විනෝදෙට සිංදු කියන අයියයි නංගියි
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් U Tube සහ Tik tok සමඟ ගනුදෙනු කරන පිරිසට නම් සුවහස් සහ සදසි කියන අයියයි නංගියි අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ තරමට මේ පොඩ්ඩො දෙන්නා සමාජ මාධ්‍යයේ අද වනවිට ඉතාම ජනප්‍රියයි. තමන්ගේ පුංචි නංගිවත් මෙහෙයවමින් ගීත ගායනයේ යෙදෙන මේ අයියා සැබෑවටම හරි අපූරු චරිතයක්. ඒ නිසාම මෙවර සඳැල්ලට මේ පුංචි තරු යුගල එකතු කරගන්නට හිතුවා. සඳැල්ල කවරය ද හැඩ කරමින් අප සමඟ එක්වූ ඔවුන්ගේ වතගොතයි මෙලෙස දිග හැරෙන්නේ.
මුලින්ම මේ අයියයි නංගියි ගැන පුංචි හැඳින්වීමක් කරමුද?
මම සුවහස් දෙනෙත් දෙව්මිණ. අවුරුදු 16යි. මේ වසරේ තමයි මම O/L කළේ. පාසල් ගියේ කොණකළගල, අලවතුගොඩ ශ්‍රී සද්ධානන්ද විද්‍යාලයට. එතකොට මගෙ නංගි සඳසි හසංගි දෙව්මි, නංගිට අවුරුදු 6යි. 1 ශ්‍රේණියේ තමයි ඇය ඉගෙන ගන්නෙ. මාතලේ Green woodජාත්‍යන්තර පාසලට තමයි යන්නෙ. ඒවා තමයි අපි දෙන්නා ගැන කියන්න තියෙන්නෙ.
මේ අයියයි නංගියි දෙන්නා කොහොමද ගීත ගායනා ආරම්භ කරන්නෙ?
මීට වසර දෙකකට පමණ පෙර වගේ covers කරලා Fb දැම්මා. ප්‍රධාන වශයෙන් Tik tok තමයි කළේ. ඇත්තටම විනෝදාංශයක් විදියට තමයි කරන්න පටන් ගත්තෙ. මම කොහොමත් සංගීතයට හරිම කැමැතියි. ඒනිසා ඒ අංශයට නැඹුරුවක් තිබුණා. මුලින්ම ගිටාර් එක ප්ලේ කරන ගමන් තමයි ගීත ගායනා කරලා දැම්මෙ. මම සමාජ මාධ්‍යයට ගීතයක් මුලින්ම මුදාහැරියේ ගිය වසරේ මැයි මාසයේදී. ඒ මුල්ම වීඩියෝවෙ මුහුණ පෙණුනෙත් නැහැ. කොට්ටයක් උඩ ෆෝන් එක තියලා රෙකෝඩ් කරලා දැම්මෙ. ඒ විදියට මුල්ම වීඩියෝව එකතු කරලා එතැනින් පසුව ටිකින් ටික වීඩියෝ එකතු කළා. නංගිව එකතු කරගෙන මේ වැඩ කටයුත්ත කරගෙන යන්නෙ මීට මාස දෙකකට පමණ පෙර සිට. නංගිගෙ උපන්දිනය දවසෙ තමයි මම ඇයව මේ වෙනුවෙන් සම්බන්ධ කරගත්තෙ. ඒ ඔක්තෝබර් 3 වෙනිදා. දැන් අපේ පේජ් එකේ එක් ලක්ෂ අනූදහසක් ඉන්නවා.
නංගිට ගීත ගයන්න උගන්වන්නෙත් අයියාද?
ඔව්, නංගි කොහොමත් ගායනයට හරි කැමැතියි. ගීත අහන්නත් කැමැතියි. ගොඩක් ගීත අහගෙන ඉඳලා තමයි කියන්නෙ. ඒ වගේ සමහර වචන වැරැදියට එයා කියන්නෙ. ඒවා තමයි මම ගොඩක් නිවැරැදි කරන්නෙ. නැත්නම් ගීත අහන්න දුන්නම ඒවා අහගෙන නිවැරැදිව ගායනා කරනවා. සමහර ගීතවල වචන නම් කොච්චර කියලා දුන්නත් වරද්දනවා.
