වසර 25කට පසුව මනීෂා යළිත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වැහි බිංදු ස්වරයක රෑහි ගීයක

රිදුම් තැන් හඳුනා.....

හදින් පිරිමදිනා ….

අහස් ඉම

රළ වෙරළ, තුරු

ගිරි ශිඛර දෝතින්  දරා හිනැහෙන

කල්ප කාලෙක ගිම් නිවාලන

පෙම්බරාණනේ......

සොයා යමු අපි

ඝන කළුවරක සඳකැන්...

වසර 25කට පසුව මනීෂා විජේසිංහ කලාකාරිනිය විසින් ගැයූ අලුත්ම ගීතය ‘වැහි බිංදු ස්වරයක’ මේ  දිනවල බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්ව තිබෙනවා. ඒ නිසාම සඳැල්ල අපිටත් මනීෂා එක්ක කතා බහක් කරන්න හිතුණා.

ඉතින් වසර 25ට පසුව ඔබ යළිත් ගායිකාවක් වෙලා.

සුජිත් ප්‍රසංග කියන්නේ අලුත් පරපුරේ ඉන්න දක්ෂ ගී පද රචකයෙක්. ඔහු මගේ Face book ගිණුමේ ඉන්නවා. ඒ තුළ ඉදිරිපත් කරන නිර්මාණ මම මීට පෙර දැකලා තියෙනවා. ඒ කවි, නිසදැස් වගේ දේවල් බලලා මම ප්‍රතිචාරත් ඔහුට දක්වනවා. ඒ මොහොතක තමයි මම කිව්වෙ මටත් ගීතයක් ලියලා දෙන්න කියලා. ඉතින් මට ඕනෑ වුණේ පරිසරය අළලා ගීතයක් නිර්මාණය  කර ගන්න. පරිසරයට මේ මහ පොළොවට ආදරය කරන කෙනෙක් නම් ඒ කෙනා තුළ සුන්දරත්වය, කරුණාව, ආදරය හැමදේම තියෙනවා.

ඒ නිසාම පරිසරයට ආදරය කරන ඇලුම් කරන පෙම්වතෙක් ගැනයි ඔහුගේ ඒ දේවල්වලට ආදරය කරන පෙම්වතියක් ගැනයි. මට කතා කරන්න ඕන වුණේ. ඉතින් මම හිතුවටත් වඩා සුජිත් ප්‍රසංග ඔහුගේ ලස්සන වචනවලින්, මම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා දුන්නා. ඊට අවශ්‍ය සංගීතය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්මයා හරිම සුන්දර විදියට යොදලා දුන්නා.

ඇත්තටම මේ ගීතය එළිදක්වලා සතියක් පමණ ගතවෙලා තියෙන්නෙ. ඒ කාලය ඇතුළත ලැබෙන ප්‍රතිචාර හරිම සතුටුදායකයි. මම හිතුවෙවත් නැති විදියේ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇත්තටම මම අවුරුදු 25කට පමණ පසුව තමයි මේ විදියේ ගීත  නිර්මාණයක් කළේ. මොකද මම මේ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියෙ. නමුත් මේ නිර්මාණයෙන් පස්සේ බොහෝ දෙනෙක් නැවතත් මගෙත් එක්ක කලා ක්ෂේත්‍රයට මම මීට පෙර සම්බන්ධ වුණු කලා නිර්මාණ ගැනත් කතාබහ කරන්න පටන් අරන් තියෙනවා.

ඒ කියන්නේ අවුරුදු 25 පමණ කලාවෙන් ඈත්වෙලා හිටියත් මනීෂාට ඒ කාලෙ ලැබුණු ආදරය, ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා?

ඇත්තටම ඔව්. ඒකනම් මහ පුදුම දෙයක්, එදා මගෙ වටා එකතුවෙලා හිටපු රසික රසිකාවියො පිරිසක් හිටියා. ඔවුන් අද මම වගේම වියපත් වෙලා. ඉතින් ඒ හැම දෙනාගෙන්ම එදා ඒ ලැබුණු ආදරය. ආශිර්වාද, ප්‍රතිචාර අදත් නොඅඩුව ලැබෙනවා. ඒ බැඳීම අදටත් එලෙසමයි. ඉතින් ඒ වගේ ප්‍රතිචාර ලබන්න හැමෝටම හැකියාවක් නැහැ. ඉතින් මට හරිම සතුටුයි කලා ක්ෂේත්‍රයේ මම ආපු ගමන ගැන. ඒ කාලෙ තිබුණු ඒ පිළිගැනීම ඒ ස්ථාවරත්වය පවත්වාගෙන යන්න හැකිවීම ඇත්තටම ලොකු දෙයක්. මම හිතන්නෙ මම හම්බ කරපු එකම ධනය තමයි කලා ක්ෂේත්‍රයෙන් ලැබෙන මේ ප්‍රතිචාර.

