Saaravita.lk|| සංගීතමය දේශපාලන බලපෑම් නිසා අපි ගොඩක් කරදරවලට මූණ පෑවා

සංගීතමය දේශපාලන බලපෑම් නිසා අපි ගොඩක් කරදරවලට මූණ පෑවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගමෙන්, නගරයට ආව කාට වුණත් මේ ගී පද දෙක ඇහෙද්දී හදවතින් ගමට යන එක නවත්තගන්න බැරුව ඇති.

2005 දී දිනේෂ් හා ගජන් එක්ව නිර්මාණය කරපු මේ ගීතය ඒ කාලේ බොහොම ජනප්‍රිය වුණා. ආයෙමත් 2024 දී මේ ගීතයේ රීමේක් එකක් කරලා තියෙන්නේ ඒ මතක අලුත් කරන්නයි. සිංහල දෙමළ මිශ්‍ර කරලා සුන්දර සංගීතයකින් හැඩ කරලා ගීතය පසුගියදා ඒඩීකේ ගේ යූ ටියුබ් චැනල් එක හරහා විකාශනය කිරීම ඇරඹුණා.

සිංහල, ඉංග්‍රීසි, හින්දි හා දමිළ භාෂා හතරෙන්ම ගීත ගායනයට දස්කම් දක්වන ඒ වගේම රැප් හරහාත් ජනප්‍රිය වුණු ගායිකා හිරුෂි ජයසේන, ගම්මානේ ගීතය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා.

“දමිළ ගායනයකට මම එක්වුණු පළමු වතාව මේක.. ඒක අලුත් අත්දැකීමක්..”
ඇය කිව්වා.
“මේ ගීතය අලුත් අවුරුද්දට සුබ පතන්නත් එක්කම අපේ රටේ තියෙන සුන්දරත්වය, සාරධර්ම, සංස්කෘතිය ගැන කියන්න නිර්මාණය කරපු ගීතයක්. අපේ පොළව අපේ සොබාවදර්මය ගැන කියන ගමන්ම මිනිස්සු වෙන අපි හැමෝම එකට එකතු වෙලා සමගියෙන් සතුටින් ජීවත් වෙමු කියලා කියනවා..”
හිරුෂි ගීත තේමාව ගැන අපිට පැහැදිලි කළා.
දිනේෂ් කනගරත්නම් එහෙමත් නැත්නම් ඒඩීකේ විදියට ජනප්‍රිය දක්ෂ දමිළ කලාකරුවා සමඟ, සහන් හස්ති හා ක්‍රිෂ් මනෝජ් මේ ගීත ගායනයට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඉන්දීය සංගීතවේදියෙකු වෙන ඒ ආර් රහුමාන් එක්ක වේදිකාවේ දක්ෂතා පෙන්නුව එකම ශ්‍රී ලාංකික කලාකරුවා ඔහුයි. ඊට අමතරව ලන්ඩන්වල ඕ2 ඇරීනා හි 40000කට ආසන්න ජනතාවක් ඉදිරියේ ගීත ගායනා කළ ඒඩීකේ පසුගියදා පැවති දෙරණ මියුසික් එවෝර්ඩ් සම්මාන උළලේදී සම්මාන 6කට හිමිකම් කියන්න සමත් වුණා.
“ඒඩීකේ එක්ක පර්ෆෝම් කරන්න ලැබුණු එකට ගොඩක් සතුටුයි.. සහන් සිංහල කොටස් ගායනා කරද්දී ඒඩීකේ එක්ක දෙමළ කොටස් මම ගායනා කළා.. ක්‍රිෂ් පසුබිම් ගායනයෙන් එකතු වුණා.. විශේෂත්වය තමයි දෙමළ ගී පද ලිව්වේ ඒඩීකේ හා ක්‍රිෂ් වීම.. සිංහල ගී පද ශෙහාන් ගලහිටියාව ලිව්වා..”

මේ වන විට ගීත 2000කට ආසන්න ගණනක් රචනා කරලා තියෙන ශෙහාන්ගේ ගීත, ගායක ගායිකාවන් වැඩි දෙනෙක් ගායනා කරලා තියෙනවා. සහන් හස්ති කියන්නෙත් නව පරපුරේ දක්ෂ ගායකයෙක්.

“ඒ වගේ දක්ෂ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබුණු එක මට ලොකු සතුටක්.. මේ වෙද්දී මම ට්‍රැක්ස් 15ක් 16ක් වගේ නිර්මාණය කරලා තියෙනවා. ටෙලි නාට්‍ය 4ක වගේ පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණා. මෑතක නිකුත් වුණු සිහිනයකි ආදරේ චිත්‍රපටියෙත් මම පසුබිම් ගායනයට එකතු වුණා...”

හිරුෂි , ඇගේ තොරතුරුත් කිව්වා.

“ගම්මානේ කියන්නේ 2005 අවුරුද්දෙදී මම මුලින්ම නිර්මාණය කරපු ගීතය.. දැන් ඒ සිංදුව ඔයාලගේ පොඩිකාලේ කැමැතිම සිංදුව බවට පත්වෙලා. සංගීතමය දේශපාලන බලපෑම් නිසා අපි ගොඩක් කරදරවලට මූණ පෑවා.. මම වීව්ස් ගැන හිත කරදර කර ගන්නේ නෑ.. මට ගොඩක් සතුටුයි ගීතයට ලැබිලා තියෙන කමෙන්ට්ස් ගැන.. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා.. අපේ ජාතියට මගේ ආදරය.. ඒ වගේම ඔයාලටත් මම ආදරෙයි..”

ගීතය ගැන අදහස් දක්වන ඒඩීකේ යූටියුබ් එකේ කමෙන්ට් කරලා තියෙනවා.

“ඈත කඳු පීරා සීත පිනි සීරා
මේ දෑත අල්ලා ඉන්නේ යංකා පාවීලා..
පාට මල් සේනා කෝමලේ පානා
සමඟියෙන් ළංවීලා නිල්ලේ ඉමුකෝ හිනැහිලා”

පවනි උමයංගනා