනවා. අපි හොඳක් කළොත් හොඳක් වෙනවා. නරකක් කළොත් ඒකේ ප්‍රතිඵලය ආයෙමත් එනවා. ඒක හරියට රබර් බෝලයක් වගෙයි.
මේ වෙද්දී ගයන්තගේ ජනප්‍රියත්වය එක්ක දේශපාලනයට පිවිසෙන්නට අවස්ථාවක් සහ ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?
එහෙම ආරාධනාවක් ලැබුණොත් මම ඒකට නම් කීයටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. දේශපාලනය කියන්නේ වෙනමම විෂයයක්. ඒකට ඒ සම්බන්ධයෙන් ලොකු දැනුමක් තියෙන්නම ඕනේ. ඒ සම්බන්ධව දැනුමක් තියෙන්න ඕනේ අයයි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගකීම් අරගෙන, ඒ සම්බන්ධයෙන් හසල බුද්ධියක් තිබෙන පිරිසක් මේක හසුරවන්න ඕනේ. ඒ නිසා කවදාවත් මම ඒ ක්ෂේත්රයට සම්බන්ධ වෙන එකක් නැහැ.
ගයන්තට හිතපු නැති වෙලාවක කෝටි ගණනක ලොකු ලොතරුයියක් ඇදෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?
මම මගේ සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය කරන මුදල් මට තිබ්බහම හොඳටෝම ඇති. ඒ නිසා ඒ සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය මුදල මම තියාගෙන ඉතිරි මුදල් යම්කිසි මට්ටමකට එන්න උත්සාහ කරන අය අතට ඒ මුදල් ටික මම ලබලා දෙනවා. ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරන්න ගයන්තට එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්නේ මොනවාද?
මම මගේ මතක මත තමයි මේ දුර ඇවිත් තියෙන්නේ. මට ජීවිතේ හැම සිදුවීමක්ම මතකයි. ඒ මතක උඩ තමයි ''මම'' කියන මනුස්සයා නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි පසුගිය කාලයේදී ඇතිවුණු ව්‍යසනයත් ''වුණේ නැත්නම්'' හොඳයි කියලා මම අදටත් හිතනවා.
මේ සංගීත ක්ෂේත්රයට අමතරව ගයන්තට වෙනත් ක්ෂේත්රයක් හදාරන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් හදාරණ විෂය මොකක්ද?
එහෙම වුණොත් මම පරිගණක ක්ෂේත්රය, මෘදුකාංග, තාක්ෂණික අංශය වගේම චිත්‍ර විෂයයත් වැඩිදුර හදාරණවා. චිත්‍ර විෂයට මම ගොඩක් කැමතියි.
රටේ පවතින ආර්ථිකයත් එක්ක බොහෝ දෙනා මේ වෙද්දී විදේශ ගත වෙන්න උත්සාහ කරනවා. ගයන්තටත් හොඳ රටකට, හොඳ වැටුපකට, හොඳ රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?
මගේ මේ නිදහසට බාධා වෙන එකක් නම් මම බාරගන්නේ නැහැ. සංගීතය, මගේ නිර්මාණ කටයුතු, මගේ ප්‍රේක්ෂකයින් අතහැරලා ගිහින් මම සතුටින් ඉන්න පුළුවන් වෙන එකක් නැහැ.
කාලයක් තිස්සේ නිහඬව ඉඳලා ළඟදීම අලුත් වැඩකට අතගහලා කියලයි ආරංචිය.
ඔව්... මේ දවස්වල මම අලුත් නිර්මාණ කිහිපයක්ම කළා. ඒ අතරින් මම වෙළඳ දැන්වීම් නිර්මාණය කරනවා. මගේ අලුත් ගීතය අවුරුදු කාලයේදී ජාතික රූපවාහිනියෙන් නිකුත් වෙනවා. මැයි මාසේදී මගේ අලුත් ස්ටුඩියෝව තලවතුගොඩ ආරම්භ වෙනවා. ඒත් සමඟම නව ගීත කිහිපයක්ම නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
දිශානි