විවාහ වෙනකොට අපි දෙන්නට ඉදිකටුවක තරම්වත් දෙයක් තිබුනෙ නෑ
ප්‍රේක්‍ෂකයින් ආදරය කරන පුංචි තිරයේ දක්‍ෂ රංගන ශිල්පියනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක වන නිරෝෂා තලගල සහ ඇයගේ දියණිය ඕජි ඖරංජනා මෙවර සිරිකත හැඩ කරන්න එකතු වුණා.
විවිධ චරිත හරහා නිරතුරුවම ප්‍රේක්ෂක කතබහට ලක්වන ඇය මේ දිනවල කෝලම්කුට්ටම, බොනිකර තරු, දෙකඩ කඩ යන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්‍ෂකාගාරයට සමීපවෙනවා. මේ ඇය සමග කළ සොඳුරු කතාබහයි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල බොනිකර තරු දෙකඩ කඩ, කෝලම් කුට්ටම යන ටෙලි නාටය තුනටම රංගනයන් දායක වෙනවා, බොනිකර තරු රවීන්ද්‍ර විජේරත්න අයියා එක්ක කරන පළමු වැඩේ. ඒ පිටපතට මට ආස හිතුනා. ඒ වගේම බොනිකර තරු ටෙලි නාට්‍යයේ ශර්මිලාට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.
කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ තොටුපළේ සබීතා අක්කටත් ඊට නොදෙවෙනි ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?
ඇත්තටම ඔව්. කෝලම් කුට්ටම කියන්නේ පාරම්පරික රූකඩ කෝලම් ආශ්‍රිත යන කතාවක්. මම සද්ධා අයියාගේ පිටපතකට වැඩ කරන්නේ සෑහෙන කාලෙකින්. සබීතා මේ දවස්වල තොටුපළේ ආප්පයක් පුච්චගෙන, ප්ලේන්ටියක් දාගෙන තොටුපළේ තමන්ගේ අණසක පතුරවගෙන ඉන්නවා.
නිරෝෂා දැන් කාර්යබහුල මවක් කොහොමද ඒ ජීවිතේ?
අපි දෙන්නාගේ ලෝකෙට දූ පැටියා ඇවිල්ලා දැන් අවුරුදු 3ක් වෙනවා. හරි ඉක්මනට කාලය ගෙවිලා. දැන්නම් දඟ මල්ලක්ව තමයි. විවාහ වෙලා අවුරුදු 11කට පස්සේ මට අම්මා කෙනෙක් වෙන්න වාසනාව දුන් සුරංගනාවි නිසා දැන් අපි දෙන්නාගේම ජීවිත පිරිලා. දුව නිසා ජීවිතේ වෙනස්ම අත්දැකීම් එක්ක වෙනස්ම විදිහට ගතවෙනවා.
බොහෝ දෙනා හිතනවා දරුවෙක් ලැබුණාම හැමදේම අතාරින්න ඕනෑ දරුවෝ මත්තෙම ඉන්න ඕනෑ කියලා. නිරෝෂාගේ මතය මොකක්ද?
මම එහෙම විශ්වාස කරන්නේ නැහැ. දුව ලැබිලා මාස 6කට විතර පස්සේ මම නැවත කලා කටයුතු පටන් ගත්තා. මොකද මේ තියෙන ආර්ථිකයත් එක්ක සැමියා විතරක් රැකියාවක් කරලා ජීවත් වෙන්න අමාරුයි. අම්මලා දෙන්නත්, සැමියත් දුවගේ වැඩ කටයුතු එක්ක කලා කටයුතු කරගෙන යන්න ලොකු සහයෝගයක් අදටත් ලබාදෙනවා. මම වෘත්තිය රංගන ශිල්පිනියක් වුණාට ආර්ථික පැත්තෙන් හිතලා නාට්‍යවල රඟපෑවට මම ජීවත් වෙන්නේ සහ මගේ ආත්මය තියෙන්නේ නර්තනය එක්ක.
ඔබේ කාර්යබහුලත්වයත් එක්ක දුවව මඟ හැරේවි කියලා හිතෙන්නේ නැද්ද?
මේ දුව ළඟම ඉන්න ඕන කාලේ තමයි. ඒත් රංගන කටයුතු නතර කරන්නත් බැහැ. දවල් දවසට ගොඩක් වෙලාවට ඉන්නේ අත්තම්මලා දෙන්නත් එක්ක. ඉස්සර නම් මම ෂූටිං යද්දි ඇඬුවා. දැන් ඉතින් තේරෙනවා ටිකක්. දැන් අඬන්නේ නැහැ. “අම්මා ගිහින් ඉක්මනට එන්න” කියලා කියනවා. සමහර දවස්වලට ගෙදරින් යන්නේ පාන්දර තුනට හතරට. එනකොට රෑ දොළහ, එක, දෙක වෙනවා. එතකොට දුව නිදි. මම ඉතින් පුළුවන් හැම වෙලාවකට දුව එක්ක ඉන්න කාලය වෙන් කරගන්නවා.
කොහොමද දැන් නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු?
