වර්තමාන දරුවන්ට දකින්නට නොලැබෙන එදා දරුවන් විඳපු ඒ සුන්දර ළමා කාලය මේ නිර්මාණය තුළින් රසවත් විදියට ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වන සුන්දර ළමා ලෝකය වටා ගෙතුණු ‘රන් කොල්ලා’ සිනමා නිර්මාණය ගැන කතා කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන්කර ගන්න හිතුවා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ කලා ක්ෂේත්‍රයේ රංගන අංශයෙන් වැඩි කතාබහට ලක්වුණු සම්මානනීය රංගන ශිල්පියකු වන සුමිත් රත්නායකයි. මේ කතාබහ ඔහු සමඟිනුයි.

රන් කොල්ලා රිදී තිරයට එන්නෙ කොහොමද?

ශාන්ති දිසානායක ලේඛිකාවගෙ ‘රන් කොල්ලා’ යොවුන් නවකතාව ආශ්‍රයෙන් තමයි මෙහි පිටපත නිර්මාණය වෙන්නෙ. 70 දශකයේ ග්‍රාමීය පරිසරයක පුංචි අවිහිංසක දුටුවන් වශීකරන රූපයකින් හෙබි පුංචි දරුවකු වටා තමයි මේ කතාව ගෙතෙත්නෙ. ආදරය. ඊර්ෂ්‍යාව කුහකකමින් ජීවත් වෙනවාට වඩා ආදරය, සෙනෙහස තුළින් කොයිතරම් දේවල් වෙනස් කරන්න පුළුවන්ද කියන දේ මේ නිර්මාණය තුළ දිග හැරෙනවා.

ඒ වගේම එදා පුංචි දරුවන්ට උරුම වූ ඒ සුන්දර ලෝකය සංකීර්ණ නොවූ සරළ දිවි පැවැත්ම කොයිතරම් සුන්දරද  කියන දේත් මේ තුළින් දකින්නට විඳින්නට පුළුවන්.

එදා පුංචි දරුවන්ට උරුමව තිබුණු සුන්දර ලෝකය අදවෙද්දි ගිලිහිලා ගිහින් නේද?

මේ නිර්මාණය නරඹන අයත් කියන්නේ වර්තමාන දරුවන්ට දකින්නට නොලැබෙන එදා දරුවන් විඳපු ඒ සුන්දර ළමා කාලය මේ නිර්මාණය තුළින් රසවත් විදියට දකින්න තියෙනවා කියලා.

මෑතකදී බිහිවුණු හොඳම නිර්මාණයක් කියන දේ තමයි කියන්නේ.

ඇයි ළමා ලෝකයටම නිර්මාණයක් කරන්න හිතුවෙ?

මගේ උපන් ගම අනුරාධපුරයනෙ. ඒ ග්‍රාමීය පරිසරය තුළ තමයි මම කලාවට යොමුවෙන්නෙත්. ඉතින් මේ නිර්මාණයත් ඒ සුන්දර පරිසරය අළලා ගෙතු කතාවක්නෙ. මේ නවකතාවෙ කතුවරිය වන ශාන්ති දිසානායක මහත්මියගෙ නිවසට ගිහින් ඉන්න මොහොතක තමයි ඇය මගේ අතට ‘රන් කොල්ලා’ යොවුන් නව කතාව දෙන්නෙ කියවලා බලන්න.

පසුව තමයි මම මේ පොත කියවන්න ගන්නෙ. ඒ කියෙව්වට පස්සෙ මට හිතෙන්නෙ මේ තුළ මට සමාජයට දෙන්න ලස්සන කතාවක් තියෙනවා කියලා. ඒ සිතිවිල්ලත් එක්ක මට හිතුණා. සිනමා මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයාට ළං කරන්න මේ කතාව ගොඩනගන්න. ඒ විදියට තමයි මෙහි මූලික කටයුතු ආරම්භ වෙන්නේ.

මේ තුළ රංගනයෙන් දායකවෙලා ඉන්නෙ ජයලත් මනෝරත්න වැනි කලා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත. අද ඒ චරිතය ජීවතුන් අතර නැහැ. මේ නිර්මාණය අද දකිද්දි කොහොමද ඒ අඩුව දැනෙන්නෙ?

