වර්තමාන චිත්‍රපටවලවත් නැති දේවල්, මම මේ නිර්මාණය තුළින් දකිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු ටීවී හරහා ඔබ රසවිඳින ටෙලි නිර්මාණ අතර රැල්ල වෙරළට ආදරෙයි කියන්නෙ, කවුරුත් ඉතාමත් ආදරෙන් වැළඳගත් සුවිශේෂී නිර්මාණයක්. ඊට හේතු කිහිපයක්ම තියෙනවා. හදවතට ළඟ චරිත, මහ පොළොවෙ ජීවත්වන සැබෑ චරිත තිරය ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප කිරීම වැනි හේතු රැසක් නිසාවෙන් මේ නිර්මාණය වටා එකතුව සිටින පිරිස ඉතාමත් වැඩියි. ඒ නිසාම නිර්මාණයට, එහි චරිතවලට ආදරය කරන පිරිස දවසින් දවස වැඩිවෙලා කිව්වොත් හරි. හෙළ සිනමාවේ දැවැන්ත චරිතයක් වන ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිකයන් ද ඔබට මේ නිර්මාණය ඔස්සේ දැකිය හැකියි. ඒ රත්තරන් මුදලාලිගේ චරිතයෙන්. 

සිනමාව තුළ අප දුටු දැවැන්ත චරිතයක් ටෙලි නිර්මාණයක මෙලෙස නව පරපුරේ පිරිස් සමඟ දකින්න ලැබීම ප්‍රේක්ෂක ඔබට නිරායාසයෙන්ම අලුත් අත්දැකීමක් වනවා නොඅනුමානයි. ඔහු පවසන පරිදි නව පරපුරේ පිරිස් සමඟ වැඩ කරන්න ලැබීම ඔහුටත් ගෙන දෙන්නේ සතුටක් !
 
" හරිම දක්ෂ දරුවො පිරිසක් අපිට ඉන්නෙ.. මට සතුටුයි ඒ අය එක්ක මේ විදියට වැඩ කරන්න ලැබීම ගැන.. ආගන්තුක චරිතයක් හැටියට රැල්ල වෙරළත් එක්ක එකතු වුණු මම ,මේ විදියට කැමැත්තෙන් නිර්මාණය එක්ක රැඳෙන්නත් ඒක ලොකු හේතුවක් වෙලා..."
 
නව පරපුරේ කලා තරු ගැන ඇතැම් ප්‍රවීණයන් ළඟ ඇති චෝදනාවන් ඔහු ළඟ නැති බවයි අපිට නම් හැඟුණෙ....
 
එක දිගටම ඒකාකාරීව ගලා යන නිර්මාණයක් නොවන නිසාම , මේ ටෙලි නිර්මාණය විවිධ මානයන් විටින් විට ස්පර්ශ කරන අයුරු අපිට දකින්න ලැබෙනවා.
 
එහෙම එක තැනක් තමයි සුදු මැණිකෙගෙ ආදර කතාව.
 
තාත්තාගේ බලපෑම් එක්ක මේ ආදර කතාව ගලාගෙන යන්නෙ හැලහැප්පීම් ගොඩක් එක්කනෙ. ඉතින් ඔන්න අපේ කතා නායකයාටත් ඊට දායක වෙන්න වෙලා තිබුණා... ඒත් එක්කම ආදරණීය ප්‍රේක්ෂකයන් ඔහුට කළ ඉල්ලීම්, ඔහුට දැක්වූ ප්‍රතිචාර තමයි වඩාත් වටින්නෙ. මොකද එයින්ම පැහැදිලියි නිර්මාණය කෙතරම් දුරට රසික හදවතට සමීප වෙලාද කියන කාරණය....
 
"රැල්ල වෙරළට ආදරෙයි ටෙලියට මට නිවන්ත කතා කරේ ආගන්තුක චරිතයකට රඟපාන්න. කාලයත් එක්ක මට සෑහෙන්න ප්‍රතිචාර ආවා. එහෙම තමයි රත්තරන් මුදලාලි කෙලින්ම කතාවට දායක වෙන්නෙ. දැන් දැන් කතාව යන විදියට රත්තරන් මුදලාලිගේ අවශ්‍යතාවය නිර්මාණය පුරාවටම දකින්න ලැබෙනවා. කවුරුත් දන්නවා සුදු මැණිකෙගෙ තාත්තා ඇගේ සම්බන්ධයට විරුද්ධව කටයුතු කරන කෙනෙක්. එතනදී මගේ පුතාව ඇයට යෝජනා කරන්න කටයුතු කරනවා. නමුත් ඒ බලෙන් වෙන දෙයක් මිස කැමැත්තෙන් වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඔය කාරණයත් එක්ක තමයි මට ප්‍රේක්ෂක ඇමතුම් එන්න පටන් ගන්නෙ. මොකද ප්‍රේක්ෂක පිරිස ඉන්නෙ මේ ගලාගෙන යන ආදර කතාව පැත්තෙ...."
 
