වින්ඩිට ලැබෙන රසික ප්‍රතිචාර ඉතාම ඉහළයි
හිරු රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩිගේ චරිතයට පණ පොවන නිලුෂි පවන්‍යාට මෙවර සාරවිට අප ඉඩක් වෙන් කළා. පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වූ නිලුෂි වර්තමානයේ බොහෝ පිරිසක් ආදරය කරන යොවුන් රංගන ශිල්පිණියක්ද වෙයි.
වින්ඩි කියන චරිතය මේ දිනවල ගොඩක් අය කතා කරන චරිතයක් නේද?
ඔව්, දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි කිව්වාම දැන් නොදන්න කෙනෙක් නැහැ. මේ දවස්වල මට වැඩිපුරම රසික ප්‍රතිචාර ලැබෙන්නේ මේ ටෙලි චරිතය හරහා තමයි. මම හිතන්නෙත් මම දායක වුණ ටෙලි චරිත අතරේ මගේ ජනප්‍රියත්වය ඉහළ දාපු චරිතයක් තමයි වින්ඩි කියන්නේ.
දිවිතුරා විතරද නිලුෂි මේ දවස්වල වැඩ කරන්නේ?
ටෙලි නිර්මාණ කිහිපයකටම දායක වෙන්න ලැබුණා පහුගිය ටිකේ. මේ දිනවල හැබැයි විකාශය වෙන්නේ දිවිතුරා විතරයි මගේ. ඉදිරියේදී මම කරපු අනෙක් ටෙලි නාට්‍යය ටිකත් ප්‍රදර්ශනය වෙයි. බොහෝ දුරට මම හිතනවා මේ වසරේදීම මම කරපු ටෙලි නිර්මාණ ටික විකාශය වෙයි කියලා.
එදාට වඩා දැන් වැඩ අඩුද වැඩිද?
වෙනසක් නැහැ හැබැයි. අද ක්ෂේත්රය තුළ ගොඩක් පිරිස ඉන්නවා. හැමෝටම වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි සාපේක්ෂකව ගත්තොත් රට තියෙන තත්ත්වය එක්ක අපිට වැඩ ලැබෙන්නේ අඩුවෙන්. මීට වසර තුනක හතරකට පෙර අපි ගොඩක් වැඩ කළා. නමුත්, ඒ කරපු වැඩ එක්ක බැලුවොත් අද කරන්නේ අඩු ප්‍රමාණයක්.
කලා ක්ෂේත්රය තුළත් දැන් විශාල නළුනිළියෝ පිරිසක් ඉන්නවා නේද?
ඔව් පෙරට වඩා අද අලුත් අය මේ ක්ෂේත්රයට එන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ගොඩක් අය රැදෙනවා. සමහර අය නම් නිර්මාණ දෙකතුනකින් පස්සේ නැහැ. ගොඩක්ම හේතුව මේ ක්ෂේත්රය ගැන දැනුමක් නැතිවීම කියලා මම හිතන්නේ.
ඒ ගැන මොකද නිලුෂිගේ අදහස?
මම හිතන විදිහට අපිට රංගන පාසලක අවශ්‍යතාවය තියෙනවා. දැන් ගත්තොත් අපිට රංගනය ගැන යම් අත්දැකිමක් ගන්න තියෙන්නේ අනෝජා මිස්ගේ මහේන්ද්‍ර සර්ගේ ඇකඩමි වලින් පමණයි. ඒ අය අපිට උගන්වන්නේ ඒ අයගේ අත්දැකිම් හා ඒ අය විසින් හදාගත්තු රංගන අභ්‍යාස ටිකක්. ඉතින් අපි වගේ නවකයින්ට රංගනය ගැන හදාරන්න රංගන පාසලක අඩුව ගොඩක් දැනෙනවා.
සිනමාවට එකතු වෙන්න කැමති නැද්ද?
ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ඒ සඳහා ආරාධනාත් කිහිපයක් ලැබුණා. නමුත්, ඒ අතර මට හොඳයි කියලා හිතෙන චරිතයක් තිබුණේ නැහැ. බලමු ඉදිරියට හොඳ චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම සිනමාව තුළ දකිවි.
බුද්ධික සේනාධීර