ශිරාන්ගේ අයිස් සැප්තැම්බර් 10 වැනිදා වේදිකා ගත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජයට පණිවිඩයක් දෙන අයිස් වේදිකා නාට්‍යය එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදා මරදාන එල්පින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට සූදානම් කොට තිබේ. චරිත හතක් ඇතුළු වේදිකා නාට්‍යය කිහිපයකම රංගනයෙන් දායක වූ ශිරාන් පිරිස් මෙම අයිස් වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කර තිබෙන අතර, එය ඔහුගේ කුළුඳුල් වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය වීම විශේෂත්වයකි.

වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන අදහස මගේ තිබුණේ අද ඊයේ ඉඳලා නෙමෙයි. මීට අවුරුද්දකට පෙර ඉඳලා. නමුත්, ඒ සඳහා මට හොඳ මාතෘකාවක් ලැබුණේ නැහැ. ඒත්, තරුණ දරුවෝ මෑත කාලයේ අයිස් මත්ද්‍රව්‍යට වැඩිපුර ඇබ්බැහි වෙනවා දැකලා මට හිතුණා ඒ සම්බන්ධව වේදිකා නාට්‍යයක් කරන්න. මොකද ඒකෙන් මට සමාජයටත් පණිවිඩයක් දෙන්නත් පුළුවන් නිසා. ඔය අදහස පෙරදැරි කරගෙන තමයි අයිස් වේදිකා නාට්‍යය නිර්මාණය කරන්න මුලීක වුණේ.

සැප්තැම්බර් 10 වැනිදා වේදිකාගත වෙන මෙම නාට්‍යය සවස 3.30 හා 6.30 ලෙස දර්ශන වාර දෙකකින් සමන්විතයි. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දැනට ටෙලි නාට්‍යය කිහිපයකම දුටු රෝමා රෝෂි ජයකොඩිය. ඇයට අමතරව ඩිල්හාරා ජයසිංහ, සුජිව සමන්, රොෂාන් කඳුරුවාන, නිරංජලා ලියනගේ ඇතුළු රංගන ශිල්පින් 15කට අධික ප්‍රමාණයක් මෙහි රංගනයෙන් දායක වෙයි. විශේෂත්වය වන්නේ කටාන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කරන මෙලනි පෙරේරාද මෙහි එක් චරිතයකට පණ පෙවීමය.

රූපවාහිනියට කොටු වෙලා ඉන්න ප්‍රේක්ෂකයින්ට මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. සමාජයට පණිවිඩයක් දෙන ගමන් හිනාවෙලා බලන්න පුළුවන් විදිහට තමයි අයිස් වේදිකා නාට්‍යය මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ ඔළුවට යන විදිහට දේශපාලන කතාවකුත් මේ කතාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. වේදිකා නාට්‍යයවලට ප්‍රිය කරන ඔබ සැමගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ වේදිකා නාට්‍යය බලන්න එන්න කියලා.

අයිස් වේදිකා නාට්‍යය සැප්තැම්බර් 10 වැනිදා කුළුඳුලේ වේදිකාගත වුවත් දැනටමත් මෙම වේදිකා නාට්‍යය දිවයින පුරා වේදිකා ගත කරන්නට ආරාධනා ලැබි තිබෙන බව අධ්‍යක්ෂක ශිරාන් පිරිස් අප සමග අවසානයේ පැවසුවා. ඔහු පවසන්නේ නුදුරේම අයිස් වේදිකා නාට්‍යය දොඩංගොඩ හා මොරටුවේදී වේදිකාගත කරන්නට සැළසුම් කර තිබෙන බවය.