ඒ අඩුව ගැන නම් ඉතින් කොහොම කියන්නද කියලා හිතාගන්න බැහැ. ඔහුගෙ වියෝව කලා ක්ෂේත්‍රයටම පිරිමහන්න බැරි පාඩුවක්. ඇත්තටම මේ චරිත තෝරද්දි මට අවශ්‍ය වුණා මේ නිර්මාණයට හරියටම ගැළපෙන චරිත තෝරගන්න. ඉතින් ජයලත් මනෝරත්නයන් වගේ ප්‍රවීණයෙක් අපිට හීනයක්නේ. මොකද ඔහු කලා ක්ෂේත්‍රයේ වේදිකාවේ පුංචි තිරයේ සිනමාවේ වීරයෙක්.

ඔවුන්ගේ දක්ෂතා දැකලා තමයි අපිටත් මේ ක්ෂේත්‍රයට එන්න ආස හිතෙන්නෙ. ඉතින් කලා ක්ෂේත්‍රයේ එවැනි චරිතයක් මගේ නිර්මාණයකට සම්බන්ධ කරගන්නට ලැබීමම ලොකු ජයග්‍රහණයක්. විශේෂයෙන්ම කියන්න ඕන මම මේ වෙනුවෙන් ඔහුට ආරාධනා කළාම කොන්දේසි විරහිතව මගේ නිර්මාණයට සම්බන්ධ වෙනවා. ඒක මට විශාල ශක්තියක් වුණා. ඔහු මුල සිටම රූපගත කිරීම්වලට සම්බන්ධ වුණු තැන සිටම ලොකු සහයෝගයක් දැක්වූවා. ඔහු සමග ගත කරපු ඒ කාලය හරිම රසවත්.

ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ තවත් චරිතයක් සරත් චන්ද්‍රසිරි රංගන ශිල්පියා. අද ඔහුත් ජීවතුන් අතර නැහැ. නමුත් ඒ කලාකරුවන් මගේ නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මේ නිර්මාණය නරඹද්දි ඔවුන්ගේ ඒ අඩුව හදවතටම දැනෙනවා.

ඔවුන්ට මේ නිර්මාණය දකින්නට නොහැකිවීම ලොකු දුකක් නේද?

2018 වසරේ අග භාගයේ තමයි මේ නිර්මාණයේ වැඩ අවසන් කළේ. ඉතින් 2019 වසරේ මට අවස්ථාව ලැබුණා. මනෝ අයියා ඇතුළු පිරිසට මේ නිර්මාණය පෙන්වන්නට. ඒ හැමෝම ගොඩක් සතුටු වුණා නිර්මාණය දකිද්දි. නමුත් පසුගිය 18 වැනිදා පැවති මංගල දර්ශනයට සම්බන්ධ වෙන්න ඔහු සහ සරත් චන්ද්‍රසිරි කලාකරුවාණන් අපි අතර හිටියෙ නැහැ. ඉතින් ඒ අඩුව ගොඩක්ම දැනුණා. නමුත්  කොහේ හරි තැනක ඔවුන් හොඳින් ඇති. ඒ ඉන්න තැනක ඉඳන් අපි දිහා බලාගෙන ආශිර්වද කරනවා ඇති.

මේ නිර්මාණය නරඹපු ප්‍රේක්ෂක පිරිසගෙ ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම සතුටුදායකයි. මේ නිර්මාණයට කලා ක්ෂේත්‍රයේ දැවැන්ත කලාකරුවන් පිරිසක් සම්බන්ධ කරගන්න ලැබුණා. ඒ අතර අපෙන් වෙන්ව ගිය කලාකරුවන් දෙපළ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය, ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේ මහත්මයා ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මහත්මිය ඇතුළු දැවැන්ත චරිත තමයි මේ නිර්මාණයට සම්බන්ධ වුණේ.

ඉතින් ගොඩක් දෙනෙක් කියන්නේ මේ පිරිස එක නිර්මාණයකින් දකින්න ලැබීමත් ලොකු සතුටක් කියන දේ. ඒ ප්‍රතිචාර මටත් සතුට දනවන කාරණාවක්.

මම මේ නිර්මාණය කළේ පිටරටක ඉන්න විනිශ්චය මණ්ඩලයටත්, ලෝකෙ වෙන කොහේ හෝ සමාජයක ඉන්න පිරිසකටවත් නෙමෙයිනෙ. ශ්‍රී ලාංකීය පුරවැසියන් තමයි මෙය නිර්මාණය කළේ. ඒ නිසා දරුවොත් එක්ක ගිහින් මේ නිර්මාණය දකින්න විඳින්න කියලා ආරාධනා කරනවා.

