වනජීවී ඡායාරූපකරණයට ආ සමන් ලෙනින් කළුවර අඳුන හදාගන්නට කළුනික සොයාගන්නා හැටි කියාදෙයි
සමන් ලෙනින් කියන්නේ අපේ ජන ගීය, ජන සංගීතය අලුත් පරම්පරාවට මතක් කර දුන් තරුණ ගායන ශිල්පියායි. අලුත් පරම්පරාවට පමණක් නොව ඔහු එය ලෝකයට රැගෙන ගොස් අපේ කමට කීර්තියක් රැගෙන ආවා. ජන හදට දැනෙන සංගීතය එක්කාසු කරලා ඔහු නිර්මාණය කරන ගීත නිරන්තරයෙන් කතාබහට ජනප්රියත්වයට පත්වෙනවා. ගායනය නර්තනය පමණක් නොව රංගනයෙන්ද පෙළහර පානා ඔහු එකී කලාවන් පසෙක තබා වෙනත් කලාවක් අරඹා ඇති බව ආරංචියි. ඒ ඡායාරූප කලාවයි.
පසුගිය දිනෙක සමන් ලෙනින් සිය මුහුණු පොතේ ඡායාරූප කීපයක් සමඟ අපූරු සටහනක් තබා තිබුණා. එම ඡායාරූප සමඟ ඔහු කළුවර අඳුන සාදාගන්නා ආකාරය පහදා දී ඇති අතර විශේෂත්වය වන්නේ පුරාණ ඍෂිවරුන් අතර රහසක්ව පවතින කළුනික සොයාගත හැකි ආකාරයත් ඔහු පහදලා තිබුණා. සමන් ලෙනින් ඔහු වනජීවී ඡායාරූප ශිල්පියෙකු ලෙස අපූරු ඡායාරූප කීපයක්ද තම කැමරා ඇසට හසු කරගෙන තිබීමත් විශේෂත්වයක්.
පහත සඳහන් වන්නේ සමන් ලෙනින් ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනයි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
"කළුවර අඳුන"
ඒක ඇඟේ ගා ගත්තාම අනුන්ට නොපෙනී ඔවුන් අතරට උව යා හැකි යැයි පැරැන්නෝ විශ්වාස කළහ. පෙර රජවරු කළුවර අඳුන ගාගෙන ගියේ හොර අල්ලන්න යැයි ද කතාවක් මා අසා ඇත.
ඒ කෙසේ වෙතත්,
ඉස්සර බලවත් මිනිසුන් අහිංසක මිනිසුන් තලා පෙලා විවිධ අකටයුතු කම් මෙන්ම හොරකම් ද කරන්නට මෙම කළුවර අඳුන භාවිතා කළ බව කියවේ.
එක් වෙද මහතෙක් කළුවර අඳුන සාදා ගන්නා ආකාරය මා හට කියා දී ඇති අතර එය සාදා ගැනීමට මා කිසිම දාක උත්සාහ කර නොමැති බවත් සාදා ගන්නා ආකාරය ඇසීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිමි.
ඒකට ගන්නා අඩුම කුඩුම අතර වැදගත්ම දේ තමයි කළුනික. කළුනික සොයා ගැනීමට පැරැන්නෝ භාවිතා කළ ක්රමය වනුයේ ඇටිකුකුළා නොහොත් ඇටිකුබ්බාගේ කූඩුවක් සොයා ගැනීමය. ඇටිකුකුළා පැටව් දැමීමට වැටකෙයියා ගාල්, පොල් ගස්, කිතුල් ගස් ආදිය යොදා ගන්නා අතර කූඩුවේ කෝටු බෝටු පොල් කොල රොඩු අතර කළුනික කෝටුවක් හෝ දෙකක් ද දමන බව විශ්වාස කළහ. ඒක සොයා ගන්නත් අපූරු ක්රමයක් භාවිතා කරන බව ගී පද රචක නීතීඥ පුබුදු චින්තක මාහට කියා ඇත. ඒ කෝටු බෝටු සියල්ල ගලා යන වතුරට දැම්මාම උඩු ගමනේ යන්නේ කළුණික ය.
නමුත් ඇටිකුකුළාගේ කූඩු සොයා ගැනීම ඉතාම අපහසු දෙයක් හැටියටයි පිළිගැනීම.
කූඩුව සොයා ගත්තත් ඇටිකුකුළු පැටියෙක් ඇහැට දකින්නට ලැබෙන්නේම නැත යන්නයි පැරැන්නන්ගේ මතය. "කූඩුවට කළුනික දැමීම පැටව් අනෙක් සතුන්ගෙන් වහං කර තබා ගැනීමට මව් සතුන් කරන උපක්රමයක්" ලෙස පැරැන්නෝ විශ්වාස කළහ.
මේ ඉන්නේ ඉතාම දුර්ලභ යැයි සම්මත ඇටිකුකුළු පැටියෙක් හා උගේ මහ එවුන් දෙදෙනාගෙන් පියාය. කෑම ලාස්තියි!
ඇටිකුකුළ් පැටවාට ගෙනා සර්පයාගේ ඇහැ වැටීමට ඔන්න මෙන්න ය. වැඩේ කියන්නේ සර්පයාගේ බඩේ ද සතෙකි.
මේ නම් සසරක සැටිය
සමන් ලෙනින්"