විභාගවලට ගිහින් ලියාගන්න බැරි වුණාම අම්මා අසනීප වෙලා කියලා ගෙදරට ආපු අවස්ථාත් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ‘ඉස්කෝලෙ කාලේ’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතු වන්නේ මේ දිනවල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින් සිටින ජනප්‍රිය චරිතයක්. ඔහු නමින් හෂාන් රත්නායක.

“මම පාසල් තුනකට ගියා. මුලින්ම ගියේ මාතර දික්වැල්ලෙ කුමාරතුංග මධ්‍ය මහා විද්‍යාලයට. 1 වසරේ සිට 8 වසර දක්වා ඒ පාසලේ ඉගෙන ගත්තේ. එතැනින් පසුව මම පාදුක්ක ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ පාසලේ O/L දක්වා ඉගෙන ගන්නවා. O/Lවලින් පස්සේ A/L කරන්න යන්නෙ මහරගම ජනාධිපති විද්‍යාලයට.

මේ පාසල් තුනේම මතකයන් ගැන කතා කළොත් මම ප්‍රාථමික අවධියේ ඉගෙන ගනිද්දි පසු කරන්න වුණේ දුෂ්කරම කාලයක්. මොකද ඒ පාසලට යන්න එන්නම පැය දෙක හමාරක් විතර ගත වෙනවා. මම මාතර පුංචි ගමක හිටියේ. ඒ ගමේ ඉඳන් බස් එකක් ගන්න ලොකු දුරක් ගෙවාගෙන යන්න ඕනෑ. ඒ දුර යන්නෙ අපි ලොරි භාගයක. ලොරි භාගෙ ගිහින් බස් එක ගන්න දික්වැල්ලට යන්න ඕනෑ. ඒ යන ගමන මාරම වෙහෙසකරයි. ඒ නිසාම සමහර දවස්වලට මම මගට ගිහින් බැහැලා ආයෙත් ගෙදර එනවා ලොරිය කැඩුණා කියලා. ඒ වගේ බොරුත් ඒ කාලෙ කළා උදේට ඉස්කෝලෙ යන්න කම්මැලි හිතුණාම. ඇත්තටම ඒ ගමනෙ විඩාව ඒ තරමට නීරසයි.

ඒ දේවල් නිසා ගොඩක් වෙලාවට ඒ කාලෙදි මට අධ්‍යාපනය මගඇරුණා. ඒත් එක්කම ගෙදර ආර්ථික පසුබිමත් බලපෑමක් වුණා. මේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙද්දි ඉස්කෝලෙ සමහර විභාගවලට ගිහින් ලියාගන්න බැරි වුණාම අම්මා අසනීප වෙලා කියලා ගෙදරට ආපු අවස්ථාත් තියෙනවා. ඒ කාලෙ මම ඉස්කෝලෙ බාහිර වැඩවලට තමයි ගොඩක් සම්බන්ධ වෙලා හිටියේ. කලා අංශයට ඒ කාලෙ ඉඳන් දක්ෂතා තිබුණා. විශේෂයෙන් චිත්‍ර අංශයට. චිත්‍රවලින් සමස්ත ලංකා මට්ටමින් පවා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ප්‍රාථමික කාලෙ බලාපොරොත්තු වුණෙත් චිත්‍ර ශිල්පියෙක් වෙන්න. නමුත් ප්‍රාථමික අවධියෙන් පසුව මම 8 වසරෙදි කොළඹ ඉස්කෝලෙට ආවාම ඒ හැමදේම වෙනස් වුණා. අධ්‍යාපනයට තමයි ලොකු තැනක් දුන්නෙ.

මම පුංචිම කාලෙ හැදුණෙ ආච්චි ළඟ. මාතර ඉඳන් කොළඹට ආවම මගේ වගකීම් භාරකාරත්වය පැවරුණේ ලොකු අම්මාට. ඒ නිසා ලොකු අම්මා කියන දේ අහගෙන අධ්‍යාපන කටයුතුවලට තමයි ලොකු තැනක් දීලා තිබුණේ. කොළඹට ආපු ගමන් මට ලොකු ඉස්කෝලෙකට යන්න කැමැත්තක් තිබුණෙ නැහැ. මොකද ගමේ ඉඳලා කොළඹට එනවා කියන්නෙ ජීවිතේ ලොකු වෙනසක්නෙ. වෙනම පරිසරයකට හැඩ ගැහෙන්න ඕනෑ. ඒ නිසා මට ඕනෑ වුණේ පුංචි ඉස්කෝලෙකට යන්න. ලොකු ඉස්කෝලෙකට ගියොත් කොන් වෙයි කියලා හිතුණා. ඒ නිසා කොළඹ පරිසරයට අනුගත වෙනකම් මම ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වුණේ.

ඒක පුංචි ඉස්කෝලයක්. ගෙදර ඉඳන් පයින් යන දුරක ඒ ඉස්කෝලෙ තිබුණේ. ඉතින් ටිකින් ටික මම ඒ පරිසරයට අනුගත වුණා. ඒ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා පවා වුණා පසු කලෙක. මට ඕනෑ වුණේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න. O/L සමත් වෙලා හොඳ ඉස්කෝලෙකට යන්නයි හිතුවේ. ඒ නිසාම හොඳින් වැඩ කළා. O/L සමත් වෙලා A/L කරන්න මට යන්න ලැබුණා මහරගම ජනාධිපති විද්‍යාලයට.