මේ ඔබේ පළමු සිනමා අත්දැකීමද?

ඔව්. මීට පෙර මම ටෙලි නිර්මාණ තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

මීට වසරකට දෙකකට ඉහතදී පමණ ඔබේ ටෙලි නිර්මාණයක් වූ ‘මද්දහන’ සම්මාන රැසකටම පාත්‍ර වුණා නේද?

ඔව්. ඒ නිර්මාණය සුමති සම්මාන උළෙලේදී සම්මාන 9කට පාත්‍ර වුණා. එහිදී මට හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් හොඳම පිටපත සහ හොඳම ගීත නිර්මාණයට හිමි සම්මානයත් ලබාගන්න හැකි වුණා. එකම නිර්මාණයකට ඒ සම්මාන රැසම ලැබුණෙ. ඉන් පසුව මම කළේ ‘මහපොළොව’ කියන නිර්මාණය. ඒ නිර්මාණයත් ප්‍රේක්ෂක අවධානයට ලක්වුණ නිර්මාණයක්.

ඉදිරියේදී අධ්‍යක්ෂණයෙන් කොයි වගේ සැලසුමක්ද තියෙන්නෙ?

තවම නම් ඒ ගැන හිතලා නැහැ. ඉදිරියට මගේ කලාව භාවිතාව සහ නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන තීරණය වෙන්නෙ ‘රන්කොල්ලා’ චිත්‍රපටය මිනිස්සු කොයිතරම් දුරට වැලඳ ගන්නවාද කියන තීරණය මත. මේ වෙද්දි නම් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ඉතින් ඒ හැමදේම එක්ක තමයි ඊළඟ පියවරට යන්නේ.

ඔබ අධ්‍යක්ෂණය කරන නිර්මාණවලට රංගන ශිල්පියෙක් විදියටත් ඔබ දායක වෙනවා. මේ දෙකම කරගෙන යන්න අපහසු නැද්ද?

මම කලා ක්ෂේත්‍රයට යොමුවෙන්නෙ බොහොම පුංචි කාලෙ ඉඳන්. ඒ කාලෙදි උතුරු මැද කලා උළෙල ළමා නාට්‍ය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තුළ මම නිර්මාණ අධ්‍යක්ෂණය කරලා රඟපාලත් තියෙනවා. වේදිකා නාට්‍යයක් ඒ විදියට කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මට හිතෙනවා මා තුළ ඉන්න රංගන ශිල්පියාට හොඳම අධ්‍යක්ෂකවරයත් මමම තමයි කියලා. මගේ නිර්මාණවල රඟපාන්න මට කිසිදු අපහසුවක් නැහැ. ඒක මට නම් හරි පහසුයි.

සුමිත් රත්නායක කියන රංගන ශිල්පියා විවිධාකාර චරිත රංගන අතරින් ප්‍රේක්ෂකයා අතරට ගියානෙ. ඇයි මේ කාලේ වැඩිපුර පේන්න නැත්තේ? නිර්මාණ හිඟකමද? දායකත්වයේ අඩුවද?

ඇත්තටම මම ගොඩක් වැඩ තෝරා බේරාගෙන කරන කෙනෙක්. විශේෂයෙන්ම කොටස් 50, 60 නාට්‍ය විතරයි කරන්නේ. කොටස් 100, 200 ඇදෙන නිර්මාණවල රඟපාන්නේ නැහැ ඒ විදියෙ මෙගා නාට්‍ය නිර්මාණය කරන්නෙත් නැහැ. ඒක ප්‍රතිපත්තියක්. කලාකරුවෙක් කියන්නෙ සමාජයට ලොකු මෙහෙවරක් කරන කෙනෙක්. පෙර ගමන්කරුවෙක්. ටෙලි නාට්‍යයක, චිත්‍රපටයක රඟපෑවා කියලා ඔහු සැබෑ කලාකරුවෙක් වෙන්නෙ නැහැ. සැබෑ කලාකරුවෙක් වෙන්න නම් ප්‍රතිපත්ති, වගකීම් තියෙන්න ඕනෑ. ඒවා එක්ක ජීවත් වුණොත් මේ තුළ රැඳෙන්න හැකි වෙයි.

ධනු විජේරත්න