විවාහයෙන් පස්සෙ මම වැඩ කරන එක නතර කරන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවින්ද්‍යා දුල්ෂානි, පසුගිය කාලයේදී අපට හමුවුණේ බොහෝ විට  ටෙලි නාට්‍ය ඔස්සේය. එලෙසින්  හමුවූ ඇය  ප්‍රථම වතාවට රඟපෑ චිත්‍රපටය වන උතුරු සුළඟ මේ දිනවල තිරගත වෙනවා. එහි ප්‍රධාන චරිතයත් සමග සිනමාවට ආ දුල්ෂානි මේ වනවිට පෙම්වතියකි. හෙට දින විවාහයට සූදානමින් සිටින ඇයගේ පෙම්වතා කලා ක්ෂේත්‍රයට අමුත්තකු නම් නොවෙයි. ගේය පද රචකයකු ලෙස ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර ප්‍රකටව සිටින ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. ඔහු ව්‍යාපාර කටයුතුවල ප්‍රධානව නියැලෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිටය.  ඉතින් ඔහු ගැනත් දුල්ෂානි  එක්කත් මේ මොහොතේ ආදරණිය කතාබහක යෙදෙමු. 

දුල්ෂානි පළවැනි ෆිල්ම් එකේ අත්දැකීම් ගැන මුලින්ම කියමු? 

ෆිල්ම් එකක් කියන්නේ වෙනමම අත්දැකීමක්. ටෙලිනාට්‍යයට වඩා වෙනස්ම විදියක්. දවස් 23කදී මුළු කණ්ඩායමම ඉතාම සහයෝගයෙන් කටයුතු කරමින් ලස්සන ෆිල්ම් එකක් කළා. ලස්සන වැඩක්. 

මේ ඔක්කොටමත් වඩා දුල්ෂානි මේ දිනවල හරිම සතුටින් ඉන්නෙ ළඟදී කළ මියුසික් වීඩියෝ එක නිසාලු. ඒ ගැන කියමු.

මේ දිනවල ජීවිතේ හොඳම කාලය ගෙවෙන්නේ. මියුසික් වීඩියෝ එක ගැන කිව්වොත් ඒකේ වචනවල අයිතිකාරයා මගේ පෙම්වතා. ගායන කරන්නේ තීක්ෂණ අනුරාධ. රූප රචනයට පෙනී සිටින්නේ මමයි මගේ පෙම්වතා බුද්ධිකයි. මොකද මේ ගීතයේ වචනවලින් කියැවෙන්නේ අපි දෙන්නගෙ ආදර කතාව ගැන. 

එයා ගැන දුල්ෂානිම කිව්වොත්? 

එයා නමින් බුද්ධික ජයවර්ධන. එයා ව්‍යාපාර කටයුතු කරමින් ජීවත් වෙන්නෙ මෙල්බර්න් නුවර. විනෝදාංශයට එයා ගීත ලියනවා. 

දුල්ෂානිට කොහොමද බුද්ධිකව හමුවුණේ? 

ඒ හමුව ඇති වුණෙත් ගීතයක රූප රචනාවක් වෙනුවෙන් ෂූටිං ගිහින් සිටි වෙලාවකදීයි. දමිත් අසංකගෙ අලුත්ම ගීතය කිව්වොත් හරි. ඒකෙ රූප රචනයට සම්බන්ධ කර ගන්න බුද්ධික මට කතා කළා. ඉතින් ඉන්පසුව ඇතිවූ දැන හඳුනා ගැනීම එක්ක අපේ ආදර කතාවක් පටන් ගත්තා. 

ඉතින් ඒ සැබෑ පෙම්කතාව ගැන අපට කියන්නකො? 