අයියාට චණ්ඩි පාට් එහෙමත් දානවා ඇති?
සමහර වෙලාවට එහෙම දේවල් තියෙනවා. ඒත් නංගි මගෙත් එක්ක හරි එකතුයි. කියන දේ අහනවා ගොඩක් වෙලාවට. ගෙදර නම් චණ්ඩියා නංගි තමයි.
නංගි විතරද ඉන්නෙ සුවහස්ට?
නංගියි, මල්ලියි ඉන්නෙ. මල්ලි 7 වසරෙ. මල්ලිටත් ගීත ගායනා කරන්න පුළුවන්. මල්ලි වීඩියෝවලට සම්බන්ධවෙන්න කැමැති නැහැ. ඒත් අපේ දේවල්වලට උදව් නම් කරනවා.
පවුලේ හැමෝටම ගීත ගායනා කරන්න පුළුවන් කියන්නේ සංගීතයට සම්බන්ධ පවුල් පසුබිමක්ද තියෙන්නෙ?
අපේ අප්පච්චි සංගීතයට නැඹුරුයි. අප්පච්චිට සංගීත කණ්ඩායමකුත් තිබිලා තියෙනවා. නමුත් ජනප්‍රිය එකක් නම් නෙමෙයි. ගීත ගායනයට වගේම ගිටාර් වාදනයටත් අප්පච්චිට දක්ෂතා තිබුණා. ඒත් අපි පුංචිම කාලෙ නම් මේ අංශයට නැඹුරු බවක් තිබුණෙ නැහැ. නමුත් පාසලේදි 6 වසරෙදි වගේ සිට පාසලේ විවිධ උත්සව සහ වැඩ සටහන්වල සමිති සමාගම්වල වගේ ගීත ගායනා කරලා තියෙනවා. ඒ නිසාම පාසල් වේදිකාවෙ හුරු පුරුද්දක් යම් දුරකට තිබුණා. මට ගීත ගායනය සහ ගිටාර් වාදනයට විශේෂයෙන්ම හිත ගියේ 9 වසරෙදි වගේ. එතැන් පටන් මේ දක්වාම සංගීතය එක්ක ජීවත් වෙනවා.
පාසලෙන් ප්‍රශ්න ඇතිවුණේ නැද්ද සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධව?
එහෙම ගැටලුවක් ඇතිවුණේ නම් නැහැ. මගෙ සහ නංගිගෙ ගීත වීඩියෝ මේ වෙද්දි 30ක් පමණ එකතු කරලා තියෙනවා සමාජ මාධ්‍යයට. ඇත්තටම ඒවට හොඳ ප්‍රතිචාර තමයි ලැබුණෙ. ගුරුවරුන්ගෙනුත් ආදරණීය ප්‍රතිචාර ලැබුණෙ. ඇත්තටම ඒ හැමදේම නිසා තමයි මේ විදියෙ ප්‍රතිචාර එක්ක ලස්සන ගමනක් හෙමින් එන්න ලැබුණෙ.
අයහපත් ප්‍රතිචාරත් තිබුණද?
අම්මෝ තිබුණා. කොහොමත් ඕනෑම දේකදි යහපත් වගේම අයහපත් ප්‍රතිචාරත් ලැබෙනවනෙ. ඉතින් මටත් ගොඩක් දේවල් කියලා තිබුණා. නංගිව විකුණගෙන කනවා කියලා තිබුණා. ඒ වගේ ගොඩක් දේවල් කියලා තිබුණා. ඇත්තටම මේ වැඩ කටයුත්තට මුලින්ම ගෙදරින් කැමැති වුණෙත් නැහැ. ප්‍රශ්න පොඩිවට තිබුණා. පාඩම් වැඩ කටයුතුවලට මුල්තැන දෙන්න එහෙම කියලා අම්මගෙ අප්පච්චිගේ බර බරේ තිබුණෙ. නමුත් දැන් මේ ලැබෙන ආදරය ප්‍රතිචාර නිසා ඒ දෙන්නගෙන්ම ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා.
සංගීතයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව?
