විනයක් නැති මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබීම ඛේදයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය කලා නිර්මාණ රැසක් සංස්කරණයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩ කළ තරුණ නිර්මාපකයෙක් වන ධනුෂ්ක බණ්ඩාර රාජකරුණා සමගින් සාරවිට අපි අද කතා බහා කළේමු. මේ අපි යොමු කළ ප්‍රශ්නවලට ඔහු දුන් ප්‍රතිචාරයන්.

ධනුෂ්ක කවුද අපිට මුලින්ම අඳුන්වලා දෙමු?

වෘත්තිය මට්ටමේ සංස්කරණ ශිල්පියෙක්. ඒ වගේම දැනට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කලා ක්ෂේත්‍රය තුළ වැඩ කරමින් සිටිනවා. වර්තමානයෙන් නම් ගොඩක් දුරට අධ්‍යක්ෂණ කටයුතු තමයි සිදු කරමින් ඉන්නේ.

සංස්කරණ ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදිහට කරපු වැඩ ටිකක් මතක් කරමු?

ජාතික රූපවාහිනීයේ විකාශනය වුණ මහේන්ද්‍ර පෙරේරා අධ්‍යක්ෂණය කළ "ස්ටාර් ශ්‍රී ලංකා" ටෙලි නාට්‍යය තමයි මගේ පළමු ටෙලිනාට්‍යය සංස්කරණය. ඒ වගේම කලා ක්ෂේත්‍රයට මගේ ආගමනය සිදුවෙන්නෙත් ඒ හරහා කිව්වොත් හරි. එදා ඉදලා මෑතක බොහෝ ජනප්‍රිය වුණ නෝ පාර්කින්, සිහින සමාගම, මෑතක අවසාන වුණ මහවිරු පණ්ඩු සහ වර්තමානයේ හිරූ ටිවි රූපවාහිනි නාළිකාවේ විකාශනය වෙමින් පවතින දළදාගමනය දක්වාම මම සංස්කරණ ශිල්පියෙක් හා අධ්‍යක්ෂවරයෙක් විදිහට මගේ දායකත්වය ලබාදීලා තියෙනවා.

මේ වෘත්තින්වලට සම්බන්ධ වෙන්න කැමැත්තක් ආසාවක් මතු වුණේ කොහොමද ඔබට?

ඇත්තටම කලාව කියන්නේ ආසාවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කලාව මම දකින විදිහට විෂයක්, වෘත්තීයක්. මම උගත් දේ කලාව, මම දන්න දේ, පුහුණු කළ දේ කලාව. මට තෙරේන දවසේ පටන් මගේ සිහිනය වුණේ කලාව. මගෙ ගමනාන්තය තියෙන්නෙ කලාව තුළ බව මම දැනගෙන හිටියා. මම විශ්වාස කරනවා කලාවට අවංක වෙන මිනිස්සුන්ව කලාව විසින්ම තමයි තෝරගන්නේ කියලා.

අධ්‍යක්වරුන්ට වර්තමානයේ නැගෙන චෝදනාවක් තමා ලිංගික අල්ලස් ගැනීම?

එවැනි වරදක් වෙනවා නම් ඒ වෙනුවෙන්, ඒ වෙලාවෙම විරුද්ධවෙන්න ක්‍රියාත්මක විය යුතුයි. අල්ලස් ගැනීම වගේම අල්ලස් දීමත් එක හා සමාන වරදක්. මොනම ක්ෂේත්‍රයක වුණත් එය වරදක්. ඇත්තටම ලංකාව ඇතුළේ කලාව වෘත්තියක් බවට පත් නොවීමේ අනිසි විපාක ඕවා තමයි. ඕනැම වෘත්තියකට අපි යනකොට අපි සුදුසුකම් හදාගෙනනෙ යන්නෙ. කලාවත් එලෙසම වෘත්තීයක්. කලාවේ පැවැත්වීමට නම් විෂය ගැන හැඟීමක්, හැදෑරීමක් ඇති අය පමණක් පැමිණිය යුතුමයි.

ඉදිරි කලා කටයුතුවලට ඔබදුන් දායකත්වය මතක් කරමු?

ළඟදීම ආරම්භ කරන්නට නියමිත ටෙලි නාට්‍යක මුලික වැඩ කටයුතු ටික මේ දිනවල කරගෙන යනවා. එය කාල තරණය ප්‍රස්තූතය කරගත්ත අපූර්ව තිර පිටපතක් නිසා ඒ හා සම්බන්ධ දේවල් පිළිබඳව තමයි මේ දවස් වල අධ්‍යයනය කරමින් ඉන්නේ.

කලා ක්ෂේත්‍රය තුළ නියැලෙන්නන් තුළ වැඩිදියුණු විය යුතුයැයි ඔබ සිතන ගුණාංග මොනවාද?

අනිවාර්යයෙන්ම විනය සහ පරිණතවීම. විනය නැති වුණාම බොහෝ දේ නැතිවෙනවා. නාට්‍ය නිර්මාණයක් නිතරම සාමූහික ප්‍රයත්නයක්. ඒ නිසා කණ්ඩායම් හැඟීම තබිය යුතුමයි. විනයක් නැති මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබීම ඛේදයක්. ඒ වගේ අප්‍රසන්න අත්දැකීමකට මටත් ඉතාම මෑතක මුහුණ දෙන්න ලැබුණා.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න තරුණ තරුණියන්ට පණිවිඩයක් දෙනවනම්?

විෂය ඉගෙනගෙන එන්න. තවදුරටත් හදාරන්න, හොයන්න, විෂයට අවංක වෙන්න. මේ කාරණා එක්ක හොඳ ගමනක් මේ ක්ෂේත්‍රය තුළ යන්න පුළුවන් කියන අදහස දෙන්න පුළුවන් මට.

(බුද්ධික සේනාධිර)