වැඩි දෙනෙක් මාව දැන ගත්තෙත් පෝය ටෙලි ෆිල්ම් නිසා
ඔයා දැන් ඉස්කෝලෙ යන්නෙත් නෑ
ගෙදර එන්නෙත් රෑ වෙලා
සමහර වෙලාවට එන්නෙත් නෑ
මට ඔයාගේ පස්සෙන් මේ විදියට
තවත් එන්න බැහැ පුතේ
මවක් ලෙසින් ආයාචනය කරන්නෙ මත්ද්‍රව්‍ය නිසා ජීවිතය අකාලයේ වරද්දවා ගත් පුතකු ගෙනි. ඒ මවගේ පියාගේ එකම ප්රයත්නය මේ පුතු ඒ වරදින් මුදවා ගැනීමටය. අද කාලයේ හැටියට සැබැවින්ම මේ කතාව සමාජයට බෙහෙවින්ම ආදර්ශවත්ය. එලෙසින් කතා තේමාව රැගත් ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වේ. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග තිරගත වන මෙම චිත්‍රපටයේ ඒ මවගේ චරිතයට අපූරු රංගනයක යෙදී සිටින ඇය රුක්ෂාන්ති පෙරේරාය. ක්‍රිස් ඇන්තනිගේ තවත් සිනමා නිර්මාණයක් වන මෙය ‘අපේ ප්‍රින්සිපල්’ චිත්‍රපටයේ වින්දනගෙ මවගේ චරිතය රඟපාන රුක්ෂාන්ති කවුද?
රුක්ෂාන්ති, කවුද ඔබ ?
මම රුක්ෂාන්ති පෙරේරා. මම රූපවාහිනි හා වෙළෙඳ දැන්වීම් සඳහා නිරූපනයේ යෙදෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක්. චිත්‍රපට රංගන ශිල්පිනියක්. දැනට පදිංචිය මොරටුවේ. ඉගෙන ගත්තෙ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයෙන්. කලා ක්ෂේත්රයට ආවෙ 2015 දී විතර. ටී.වී. දැන්වීම් හරහා වසර හතරක් විතර එක දිගටම කළේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම් විතරයි. ටෙලි නාට්‍ය ක්ෂේත්රයට ආවෙ ‘සකලගුරු’ නාට්‍යයෙන්. ඉන්පසුව ‘ඇය’ සහ තවත් ටෙලි නාට්‍යවලට දායක වුණා.
රුක්ෂාන්තිගෙ ගම?
නුවර.
කොහොම ද පවුලේ විස්තර ?
මගේ පවුලේ අම්මයි, මමයි මල්ලිලා දෙන්නයි විතරයි. මේ වනවිට මම විවාහකයි. දැන් පදිංචිය මොරටුවෙ. මමයි, සැමියයි, අපේ දුවයි.
ෆිල්ම්වලට ආවේ ?
සකලගුරු නාට්‍යයේ රඟපාද්දිම වගේ තමයි, ‘නීලම් ෆිල්ම්’ එකේ රඟපෑමට ලැබුණෙ. ඒ අවස්ථාව ලබා දුන්නෙ දිලිප් මනෝහාර අය්යා. දර්ශන් ධර්මරාජ අය්යා එක්ක ඒ ෆිල්ම් එකේ මම රඟපෑවෙ වලව්වක මැණිකේ කෙනෙක් විදියට. ඒ ෆිල්ම් එක තිරගතවීමට නියමිතයි.
වෙළෙඳ දැන්වීම්වලින් වඩා ජනප්‍රිය වුණේ ?
‘ග්ලෝව් ඇන්ඩ් ලව්ලි’ සහ යස ඉසුරු දැන්වීම දැනටත් ප්‍රචාරය වෙනවා. සංගක්කාර පෙනී සිටි දැන්වීමකත් හිටියා.
ඉගෙනීම් කළෙත් රංගනයටම එන්න ද?
ලොකු බලාපොරොත්තු තිබුණෙ නැහැ. මගේ මල්ලි හිටියේ දැන්වීම් ක්ෂේත්රයේ. එයා තමයි කිව්වෙ වෙළෙඳ දැන්වීම්වලටවත් ඉන්නකො කියලා. නමුත් විවාහ වුණාට පස්සෙ රඟපෑම් මොනවත් කරන්න ගියේ නැහැ. මල්ලි තමයි මාව 2015 දී වෙළෙඳ දැන්වීම්වලට යොමු කළේ.
කොහොම ද විවාහ ජීවිතය? සැමියත් කලා ක්ෂේත්රයේ ද?
කලා ක්ෂේත්රයේ නෙවෙයි. ඒත් එයා මගේ ගමනට හරියට උදවු කරනවා. හොඳ අවබෝධයක් තියෙන්නෙ. ඒ නිසා මේ ගමන නිදහස් මනසකින් යන්න පුළුවන්වී තිබෙනවා. දුව වුණත් මට ලොකු සහයෝගයක් දෙන්නෙ. විවාහ ජීවිතය ඇත්තටම හොඳයි. ගෙදර ජීවිතය වගේම කලාවත් සතුටින් කරගෙන යනවා.
මොනවද මේ දිනවල ඔබ දායක වන ටෙලි නාට්‍යය?