කොරෝනා ප්‍රශ්නත් එක්ක නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු නතරවෙලා තිබුණේ. දැන් නම් ටික ටික වැඩ එනවා
රටේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක පොඩි අයකිරීම්වලට නර්තන කණ්ඩායම යොදවන්න බැහැ. වැඩ ගොඩක්ම අඩුයි. කොරෝනා එක්ක කලින් අපිට මාසේ දවස් තිහේම වැඩ තිබුණා. හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඒත් දැන් ඒ වගේ වැඩ නැහැ. කණ්ඩායමේ ළමයින්ට මම කිව්වේ දැන් නර්තනයට ජීවිතේ දෙවැනි තැන දීලා හැමෝටම රැකියාවක් කරන්න කියලා අපිට කලාකරුිවෝ විදියට ජීවත්වෙන්න මාර සටනක් දෙන්න වෙලා තියෙනවා. නැටුම් අතාරින්න බෑ. නැටුම් නතර කරනවා කියන්නේ මට නම් හුස්ම ගන්න බෑ වගේ.
පුංචි නර්තන ශිල්පිනියන්ගේ වැඩ කොහොමද?
අම්මෝ මම ගෙදර නර්තන පුහුණුවීම් කරනවා බලාගෙන ඉඳලා ඒ සින්දුවලට නටනවා. නැටිල්ලට සමහර වෙලාවට බයයි දෙකට කැඩෙයි කියලා. සින්දු කියනවා, නටනවා. ඒවට නම් අම්මා වගේම දක්‍ෂයි. මම ආසයි දුව නර්තන ශිල්පිනියක් වෙනවට.
දුව නිසා දැන් කලාවෙන් ඈත් වෙන්න කියලා සැමියාගෙන් නීතිරීති වැටෙන්නේ නැද්ද?
අසේල මටත් වඩා කලාවට ආදරේ කරන කෙනෙක්. මම නිළියක් වුණෙත් මගේ සැමියා නිසයි. අදත් මම නිදහසේ කලා කටයුතු කරගන්නේ සැමියාගෙන් ලැබෙන සහයෝගය නිසයි
ඒ ආදර කතාවත් කියමුකෝ?
අපේ ආදර කතාව පටන්ගත්තේ පාසල් කලෙදීමයි. ඒත් ප්‍රේම සම්බන්ධය පටන් අරන් සති දෙකක් විතර යද්දි මට මේක කරන්න බෑ සම්බන්ධය නතර කරනවා කියලා මම අසේලට ලියුමක් දුන්නා. මට ඕන වුණේ ඒවා නෙමෙයි. නර්තනය පැත්තෙන් හොඳ නමක් හදාගෙන ඉස්සරහට යන්න. මට ඒ දේවල්වලට කැපවෙන්න ඕන නිසයි සම්බන්ධය නතර කරමු කියලා කිව්වේ. අන්තිමට මගේ හිත දිනාගන්න අසේලටත් නටන්න වුණා. අසේල තාලයට අඩියක්වත් තියාගන්න දන්නේ නෑ. අසේල නැටුම් පන්ති ආවේ නටන්න තියෙන අසාවට නෙමෙයි. මගේ මූණ බලන්න තියෙන ආසාවට. විශේෂයෙන් කියන්න ඕනෑ මාව ගොඩ නැගුවේ ප්‍රදීපා ආරියවංශ මගේ නර්තන ගුරුවරිය.
අපි අවුරුදු 6ක් ආදරේ කරලා 2008 දි විවාහ වුණා.
ජීවිතේ සමහර තීරණ ගැන පසුතැවීමක් තියනවද?
විවාහවෙලා අවුරුදු 11කට පස්සේ තමයි දුව ලැබෙන්නේ. දරුවෙක් හදන්න ඒ තරම් කාලයක් ගත කරපු එක ගැන මම චුට්ටක්වත් පසුතැවෙන්නේ නැහැ. අපි දෙන්නා විවාහ වෙනකොට අසේලට රැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා ගෙදරින් අකමැති වේවි කියා බයක් මට තිබුණා. හැබැයි අසේල අයියා මාව ඇහැක් වගේ බලා ගනීවි කියන විශ්වාසය මගේ මවුපියන්ට තිබුණා. ඒ විශ්වාසය අදටත් එහෙමයි.
අපි දෙන්න විවාහ වෙනකොට අපි දෙන්නට කියලා ඉදිකටුවක තරම්වත් දෙයක් තිබුණේ නැහැ. අපි දෙන්නාගේ මහන්සියෙන් හැමදේම පොඩ්ඩ පොඩ්ඩ ගොඩ නගා ගත්තා.
දරුවාගේ අනාගතය ගැන මොනවගේ හීනයක්ද තියෙන්නේ?
දැන් නම් රටේ තත්ත්වය එක්ක දරුවගේ අනාගත ගැන තියෙන්නේ මහා බයක්. දරුවගේ අනාගතය ගැන හිතිලා ඉදිරියේදි ලංකාවෙන් යන්න ඉඩ තියෙනවා.
නදීශා අතුකෝරළ / ඡායාරූප සජීව ලක්ෂාන්