වෙන කෙනෙක් නිසා මගේ ජීවිතේ නිදහස නැති කරගන්නත් බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයට අලුතින් එකතු වුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි ආදරයක් ආකර්ෂණයක් දිනාගෙන සිටින අලුත් චරිතයක් සමඟින් සඳැල්ලෙන් මෙවර කතාබහක් කරන්න හිතුවා. රේස් 2 හරහා ඔබේ ආලින්දයට පැමිණෙන ඇය පූජා වින්දි.

පූජා වින්දි ගැන මේ දිනවල කතාබහ කරන්නෙ රේස් 2 නිර්මාණය හරහානෙ. මුලින්ම කියමුද මේ රංගනය ගැන?

රේස් 2 නිර්මාණය තුළ මම රංගනයෙන් දායකවෙන්නෙ ‘මහී’ චරිතයට. ඇය රේස් පදින කෙනෙක්. ඇත්තටම මේ රංගනය මට අලුත්ම අත්දැකීමක්. ඒ වගේම ටෙලි රංගනයක් වෙනුවෙන් දායක වෙන ප්‍රථම අවස්ථාව.

මේ රංගනය වෙනුවෙන් පූජාව සම්බන්ධ කරගන්නෙ කවුද?

රේස් 2 හි අධ්‍යක්ෂවරයා ගීතාංජන කොස්තා අයියා තමයි මට මේ වෙනුවෙන් අවස්ථාවක් ලබාදෙන්නෙ. ඇත්තටම රංගනය කියන දේට මීට පෙර මගේ කිසිම සම්බන්ධවීමක් තිබිලා නැහැ. මීට පෙරත් රංගනය වෙනුවෙන් මට කතා කරලා තියෙනවා. නමුත් මම සම්බන්ධ වෙන්න වැඩි කැමැත්තක් තිබුණෙත් නැහැ. විශේෂයෙන්ම මගේ ගම මහනුවර නිසා ඒ දුර ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා රංගනයට සම්බන්ධ වීමේ අපහසුව තිබුණා.

ඒ වගේම ඉතින් රංගනයට සම්බන්ධ වෙන්න බයක් තිබුණා. නමුත් මෙහි අධ්‍යක්ෂවරයා ඇතුළු මේ නිර්මාණය වෙනුවෙන් දායකවෙලා ඉන්න පිරිස මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ සහයෝගය සහ ශක්තිය එක්ක මගේ බය නැතිවෙලා ටිකින් ටික ඒ වෙනුවෙන් මගේ දායකත්වයත් යොමු කරන්න හැකි වුණා.

අද වෙද්දි මහීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක් දෙනෙක්ගෙන් ලැබෙන්නෙ යහපත් ප්‍රතිචාර තමයි. තවත් ඉදිරියට කලා නිර්මාණවලට දායකවෙලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නෙ.

රේස් පදින චරිතයක් රඟ දක්වන පූජාට ඇත්තටම වාහන පදවන්න පුළුවන් ද?

ඔව්. සාමාන්‍ය දුරට හැකියාවක් තියෙනවා.

පූජා කලා ක්ෂේත්‍රයට සම්බන්ධවීම සිද්ධවෙන්නෙ කොහොමද?

මම 2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වෙනවා. ඒ තරගාවලියේ අවසන් තරගකරුවන් 15 දෙනා අතරට එන්න ලැබීමෙන් පසුව මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ හරහා පියවරෙන් පියවර ආපු ගමනක් තමයි මේ.

ඒ කියන්නෙ අවුරුදු කුමරිය තරගය ද මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට පාර කැපුණෙ?

ඔව්, ඇත්තටම මේ තරගයට මාව සම්බන්ධ කරවන්න ගොඩක්ම කැමති වුණේ මගේ අම්මයි, තාත්තයි. ඒ දෙන්නට තමයි මටත් වඩා ආසාවක් තිබුණේ මාව කලා ක්ෂේත්‍රයට යොමු කරන්න. කලාව තුළ මගේ දිගු ගමනක් දකින්න අම්මා, තාත්තාගෙ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කැමැත්ත සහ බලාපොරොත්තුව නිසාමයි මම අවුරුදු කුමරිය තරගය වෙනුවෙන් අයදුම් කළේ.

ඒ කියන්නෙ පූජා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම අම්මා, තාත්තාගේ බලාපොරොත්තු සඵල වීමක්?