සංගීතේ නාට්‍යයේ අවුරුදු 3ක් තිස්සේ රඟපානවා. මේ මෑතක දී ‘නීල පබළු’ නාට්‍යයේ චරිතයකට දායකවීමටත් අවස්ථාව ලැබුණා. අමතරව පෝය ටෙලි ෆිල්ම් ගණනාවකට දායක වුණා. වැඩි දෙනෙක් මාව දැන ගත්තෙත් පෝය ටෙලි ෆිල්ම් නිසා.
අපේ ප්‍රින්සිපල්, ෆිල්ම් එක ගැන කියමු ?
මේක බොහොම ආදර්ශවත් චිත්‍රපටයක්. හරිම කාලීන තේමාවක් රැගත් චිත්‍රපටයක්. පාසල් ළමයින් විවිධ මට්ටමින් මුහුණ දෙන ප්‍රශ්න ගැන කියැවෙන ආදර්ශවත් පණිවුඩයක් රටට දෙන කතාවක්. විශේෂයෙන්ම මත් ද්‍රව්‍ය නිසා ළමයින්ට සිදුවන හානිය ගැන ප්‍රකාශ වෙනවා. ඊටත් අමතරව පාසල ඇතුළෙ තියෙන ප්‍රශ්න ගැනත් කතා වෙනවා. මම හිතන්නෙ ළමා පරපුර වගේම වැඩිහිටි හැමෝම නැරැඹිය යුතු චිත්‍රපටයක්. මව්පියන් දරුවන්ගෙන් මොහොතකටවත් දුරස් වෙන්න එපාය කියන පණිවුඩය ලබා දෙන චිත්‍රපටයක්. දරුවෝ, මව්පියන්, ගුරුවරු යන පාර්ශ්ව මුල් කරගෙන කතාව ලියා ඇති අයුරු ඉතාම කාලීනයි.
ඔබ කොහොමද අපේ ප්‍රින්සිපල් ෆිල්ම් එක දකින්නෙ?
මොන තරම් වැඩ තිබුණත් දරුවත් එක්ක ඉන්න කියන දේ ඉතා හොඳින් විග්රහ කෙරෙන නිර්මාණයක්. මටත් සමාජයට කියන්න තියෙන්නෙ ඒ පණිවුඩය තමයි.
ඔබ මෙහි රඟපාන්නෙ?
මෙහි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ළමයකු වන වින්දනගෙ මව ලෙස රඟපාන්නෙ මම. ඒ චරිතයෙ නම කාංචනා. හරිම ආදරණීය සංවේ දී මවක්. දරුවගෙ ප්රශ්නය එක්ක මවක් කොච්චර අසරණ වෙනව ද කියන දේ මෙයින් ප්‍රකාශ වෙනවා. මගේ සැමියා ලෙස මෙහි රඟපාන්නෙ ජගත් චමිල අයියා. මේ චරිතය වගේ සංවේ දී චරිත කරලා තිබුණත්, මම හිතුවට වඩා හරිම සංකීර්ණ චරිතයක්. ඒ නිසා පහසු රංගනයක් වුණේ නැහැ. සමාජයට පණිවුඩයක් දෙන මවක ලෙස සමාජයේ සිටින සැබෑ මවක මෙන් ඒ චරිතය රඟ පෑමට තිබුණා. මාත් මවක් ලෙස මට ගොඩාක් දැනුණ චරිතයක්.
සැබෑ ජීවිතයේ රුක්ෂාන්ති හරි වසයිලු නේද ?
අනේ එහෙම නැහැ. මම සාමාන්‍ය චරිතයක්.
නිළිකම කොහොම කළ යුතුය කියල ද හිතන්නෙ? හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න නම්?
මම හිතන්නෙ ගොඩ බදාගෙන ලැබෙන සෑම චරිතයක්ම නොකර, තෝරා බේරාගෙන කරන චරිතයට හොඳ කැපවීමක් කිරීම වැදගත්. අපි අකමැති දේ නොකර ඉන්න අපට පුළුවන්නෙ. කල්පනාකාරීව යා යුතු ගමනක්. තමන්ට සුදුසු දේ විතරක් තෝරා ගැනීම කළොත් හොඳයි.
හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කිරීමට නම්?
මොන දේ කළත්, මගේ ජීවිතයේ පළමු තැන ගෙදර චරිතයට දීම වැදගත්. රඟපෑම මගේ ජීවිතයට වටිනාකමක් දෙන බව ඇත්ත. ඒත් ගෙදර තමයි මුල් තැන.
රංගන ශිල්පිනියකට පිරිමි පාර්ශ්වයේ ආකර්ෂණය වැඩියිනෙ? ඔබ දිහා බලන විට ඔබ කොහොම ද ප්‍රතිචාර දක්වන්නෙ?
ඒවා ස්වභාවිකයි. සාමාන්‍ය දේවල්. ඒ ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ.
හොඳ ප්‍රතිරූපයක් දිගටම තබා ගැනීමට නම් ?
මේ ෆීල්ඩ් එකේ සිටින විට මොන විදියට හිටියත් කතා හැදෙනවා සහ හදන්න බලාගෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා හරි පරිස්සමින් යා යුතු ගමනක්. අපි වැඩ කරන විදිය සහ ගනුදෙනු කරන විදිය එකක්. කාටවත් ඇඟිල්ලක් දිගු නොකරන විදියට කටයුතු කිරීමට වගබලා ගැනීම හොඳයි.
සඳුන් ගමගේ