මියුසික් වීඩියෝ එක ගැන කතා කරන්න වීඩියෝ එක අධ්‍යක්ෂණය කරන කෙනා එක්ක කතා කරද්දී මාවත් සම්බන්ධ කර ගත්තා. කොහොමටත් එහි නිෂ්පාදනය කළෙත් බුද්ධික. එතැනින් පස්සේ දිගටම කතාබහ කළා. එදා මියුසික් වීඩියෝව කරල ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ එයා මට කතා කරාවි කියලා මම බලාගෙන හිටියා. ඒ හිටියා වගේම එයා මට කතා කළා. ඒ කතාව තමයි ආදරයකට හැරවී මේ අද දක්වා දිගටම ගලාගෙන යන්නේ. එදා අපි දෙන්නා කතා කරද්දි අපි දෙන්නගෙ අදහස් හිතන විදිය සමාන බව තේරුණා. ඒ නිසා ආදරය කරන්න අපි තීරණය කළා. එයා කැමැත්ත අහන්න කලින් මගේ හිතෙත් එයා ගැන ආදරයක් කැමැත්තක් ඇතිවෙලා තිබුණෙ.  ඒත් එකපාරටම කැමතියි කියලා මම කිව්වෙත් නැහැ. දවස් කීපයක් ගියාට පස්සෙ තමයි හා කිව්වේ. ඒ ඔක්කෝටම පෙර අපෙ අම්මට කතා කරලා අහන්නකො කියලා මම කිව්වාම එයා එක පාරටම හා මම කතා කරලා අහන්නම් කිව්වා. ඒ කිව්ව විදියටම එයා අපෙ අම්මට කතා කරලා තිබුණා. ඊට පස්සේ මම හා කියලා කිව්වා. 

බුද්ධික කෙරෙහි හිත යන්න විශේෂ හේතුව? 

කතා කරද්දී එයා මට දක්වන ගරුත්වය, මට තියෙන සැලකිළිමත් බව වගේම එයා මාව පරිස්සම් කරන්න තියෙන සැබෑ උනන්දුව මට වැටහුණා. වචනවලින් හරි ඒක තේරෙනවනෙ. අනෙක තාත්තා කෙනෙක් දුවකට දක්වන ආරක්ෂාව පරිස්සම වගේ දෙයක් මම බුද්ධිකගෙන්  දැක්කා. මම හෙව්වෙත් ඒ වගේ කෙනෙක්. 

දැන් ඉතින් විවාහයට සූදානමින් ඉන්නෙ නේද? 

බුද්ධික විවාහ යෝජනාවක් ගෙනාවට පස්සෙ අපි කල් නොදමා විවාහ උත්සවයට දින වකවානු වෙන් කර ගත්තා. ඉතින් මේ වසර අවසන අපේ විවාහ උත්සවය ගන්න සැළසුම් කරමින් යනවා. 

එතැනින් පස්සෙ දුල්ෂානිත් ඔස්ට්‍රේලියාවට? 

විවාහයෙන් පස්සෙ මම වැඩ කරන එක නතර කරන්නෙ නැහැ. වැඩ කරන එකත් දිගටම කරගෙන යනවා. මෙහෙත් ඉඳිවි. එහෙත් ඉඳිවි. 

මේ ගෙවී ගිය කාලයේදී බුද්ධිකගෙන් දුල්ෂානි දැකපු හොඳම ගුණංගය? 

එයා කාන්තාවන්ට හරියට ගරු කරන කෙනෙක්. 

බුද්ධික කියන්නකො අපට ඔබ ගැන විස්තර ටිකක්?

මගේ ගෙවල් තියෙන්නේ පැපිලියානෙ, පවුලේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි ඉන්නෙ. නංගිත් ඉන්නෙ මෙල්බර්න්වල. මල්ලි ඉන්නෙ ලොස්ඇන්ජලීස්වල. ඉතින් මම මගේ ව්‍යාපාර කටයුතු  කරගෙන යන අතරේ විනෝදාංශයට ගීත ලියනවා. මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මානව සම්පත් කළමනාකරණ අංශයෙන් තමයි මම උසස්පෙළ අධ්‍යාපනය හැදෑරුවේ. ඔස්ට්‍රේලියාවට යාමට පෙර මොබිටෙල් සහ තවත් පුද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස වැඩ කළා. එහේ ගියාට  පස්සේ මගේ ව්‍යාපාර පටන් ගත්තා. ප්‍රධානව කටයුතු කරන්නේ ඉදිකිරීම් අංශයේ. 

ගීත ලියන්න පටන් ගත්තේ? 

පාසල් යන කාලයේදීම වගේ ගීත ලියන්න  පටන් ගත්තෙ. මගේ පළවැනි ගීතය ලිව්වේ ජගත් වික්‍රමසිංහ මහතාට. ඉන්පස්සේ කීර්ති  පැස්කුවල්, විශාරද  නන්දා මාලිනිය, කරුණාරත්න දිවුල්ගනේ, ශර්ලි වෛජයන්ත, කුමාරසිරි පතිරණ, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ශෂිකා නිසංසලා, තීක්ෂණ අනුරාධ, ආදිත්‍යා වැලිවත්ත ඇතුළු ප්‍රවීණ සහ නව පරපුරේ කීප දෙනකුටම ගීත ලියා තියෙනවා.

