වේදිකාවට එන රතු වෙස් මුහුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ග්‍රීක නාට්‍යයක සිංහල අනුවර්තනයක් ලෙසින් වේදිකාවට ගෙන එන ‘රතු වෙස් මුහුණ’ මාර්තු 24 සවස 6.30ට සහ මාර්තු 25 සවස 3.30ට හා 6.30ට මරදාන එල්ෆිස්ටන් රඟහලේ දී වේදිකාගත විය. පරිවර්තන වේදිකා නාට්‍ය රැසක් සිංහල වේදිකාවට දායක කරමින් දියුණු නාට්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා වෙහෙස වන ප්‍රියංකර රත්නායකයන් සමඟ අපි සංවාද ගතවෙමු. 

රතු වෙස් මුහුණ නාට්‍යයට පෙර මේ පිටපතට නාට්‍යකරුවන් කිහිප දෙනෙකු අතින් නාර්මාණය වුණා නේද?

මීට පෙර මමත් අවුරුදු 20කට කලින් ශිෂ්‍ය නිෂ්පාදනයක් ලෙසින් මේ නාට්‍ය නිර්මාණය කළා. ඊට අමතරව අතුල පීරිස් හා අකිල සපුමල් මේ නාට්‍ය නිර්මාණය කර තිබෙනවා. අපේ නිෂ්පාදනය ගත්තොත් මුල් කෘතියට සමීපව නෙවෙයි නූතන සමාජයට ගැළපෙන අනුවර්තනයක් තමයි අපි කළේ.

කලින් කරපු නාට්‍යයක් නැවත නිෂ්පාදනය කරන්න ඔබ අදහස් කළේ ඇයි?

කලින් මම කළේ ශිෂ්‍ය නිෂ්පාදනයක්, එහෙත් මෙවර මම කරන්නේ වෘත්තීය නිෂ්පාදනයක් ලෙසින්. නාට්‍යයක ඉතාම වැදගත්ම කාරණාව තමයි නළු නිළියන්. අධ්‍යක්‍ෂවරයාගේ අර්ථකථනය වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරන්නේ ඔවුන්. ඒ සඳහා නළු නිළියන්ට නාට්‍ය පිළිබඳ දැනුමක්, අධ්‍යයනයක් අවශ්‍ය වෙනවා. ශිෂ්‍ය නිෂ්පාදනයක් කරද්දි ඒක විභාගයක් ඉලක්ක කර කරන නිර්මාණයක්. එතනදී ආධුනික ලක්‍ෂණ තිබෙන්න පුළුවන්, චරිතයකට ප්‍රවිශ්‍ඨ වීමට තිබෙන දැනුම තිබෙන්නේ වෘත්තීය නළු නිළියන් ගාව. එතනදී වේදිකාව රඟපෑම කියන කාරණාව ප්‍රමාණවත් වෙන්නේ නැත. එය ප්‍රේක්‍ෂකාගාරය සමඟ බෙදා ගන්නේ කොහොමද කියන එකත් නළුවා දැනසිටිය යුතුයි. ඒ නිසා තමයි දැනට වෘත්තීය මට්ටමේ සිටින ශිල්පීන්ගේ දැනුම හා අත්දැකීම් එක්ක මේ නිෂ්පාදනය නැවත කරන්න අදහස් කළේ. මේ හරහා ප්‍රේක්‍ෂකයා සමඟ රසයක් බෙදා ගැනීම තමයි අරමුණ 

ඔබ ගොඩාක් නිර්මාණ කර තිබෙන්නේ පරිවර්තන නිර්මාණ විදියට, ඇයි ස්වතන්ත්‍ර නිර්මාණයක් තවමත් නොකළේ. 
මගෙන් ගොඩාක් අය අහන ප්‍රශ්නයක්, ස්වතන්ත්‍ර කියන එකම මෝඩ ප්‍රශ්නයක් විදියටයි මට දැනෙන්නේ, අපි හිස් මුදුනින් අදහන මනමේ සිංහබාහු කියන්නෙත් ස්ව තන්ත්‍ර නිර්මාණ නෙවෙයි.