එතරම් ආදරයක් ලැබුණු මේ කලාවෙන් ඇයි ඈත් වෙන්න හිතුවෙ?

මට රංගන ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්න වුණේ මගෙ පවුල වෙනුවෙන් මගේ පුතා වෙනුවෙන්. මොකද මට පුතා ලැබුණට පසුව පුතා වෙනුවෙන් කැපවෙන්න සිදුවුණා. පෞද්ගලික ජීවිතේ යම් යම් කැප කිරීම් කරන්න වෙන අවස්ථා තියෙනවනෙ. අපේ ලංකාවේ විතරක් නෙමෙයි ඉන් පිටත් අපේ දක්ෂ රංගන ශිල්පීන් පෞද්ගලික හේතූන් මත කලාවෙන් සමු අරගෙන තියෙනවා. කලාව තුළ ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්නත් බැහැනේ. ඒ නිසා සමහර වෙලාවට අම්මා කෙනෙක් වුණාම දරුවො බලාගෙන ගෙදරට වෙලා ඉන්න වෙන අවස්ථා තියෙනවා. තාත්තලාට වැඩට යන්න වෙනවනෙ කොහොමත්. ඉතින් මමත් කලාවට කැමැත්ත තිබුණත් පුතා වෙනුවෙන් ඒ කැප කිරීම කළා.

කලාවෙන් ඈත්වීම දුකක් වුණේ නැද්ද?

මම කාලයක් කලා ක්ෂේත්‍රය තුළ දකින්න නැති වුණාම ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි ඇයි කලාවෙන් ඈත් වුණේ අපරාදෙ කියලා. ඒ සමහර දේවල් ගැන දුකත් හිතුණා. මොකද මම කලාවට ගොඩක් ආදරෙයි. මම 95 වසරෙන් පසුව තමයි කලාවෙන් ඈත් වුණේ. නමුත් ඒ අතරින්පතර ටික ටික වැඩ කළා. 

ඒ විරාමයෙන් පසුව දැන් මේ ආරම්භ කරපු ගමනෙ සැලසුම් කොයි වගේද?

දැන් පුතා ලොකුයි. ඔහු පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරනවා. පරිගණක තාක්ෂණ සම්බන්ධව. ඒ දේවල් එක්ක දැන් මට ලැබෙන කාලය අනුව කලාවට සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඉතින් මේ එළිදක්වපු ගීතය වගේම තවත් නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වුණා. ඔපෙරාවක් කළා. ඒ අවුරුදු 30 ගණනකට පසුව. තවත් නිර්මාණ කිහිපයක් කරගෙන යනවා.

ඒ වේදිකාව තුළ ඒ දේවල් එක්ක අලුත් වැඩ කටයුතු කිහිපයක්ම කරන්න සූදානමින් ඉන්නවා. ඉදිරියේදී ඒවා දැක බලාගන්න හැකිවෙයි. ටිකින් ටික කලාව තුළ හොඳ නිර්මාණයන් කිහිපයක් කරගෙන යන්න සැලසුම් සකස් කරමින් ඉන්නවා.

පුංචි තිරය, වේදිකාව, සිනමාව ඇතුළෙ කතාබහට ලක්වුණු චරිතයක් ඔබ. ඒ දායක වුණු නිර්මාණ ගැන පුංචි සඳහනක් කරමු?

මම ඒ කාලෙ ගොඩක්ම සම්බන්ධ වෙලා හිටියෙ කේමදාස මාස්ටර්ගෙ නිර්මාණවල. එතුමාගේ අපූර්ව නිර්මාණවල සමූහ වශයෙන් පෙනී සිටියෙ. ඒ තුළ මම වැඩිපුරම ගීත තමයි ගායනා කළේ. ඒ නිර්මාණ බොහොමයකට මම සම්බන්ධ  වුණා. ඒවාට අමතරව පුංචි තිරයටත් සිනමාවටත්  සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මැණික් නදිය ගලා බසී, අත්ත බිඳෙයි, බුමුතුරුණු, බෝඩිම, අයෝමා, සෙනෙහෙබර ඩොලී, උත්තමාවී, තරංගා, චූදිතයෝ, ඔපෙරා, මානසවිල, යශෝධරා වැළපිල්ල, පිරිනිවන් මංගල්‍ය වැනි කලා නිර්මාණ ඔස්සේ වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවෙ කතාබහට ලක්වුණා.

මුලින්ම මාව වේදිකාවට සහ රූපවාහිනියට  ගෙනාවෙ බන්දුල විතානගේ මහත්මයා. ඔහුව ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ. ඔහු කළ ටෙලිනාට්‍යයකටත් මම සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ නිර්මාණ වගේම තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණා.

ධනු විජේරත්න