ඒ පාසල් තුන ඇතුළතම මම බාහිර වැඩත් කළා. වගකීම් ගොඩක් දැරුවා මුල් පාසල්වල. මම වාණිජ අංශයෙන් තමයි A/L කළේ. මට ඇත්තටම A/Lවලට ආවම එකම අධිෂ්ඨානයයි තිබුණෙ. ඒ කෙසේ හෝ විශ්වවිද්‍යාලයට යන්න. මට ඒ දේටත් හැකියාව ලැබුණා. මේ හැමදේම පසුපස හිටපු ආදරණීය ගුරු මඬුල්ලක් හිටියා. ඒ හැම දෙනාම ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ අය නිසා තමයි අද අපි මේ විදිහට සමාජයේ ජීවත් වෙන්නේ.

මම කොහොමත් ඉස්කෝලෙ කාලෙ හරිම පාඩුවෙ ජීවත් වුණ චරිතයක්. ජීවිතේට වලියකටවත් ගියපු කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මට ජීවිතේට පාසල් ප්‍රේමයක්වත් තිබිලා නැහැ. නමුත් මම 7 වසරෙදි වගේ ගැහැනු ළමයෙක්ට පොඩි ආකර්ෂණයක් තිබුණා. ඒක තමයි මගේ මුල්ම හැඟීම ආදරය සම්බන්ධව. ඒ දේ වගේම තවත් ආදරය සම්බන්ධව මතකයක් තියෙන්නෙ ගැහැනු ළමයෙක් මට කැමැත්තෙන් හිටියා. මම ඒ ළමයට කැමැති වුණේ නැහැ කියලා ඒ ළමයා මගේ ඉදිරිපිටම අත කපාගත්තා. අතේ ලේ වැක්කෙරෙද්දි ඒ ළමයගේ යාළුවො තමයි අත ගැට ගැහුවෙ. ඒ වගේ මතකයන් තියෙනවා.

A/L කාලෙදි නම් කොහොමත් ඒ ගැහැනු ළමයිගෙ ප්‍රශ්න තිබුණෙ නැහැ. මම ඒ කාලෙ බස් එකක ගියත් සටහනක් දිග ඇරගෙන කියවගෙන යන්නෙ. සමහර වෙලාවට ඒ යන ගමන් නින්ද ගිහින් රෑ වෙනකම් බස් එකේ හිටපු අවස්ථාවකුත් තියෙනවා. කොන්දොස්තර මහත්මයා තමයි මාව ඇහැරවලා ගෙදර යන්නෙ නැද්ද කියලා ඇහුවෙත්. මගෙ ලොකුම අරමුණ විශ්වවිද්‍යාලයට යෑම නිසා ප්‍රේම සම්බන්ධතා ගැන ඒ කාලෙ හිතුවෙම නැහැ.

මමA/Lවලට පන්ති ගියේ නුගේගොඩ. ඒ කාලෙ ඉතින් අපි මාළු පාන් එකයි මයිලෝ එකයි බීලා තමයි ඉගෙන ගත්තේ. නොකා නොබී එකම ඇඳුම ඇඳගෙන ගිය කාලයක් ඇත්තටම මට තිබුණෙ. අද ඇත්තටම ඒ ගෙවුණු අතීතෙ ගැන මතක් වෙද්දි මටම පුදුමයි. ඒ තරමට කටුක අතීතයක් මට තිබුණෙ.

මම අද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මේ විදියෙ ගමනක් ඇවිල්ලා තියෙන්නෙ ඉස්කෝලවලින් මම ලබාගත්තු දේවල් එක්ක.

මම කලාවට ඒ කාලෙ කැමැත්තක් තිබුණත් දක්ෂතා තිබුණත් ඒ පාසල් තුනෙන්ම හරි වේදිකාවක් නම් ලැබුණෙ නැහැ. හරි වේදිකාවක් තිබුණ නම් මම තෝරාගන්නෙ ඉදිරියට යන්න කලා විෂයන්. නමුත් වාණිජ විෂය තමයි හැදෑරුවේ. ඒ විෂය හැදෑරුවා කියලා මට වැරදුණෙත් නැහැ. නමුත් මම කලාවට වේදිකාවක් හොයපු මනුස්සයෙක්. ඒත් ඒ කාලෙ පාසල් තුනක විඳපු අත්දැකීම් ගොඩයි. යාළුවො ගොඩක් මුණගැහුණා. විවිධ ප්‍රදේශවල විවිධාකාර සමාජ මට්ටම්වල පිරිස් එක්ක ගනුදෙනු කරන්න ලැබුණා. ඒ ආශ්‍රයන්ගෙන් ජීවිතේට ලැබුණු දේවල් ගොඩයි. ඇත්තටම මුල්ම කාලෙ ගොඩක් කටුක වුණත් ඒ ගතවුණු හැම කාලයක්ම අද හිතලා බලද්දි හරිම සුන්දරයි. ආදරණීය මතකයන්.

ඒත් අද වෙද්දි මම බලාපොරොත්තු වුණු තැනට ඇවිල්ලා ඉන්නවා. ඒ හැමදේම මට ලැබුණෙ ඉස්කෝලෙ යන කාලෙ මගෙ ජීවිතේට ලැබුණු දේවල්වලින්. ඒ නිසා ඒ ගෙවුණු ජීවිතේට මම ගොඩක් ආදරෙයි.”

ධනු විජේරත්න