මනමේ නාට්‍යයේ ආකෘතිය නාඩගමෙන්, කතාව ජාතක පොතෙන් ගන්නේ, ජපන් නෝ ලක්‍ෂණ තිබෙනවා. බොහෝ ස්වතන්ත්‍ර නාට්‍ය බැලුවාම ස්වතන්ත්‍ර නොවෙයි. ලෝකයේ කොහේවත් පරිවර්තන, ස්වතන්ත්‍ර කියලා බෙදාගෙන නැහැ. අත්හදා බැලීම් එක්ක තමයි ලෝකේ නාට්‍ය කලාව දියුණු වෙලා තියෙන්නේ. ලෝකේ ප්‍රසිද්ධ නාට්‍යවල වුවත් කතාව ගත්තොත් ඒවා දේශීයව නිර්මාණය වෙච්ච නෙවෙයි. සමහර ඒවා ශතවර්ෂ ගණන් පැරණි කතන්දර, ග්‍රීක නාට්‍යකරුවා ඒවා ග්‍රීක අනන්‍යතාව සහිතව ප්‍රතිනිර්මානය කරනවා. අපි ප්‍රේක්‍ෂකාගාරය සමඟ බෙදා ගන්නා චින්තනය තමයි ස්වතන්ත්‍ර විය යුත්තේ. මනමේ සිංහබාහු නාට්‍යවල කෝළමේ, නාඩගමේ නැති චින්තනයක් සරච්චන්ද්‍ර මහතා ගෙන ආ නිසා තමයි ඒවා විශිෂ්ට නිර්මාණ වී තිබෙන්නේ ඊඩිපස් නාට්‍ය ගත්තොත් එහි වස්තු විෂය තමයි රටක් පාලනයට එන උද්දච්ච නායකයෙක් දැනුමට බුද්ධියට ඇහුම්කම් නොදීම නිසා ඇති වන ඛේදවාචකය. උද්දච්චභාවය නිසා රටත් ජනතාවත් ඛේදවාචකයට ලක්වන හැටි ඒ නාට්‍යයෙන් පෙන්වා දෙනවා, ලංකාවේ දේශපාලනයට ආර්ථිකයට සංස්කෘතියට ඒ නිර්මාණ ගලපන්න අපට හැකිවිය යුතුයි. 

ලාංකාවේ නාට්‍ය කලාව විතරක් නෙවේ සෑම ක්ෂේත්‍රයක්ම අවදානමට ලක් වී තිබෙන මොහොතක නාට්‍ය බලන්න ප්‍රේක්‍ෂකගාරය පිරේවිද?

ලෝකයේ අපි හොයලා බැලුවොත් මහා වසංගතවලින් පස්සේ ලංකාවේ කලාවන් දර්ශනයන් දියුණුවට පත්වෙලා තිබෙන්නේ මේ තත්ත්වය අපේ රටට පමණක් උරුම වුණු දෙයක් නෙවේ. අතීතයේ සොකරියක් නටලා මේ වගේ වසංගතවලින් උත්තර හෙව්වාට අද ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කොරෝනා වසංගතය අපට විශාල දැනුම් සම්භාරයක් ලබා දීලා තියෙනවා. ඒ හරහා මිනිස්සුන්ට වෙනස් වෙන්න අවකාශය නිර්මාණය කර දීලා තියෙනවා. මේ මොහොතේ ප්‍රේක්‍ෂකයා නාට්‍යයෙන් චිත්‍රපටයෙන් තරමක් ඈත් වී සිටින බව ඇත්ත. එහෙත් පසුගිය කාලේ ප්‍රේක්‍ෂා නමින් නාට්‍ය උළෙලවල් දෙකක් සාර්ථකව පැවැත්වුණා. ජනතාවටත් තමන් සිටින පීඩනයෙන් අත්මිදීමේ උවමනාව තිබෙනවා. දැන් මිනිසුන්ට තිබෙන ප්‍රශ්නය කොරෝනා අර්බුදය නොවෙයි. ඒ හරහා ඇති වෙච්චි ආර්ථික අර්බුදයට කොහොමද මුහුණ දෙන්නේ කියන එක, අතීතයේ තිබුණු ටිකට් පතක මිලත් එක්ක අද අපට නාට්‍ය පෙන්නන්න බැහැ. අර්බුදයෙන් මිදෙනකම් අප නාට්‍ය නොකර බලා ඉන්න බැහැ නාට්‍ය බලන්න කැමති ප්‍රේක්‍ෂකාගාරයක් තවමත් අපට ඉන්න එක අපට ලොකු සතුටක්.

අමිල චින්තක ගමගේ