විහඟ ප්‍රේමය ටෝකියෝ හි දී සම්මානයෙන් පිදෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානිත සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” (Peacock Lament) සිනමාපටය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදුවන බිළිඳු දරුවන් විදේශකයින් හට අලෙවි කිරීමේ ජාවාරම පසුබිම් කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටයේ සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, යශෝධා රසඳුනි, ඩිස්නි රාජපක්ෂ සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva) ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙයි.

විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලිය වෙනුවෙන් ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රයො මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.

සිනමාපටයේ කැමරාකරණය සිසිකිරණ පරණවිතාන, සංස්කරණය ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමණයක, සංගීතය නිර්මාණය ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරා , කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්, ශබ්ද සංකලන‌ය ඉතාලි ජාතික එරික් නාර්දීන් සහ ශබ්ද පටිගතකරණය සහ සංස්කරණය ලාල් දිසානායන සහ නන්දා නන්දි ජයකොඩි විසිනි.