ඔහු කියන හැටියට නම් ඒ ලැබෙන ප්‍රතිචාරය හරි ඉහළයි...
 
" මාළුයි රත්තරනුයි ගැළපෙන්නෙ නෑනෙ. හැබැයි ඊට වඩා ලොකුයි යාළුකම. ඒ නිසයි මේ විදියෙ යෝජනාවක් එන්නෙ. ඉතින් ඔය කාරණයත් එක්ක මම ප්‍රේක්ෂකයාගේ සතුරෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් මට කතා කරලා අහනවා ඇයි ඔබතුමා එහෙම ආදර කතාවක් වෙන් කරන්න දායක වෙන්නෙ.. ඔබට පුළුවන්නෙ මේ ආදර කතාව සාර්ථකව ඉදිරියට ගලාගෙන යන්න හේතුවක් වෙන්න වගේ දේවල්... මමත් ඉතින් ප්‍රේක්ෂක උනන්දුව අගය කරනවා ඒ තියෙන, නමුත් අපි ඔවුන්ගේ කුතුහලයට ඒ කතා රසයට හානි කරන්න හොඳ නෑනෙ... ඒ නිසාම අපි බලමු කියන උත්තරය තමයි දෙන්නෙ. ඉතින් කෙසේ හෝ මම ඉන්න මතය තමයි මේ නිර්මාණය තුළ " සල්ලි නෙවෙයි හැමදේම " කියන කාරණය. ඒ නිසාම මගේ චරිතය එතනින් ත‍රමක් වෙනස් වෙනවා...."
 
ටෙලි නිර්මාණයකට ලැබෙන දැවැන්ත ප්‍රේක්ෂක ආදරය ඔහු විඳින්නේ, ලබන්නේේ ඒ විදියට... 
 
" මේක සරල වැඩක් නෙවෙයි. මොකද සිනමා නිර්මාණයක දකින්න ලැබෙන දේවල් මම මේ නිර්මාණය තුළින් දකිනවා. ඒ නිසාම වෙන්න ඇති මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් අපිට ලැබෙන්නෙ. රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ඉඳලා මේ නිර්මාණයට දායක වෙලා ඉන්න කවුරු ළඟත් මනා සංවිධානාත්මක බවක් මම දකිනවා. නිර්මාණයක් සාර්ථක වෙන්නෙ එහෙම. ඉතින් මටත් සතුටක් තියෙනවා එවැනි පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන....."
 
නව පරපුරේ නිර්මාණකරුවන් අගය කරන එවැනි වදන් කලාවේ අනාගතයට ඉමහත් ශක්තියක් වන බව අමුතුවෙන් කියන්න අවශ්‍යය වෙන්නෙ නෑ. මොකද ඔවුන් තුළ ඇති දැනුම ,අත්දැකීම් සම්භාරය නව පරපුර එක්ක මුහු වෙනවා කියන්නෙම කලාවට ඒක සුබ පෙරනිමිත්තක්...
 
" මේ නිර්මාණයේ මට මුණගැහෙන්නෙ හරි සීමිත පිරිසක්නෙ. හැබැයි මම කැමති මම රඟපාන්න ප්‍රිය කරන තවත් සෑහෙන පිරිසක් මේ නිර්මාණය ඇතුළෙ ඉන්නවා. ඒ අයවත් ආදරෙන් මතක් කරන්න ඕනි..."
 
ඔහු කෙතරම් ප්‍රවීණ කලාකරුවෙක් වුවත් නිහතමානී ගුණය ඉහළින්ම ඇති අයෙකි. ඒ නිසාම නිර්මාණයට සම්බන්ධව ඇති සෑම සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන්නත් අමතක කළේ නෑ....
 

නඳුනි ආරියවංශ