ඔව්. අනිවාර්යයෙන්ම. සමහර ගෙවල්වලින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට කැමති නැහැනෙ. නමුත් මගේ අම්මා, තාත්තා කලාවට ගොඩක් කැමතියි, ආදරෙයි. විශේෂයෙන්ම චිත්‍රපට බලනවා, ඒ වගේම ටෙලි නාට්‍ය බලනවා. ඒ දේවල් එක්ක මාවත් මේ ක්ෂේත්‍රයට යොමු කරන්න එයාලගෙ බලාපොරොත්තුවක් තිබුණෙ. ඉතින් අද මාව මේ ක්ෂේත්‍රය තුළ දකිද්දි ඒ දෙන්නට ගොඩක් සතුටුයි.

ඒ තරම් කලාවට ළැදි සහ ආදරේ පූජගේ අම්මයි තාත්තයි පූජාව පුංචි තිරයෙ මුලින්ම දකිද්දි කොයිවගේ ප්‍රතිචාරයක් ද දැක්වූවෙ?

ගොඩක් සතුටු වුණා. ඒ දෙන්න ගොඩක් කල් ඉඳන් බලාපොරොත්තු වුණු දෙයක්නෙ ඒ. මම මුලින් කලාවට සම්බන්ධ වෙන්න අකමැත්තක් තිබුණත් අම්මා, තාත්තගේ සතුට නිසාම තමයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ ඒ දෙන්නගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න හැකිවීම ගැන මට ඇත්තටම සතුටුයි.

පූජා කියලා නම යොදන්න ඇත්තෙත් කලා ක්ෂේත්‍රයට ගැළපෙන නිසා වෙන්න ඇති?

සමහරවිට වෙන්න ඇති. නමුත් මට මුලින්ම යොදන්න හිතලා තියෙන්නෙ ‘පියුමි’ කියලා නමුත් ඒ නම නැතිව තමයි පූජා නම යොදලා තියෙන්නෙ.

කලාව කියන දේ පුංචි කාලෙ ඉඳන් ඇඟේ තිබුණ ද?

ඇත්තටම එහෙම විශේෂයක් නැහැ. මම පාසල් යන කාලෙ විෂය බාහිර වැඩවලට වැඩිපුර දායක වෙලා නැහැ. නර්ථනය ඇර කිසිම දේකට පාසල තුළ සම්බන්ධ වෙලා නැහැ. මොකද මම කලාවට වැඩි කැමැත්තක් තිබුණ කෙනෙකුත් නෙමෙයිනෙ. මම ඒ කාලෙ ගුවන් සේවිකාවක් හෝ පශු වෛද්‍යවරියක් වෙන්න තමයි කැමැත්ත තිබුණෙ. නමුත් ඒ දේවල් මඟඇරුණා. අද වෙද්දි මම හිතුවෙවත් නැති ක්ෂේත්‍රයකට තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ.

ඉතින් අද ඉන්න ක්ෂේත්‍රය ගැන තෘප්තිමත්ද?

සතුටක් තියෙනවා. ඇත්තටම මේ මම නොහිතපු දෙයක්. නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු දෙකහමාරක් වගේ කාලයක් වෙනවා. ඒ තුළ මම විවිධාකාර වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ෆොටෝ ෂූට් ඇතුළුව මනාලියන්ට හැඩගැන්විලා තියෙනවා විවිධ විදියට අවස්ථා ගණනාවකම. ඒ වගේම මේ වෙද්දි රංගන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

ඒවත් එක්ක තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඉදිරියෙදි හැකි විදියට ඒවටත් සම්බන්ධ වෙලා මේ තුළ හොඳ ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මම දැන්නම් මේ ක්ෂේත්‍රයට කැමතියි.

මනාලියක් විදියට අවස්ථා කිහිපයක දීම හැඩ ගැන්වුණා කිව්වනෙ. එතකොට ඇත්තටම මනාලියක් වෙන්න බලාපොරොත්තු වෙන්නෙ කවද ද?

ඒ ගැන නම් තවම මගේ කිසිම අදහසක් නැහැ. මොකද මම කැමති නැහැ කොටුවෙලා ජීවත්වෙන්න. මගේ අම්මයි, තාත්තයි වුණත් මට කවදාවත් නීතිරීති දාලා කොටු කරගෙන මාව හැදුවෙ නැහැ. මට නිදහස දීලා තිබුණා. ඉතින් මම ඒ නිදහස නැති කරගන්න කැමති නැහැ. ඒ නිසා වෙන කෙනෙක් නිසා මගේ ජීවිතේ නිදහස නැති කරගන්නත් බැහැ. මම ආසයි මට පුළුවන් කාලයක් තනියම නිදහසේ ජීවත් වෙන්න. අම්මාට, තාත්තාට සලකගෙන තනියෙන් ඉන්න තමයි කැමැති.

ධනු විජේරත්න