මෙතෙක් ලියූ ගී අතරින් වඩාත්ම ජනප්‍රිය වූ මියුසික් වීඩියෝව? 

දමිත් අසංකට කළ නුඹ මට සිහිවෙන ගීතය ඇතුළත් මියුසික් වීඩියෝව ජනප්‍රිය වී තිබෙනවා. ළඟදීම කළේ ශෂිකා නිසංසලා සහ ගීතාන් බණ්ඩාරට කළ ගීතය. ඒකටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ ඔක්කෝටම වඩා අද ජනප්‍රිය වී තිබෙන්නෙ. තීක්ෂණ අනුරාධ ගයන මේ ගීතය. ආදර සිහින ඒ මියුසික් වීඩියෝවෙ නම. දුල්ෂානිට තමයි මම ඒ ගීතය ලිව්වේ. ඒකෙ කියැවෙන්නේ අපේ ආදර කතාව. තිළිණ  රුහුණගේ  තමයි මියුසික් කළේ. 

කොහොමද රඟපෑම පහසුද? බුද්ධිකට? 

රඟපෑමේ ආසාවක් නම් නැහැ. අපි දෙන්නගෙ ආදර කතාව නිසයි මේ ගීතයට පෙනී සිටියෙ. ඒ හැරත් එහි නිෂ්පාදනයත් මගේමයි. ඉතින් අපහසු වුණේ නැහැ. 

මෙල්බර්න්වල පදිංචිව සිටින ඒ අතරේ ලෝකේ වටේ යන බුද්ධිකට ඇයි දුල්ෂානි කෙරෙහිම හිත ගියේ? 

එක්තරා විදියකට මම එයාගෙ රසිකයෙක්. එයාගේ නාට්‍ය එහෙම නරඹලා තිබුණෙ. ඒ කැමැත්ත තිබුණා. මගේ මියුසික් වීඩියෝවලට තෝරා ගත්තට පස්සෙ තමයි ඇය එක්ක කතාබහ කරද්දී මට තේරුණේ මේක සංසාරික බැඳීමක් කියලා. එයාගෙ දඟකාර හුරතල් ගතියට තමයි ඉස්සෙල්ලම හිත ගියේ. ටෙලිනාට්‍යවල එයාගෙ දකින චරිතවලට වඩා පොඩි ළමයෙක් වගේ චරිතයක්. 

මේ විදියට හිත ගිය ආදරය, සංසාරික බැඳීමක් ලෙස දිගටම පවත්වාගෙන යන්නට නම් මොන වගේ ගුණාංග තිබිය යුතුය කියලද බුද්ධික හිතන්නෙ? 

මට ආදරේ කරන මා ගැන හොයන බලන දේ එක්කම එයාගෙ තියෙන දඟකාර හුරතල්කම එක්ක අපි කතාබහ කරද්දී ඒක ඇත්තටම සංසාරික බැඳීමක් කියලා මට තේරුම් ගියා. ඒ නිසා ජිවිතේ ඉතිරි කාලය ඇය එක්ක ගෙවන්න තීරණය කළා. 

බුද්ධික ඔබ සොඳුරු ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ගේය පද රචකයෙක් ඔබ කොහොමද ප්‍රේමය ගැන විග්‍රහ කරන්නේ? 

ඒක ඇත්තටම අධ්‍යාත්මික බැඳීමක්. බාහිර ලෝකයේ දේට වඩා මේ බැඳීමේදී අනෙක් කෙනාව කොච්චර දුරට වටහා ගන්නවද? තේරුම් ගන්නවද? කැප කරන කාලය ඇතුළු ඒ සියලු දේ එක්ක මුසුවූවක්. ඒ සියලු දේ දුල්ෂානි ළඟ තියෙන නිසා ආදරේ ලස්සනට ගත කරනවා. දුල්ෂානි හොඳ හැකියාවක් තියෙන හොඳ තේරුම් ගැනීමක් තියෙන චරිතයක්. ඇය එක්ක සාර්ථක විවාහ දිවියක් ගත කරන්න පුළුවන් වේවි. 

සඳුන් ගමගේ