වාහන පැදලා ලෝක වාර්තා තබපු මගේ මරණය වාහනය තුළදී වෙනවා නම් මම කැමතියි
අද කලා ලෝකෙ තවත් අපූරු චරිතයක් පිළිබඳව අපි තොරතුරු අරගෙන ආවා. ඔහු කවුරුත් නොකරන අමුතු වැඩ කරන්න කැමති චරිතයක්. ඔහුව රුවින් වගේම නමින් නොදන්න කෙනෙක් නැහැ. බුද්ධික රඹුක්වැල්ල, අද කතාව ඔහු ගැන.
බුද්ධික සහ මෝටර් රථ අතර තියෙන්නේ ආත්මීය සම්බන්ධයක්. ඒ නිසා තමයි ඔහු අපිට අමුතු චරිතයක් බවට පත්වෙන්නෙ. කන්ද උඩරටින් කලා ලෝකයට ආපු බුද්ධික මෝටර් රථවලට කොතරම් ආදරය කරනවද කියලා කියන කාරණය පහුගිය වසරේ සිද්ධ වුණ සිදුවීමක් එක්ක ඉතා හොඳින් පැහැදිලි වුණා.
බුද්ධික තමන්ගේ මෝටර් රථය පැදගෙන යද්දී හදිස්සියේම මෝටර් රථය ගිනි අරගෙන තිබුණා. ඒ අවස්ථාවේදී ඔහු මෝටර් රථයෙන් එළියට පැනලා ජීවිතය බේරගත්තා. කොහොම නමුත් මේ සිදුවීම ආරංචි වුණාම මෝටර් රථයට වෙච්ච දේ ගැන දුකද කියලා මාධ්‍යය බුද්ධිකගෙන් ඇහුවා. එතකොට බුද්ධික ලබාදීලා තිබුණේ අමුතු උත්තරයක්.
"මම මේ කියන දේ ඇත්ත බව මගේ බිරිඳ දන්නවා. වාහන පැදලා ලෝක වාර්තා තබපු මගේ මරණය වාහනය තුළදී වෙනවා නම් මම කැමතියි කියලා මම මගෙ බිරිඳට කාලෙකට ඉස්සර කියලා තිබුණා."
බුද්ධික රඹුක්වැල්ලගේ වාර්තා පිළිබඳව කාලයක් කලා ලෝකයේ විශාල කතාබහක් ඇති වුණා. ඇත්තටම ඔහු තියපු ඒ වාර්තාවලින්ම පේනවා ඔහු වෙනස් විදියට හිතන පුද්ගලයෙක් කියලා. දැන් මේ වාර්තාවලට දශකයටත් වඩා වැඩි ඉතිහාසයක් තියෙනවා. අපි අද ඒ මතකය අලුත් කරනවා.
බුද්ධිකගේ එක වාර්තාවකට අනුව වතාවක් පැයට කිලෝමීටර් 72ක වේගයෙන් කිලෝ මීටර් 101ක දුරක් මෝටර් රථය පසුපසට පදවලා ඔහු වාර්තාවක් තිබ්බා. ඇත්තටම මේක එසේ මෙසේ වැඩක් නෙවෙයි. මෝටර් රථයක් ධාවනය කරන්න හැමෝටම පුළුවන් වුණත් මේ වගේ වැඩක් කරන්න විශේෂ හැකියාවක් තියෙන්න ඕන.
තව වතාවක් මේ අපූරු රංගධරයා අත්දෙකට විලංගු දමාගෙන කිලෝමීටර් 45ක් පැයට කිලෝමීටර් 45ක වේගයෙන් යමින් ලෝක වාර්තාවක් බිහි කළා. ඒක බොහොම කතාබහට ලක් වෙච්ච සිදුවීමක් වුණා. මෑතකාලීන තරුණ පරම්පරාව නම් මේ වාර්තා ගැන එච්චර දන්නෙ නැහැ. හැබැයි ඒ ගැන ඇහුවම ඕන කෙනෙක්ට පුදුමයක් ඇති වෙනවා.