ඇත්තටම සංගීතයට ගොඩක් කැමැතියි. ඒ නිසා මේ ක්ෂේත්රය අත අරින්නෙ නැහැ. නංගියි, මමයි දෙන්නම ඉදිරියෙදි සංගීතය ඉගෙන ගන්න සැලසුම් කරගෙන යනවා. නංගි තවම පොඩි නිසා තවම විශාල වශයෙන් යොමු කිරීමක් සිදුකළේ නැහැ. ඉදිරියෙදි සංගීත අංශයෙන් දෙයක් කරයි. මමත් ගායනයෙන් වාදනයෙන් ඉදිරියට යන්න කැමැතියි වගේම අධ්‍යාපන කටයුතු පැත්තෙනුත් ඉදිරියට ගිහින් IT උපාධියක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. මෘදුකාංග ඉංජිනේරුවරයකුවීම තමයි මගේ වෘත්තිය අරමුණ වෙන්නෙ.
අයියයි නංගියි නුදුරේම ගීතයක් එළි දක්වන්නත් සූදානම් නේද?
ඔව්. අපේම ගීතයක් කළා. ගීතය ලිව්වෙ ආසිරි පෙරේරා අයියා. මෙලඩිය ජනිදු අයියගේ. ඒ ගීතය ලබන සතියේ එළිදක්වන්න සූදානම්.
අයියගෙන් මේ සම්බන්ධ විස්තර දැන ගනිද්දි පුංචි නංගි එක්ක කතා කරන්නත් අපි අමතක කළේ නැහැ.
සඳසිට දැන් ගොඩක් දෙනෙක්ගෙ ආදරේ ලැබෙනවා නේද?
ඔව්නෙ. මම දැන් අම්මලා එක්ක පාරෙ යද්දිත් ගොඩක් කට්ටිය ඇවිල්ලා මගෙත් එක්ක කතා කරනවා. කතා කරලා කියනවා මම සින්දු කියනවා නේද? ඒවා දකිනවා. ගොඩක් ලස්සනයි එහෙම කියලා කියනවා.
එහෙම කියද්දි සඳසිට සතුටුයිද?
ඔව්. ගොඩක් සතුටුයි.
සඳසි කියපු සින්දුවලින් වැඩිපුරම කැමැති සින්දුවක් තියෙනවද?
ඔව්. සන්ජීව් මාමාගේ කන විදලා සින්දුවට ගොඩක් කැමැතියි. ඒක ලස්සනට කිව්වා කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඉතින් මට ඒක කියලා පෙන්නන්න එහෙම කියලාත් කියනවා කට්ටිය.
ඉස්කෝලෙ යාළුවො මොකද කියන්නෙ?
ගොඩක් හොඳට සින්දු කියනවා ලස්සනයි කියනවා.
ලොකු වුණාමත් සින්දු කියන්නද කැමැති?
ඔව්. සින්දු කියන්න ගොඩක් කැමැතියි. ඒත් මම ඩොක්ටර් කෙනෙක් වෙන්නත් කැමැතියි.
එතකොට බෙහෙත් දෙන ගමන් සින්දු කියන්නත් පුළුවන්නෙ නේද?
ඔව්.
සඳසිට ගෙදර හා පැටියෙක් ඉන්නවලු නේද?
ඔව්. එයා වයිටි. මම ගෙදර ඉද්දි එයාව වඩාගෙන තමයි ඉන්නෙ. මම ගොඩක් ආදරෙයි මගේ හා පැටියට.
එතකොට අම්මටයි, අප්පච්චිටයි, අයියලා දෙන්නටයි?
එයාලටත් ගොඩාක් ආදරෙයි
අම්මයි අප්පච්චියි ගැනත් කියමුද එහෙනම්?
අප්පච්චිගෙ නම අජිත් නිශාන්ත. අම්මා නිලක්ෂි ප්‍රදීපිකා. අප්පච්චි සැලුන් එකක් කරනවා. අම්මා මාව බලාගෙන ගෙදර වැඩ තමයි කරන්නෙ.
ධනු විජේරත්න
ඡායාරූප - සජීව ලක්ෂාන්
පසුතලය- Solis Hotel (Kotte