ඔන්න ඔය වාර්තාව තියන්න ගිහිල්ලා බුද්ධික රඹුක්වැල්ලට අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ධ වුණානේ. අත් දෙක පිටුපසට කරලා බැඳ දෙපාවලින් මහනුවර දළදා මැදුර අභියස සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා මෝටර් රථයක් පදවා ගිනස් වාර්තාවක් තැබීමට තමා බුද්ධික මුලින්ම උත්සාහ කළේ. මේ සිදුවීම් සිද්ධ වුණේ 2009, 2010 කාලේ.
මේ වාර්තාව තියන්න යද්දී, මෝටර් රථ ආඥා පනතට එරෙහිව ක්‍රියාකිරීමට කිසිවකුට ඉඩදිය නොහැකි බව කියමින් පොලීසිය වැඩේ නැවැත්තුවා. මේ සිදුවීම බලන්න ආපු පිරිසටත් හැරිලා යන්න සිද්ධ වුණා. නමුත් සුගතදාස ක්‍රීඩාංගණයට ඇවිල්ලා බුද්ධික ඒ පාර තව වාර්තාවක් නැවතත් තිබ්බා. අවසානයේ ඔහු යාපාපටුන ඉඳන් තිස්සමහාරාමයට අවදානම් ධාවනයක් සිද්ධ කළා. දෙපයින් මෝටර් රථය ක්‍රියාත්මක කිරීමේ සිට ගියර් පද්ධතිය ඇතුළු සියලු දේවල් දෙපයින් හසුරවලා තමයි බුද්ධික ඒ වාර්තාව තිබ්බේ. අවසානයේ මේ වාර්තාවට පොලීසිය ඇතුළු සියලු රාජ්‍ය අංශවල ආශිර්වාදයත් ඔහුට ලැබිලා තිබුණා.
බුද්ධිකගේ අමුතු අමුතු වැඩ අතරට එකතුවෙන තවත් අපූරු වැඩක් තමයි හඬ වික්‍රමයන්. මෑතකාලීනව හඬ අනුකරණය කරන්නන් සිය ගාණක් ගැන තොරතුරු අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කිසිවක් නැති කාලේ තමන්ගේ කටහඬින් අමුතු අමුතු වැඩ කරන්න බුද්ධික ජනප්‍රිය වෙලා හිටියා.
අංගුලිමාල දමනය, ක්‍රිකට් තොරණ, අපූරු පුවත් ආදී ඔහුගේ ඉදිරිපත් කිරීම් මීට කාලෙකට කලින් තරුණ තරුණියෝ අතර බොහොම ජනප්‍රිය වුණා. හඬ නළුවෙක් විදිහට බුද්ධිකගේ වැඩ තාමත් ඉඳහිට අපිට රූපවාහිනීයෙන් දැකගන්න පුළුවන්. 90 දශකයේ අග භාගයේදී නැත්නම් 2000 මුල් කාලයේදී ඔහු සිය කටහඬින් පෑ විස්කම් අදටත් බොහෝදෙනාට මතකයි.
අද වනවිට බොහෝ පුළුල් පරාසයක හඬ වික්‍රමයන් පැතිර ගියත්, මෑතකාලීන ජනප්‍රිය සංස්කෘතියට හඬ විස්කම් හඳුන්වා දීමේ ගෞරවය බුද්ධික රඹුක්වැල්ල සතු වෙනවා. කලා ලෝකයේ ජනප්‍රිය චරිතවල හඬ අනුකරණය කිරීමේ හැකියාවක් බුද්ධිකට තියනවා. කවදත් විනෝදයට කැමති නිසා ඔහු ඒ හැකියාව භාවිත කරලා කරපු අපූරු වැඩ පිළිබඳවත් කතා බොහොමයි.
ඉතින් අමුතු චරිත ගැන හොයාගෙන යද්දී කලා ලෝකය අමතක කරන්නම බැරි චරිතයක් තමා බුද්ධික රඹුක්වැල්ල. ඒ නිසාමයි අද දවසේ අමුතු චරිත එක්ක දක්ෂ නිවේදකයෙක්, ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායකයෙක්, ගිනස් පොතේ නම රැන්දූ දක්ෂයෙක් වන බුද්ධික රඹුක්වැල්ලව අපි නැවත කරළියට රුගෙන ආවේ.
I නිසල්
I සේයාරූ- අන්තර් ජාලයෙන්