විජය කුමාරතුංග නැත්නම් අද මම මැරිලා - සනෝජා බිබිලේ
කාන්තාවකගේ සුන්දරත්වය පිළිබඳව කෙරෙන බොහෝ විග්‍රහයන්හි ඇගේ හිසකෙස්, සමේ වර්ණය, ශරීරයේ ස්වභාවය, ගමන් විලාශය, සිනහව, කතාබහ සේම ඈ සතු හැකියාවන් දක්ෂතාවන් ගැනද සඳහන් කරනුයේ පුරාණයේ සිටය. ඒ සියල්ලෙන් පිරිපුන් වීම යනු කාන්තාවකට ආභරණයකි. කිරුළකි. රූ රැජනක ලෙස අභිෂේක ලබන්නට ඒ සියල්ල ඇයට ඉවහල් වේ. කලාතුරකින් අවස්ථාවක එවන් රූ රැජනක ලෙස අභිසෙස් ලද කාන්තාවන් සමාජයේ යහපත වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව සිය පෞද්ගලික අරමුණු ගැන පමණක්ම වෙහෙසී කටයුතු කරන අවස්ථා තිබුණද බහුතරය එසේ නොවන වගද සටහන් කළ යුතුය. අද අප හමුවන ඇයද එසේ තම රුව සේම රංගන කෞශල්‍ය නිසාම දශක කිහිපයක් පුරා කලා ලොවට තම නිර්මාණ දායකත්වය ලබාදෙමින් සේම තමන් වෙත පැවරී ඇති සමාජ සේවා කටයුතුද මැනවින් ඉටුකරන සුන්දර කාන්තාවකි. 1985 වසරේදී Miss Working girl තරගයට එක්ව ජයග්‍රාහී ගමනක් ඔස්සේ ඉදිරියට ආ ඇය මෙරට සේම ජාත්‍යන්තර රූ රැජන තරග රුසකට එක්වෙමින් ජයග්‍රහණ ලබන්නට සමත්වූහ. අද හදසර My Story කතාබහ ප්‍රවීණ රංගන ශිල්පිනී නිරෝමි සනෝජා බිබිලේ සමඟය.
සුන්දර මහනුවර අස්ගිරියේ උපන් සනෝජා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරුවාය. කලා අංශයෙන් උසස් පෙළ සමත්වූ ඇය විශ්වවිද්‍යාලයට නොගොස් තම පියා සේම රංගනයට එක්වූවාය. නීතිඥවරියක ලෙස සමාජ මෙහෙවරෙහි යෙදීම ඇය කුඩා කල සිටම දුටු සිහිනයකි. ඒ සිහිනය සැබෑ කරගන්නට ඇය නීති ප්‍රවේශය වෙනුවෙන්ද අධ්‍යාපනය හැදෑරුවාය. දේශපාලනයට ඒමද ඇය තුළ තිබූ එක් සිහිනයක් වූ අතර අද වනවිට එම සිහිනය නම් තම සිත තුළින් අතුරුදන්ව ගොස් ඇති බවයි ඇය පවසන්නේ.
"මගේ අම්මයි අප්පච්චියි දෙන්නම රාජ්‍ය සේවයේ යෙදී සිටියේ. අප්පච්චි රංගනයට එක්වුණේ රුකියාව කරන අතරතුරමයි. සුමිත් බිබිලේ නම් වූ රංගන ශිල්පියා තමයි මගේ පියාණන්. අද වනවිට නම් අම්මියි, අප්පච්චියි දෙන්නාම ජීවතුන් අතර නැහැ. මට අයියා කෙනෙකු, අක්කා කෙනෙකු සහ නැගණියක සිටිනවා. අයියා නම් දැන් ඉන්නේ විදේශ ගතවෙලා. අක්කා සහ නංගි දෙන්නා පමණයි අද මා සමඟ ළඟින් ඉන්නේ." සනෝජා තම අතීතය සිහිපත් කරන්නීය. පියා රංගනයට එක්වුණද තමන් රංගනයට එක්වනවාට මව අකමැති වූ බවයි ඇය පවසන්නේ. ඇය ඉදිරිපත් වූ රූ රැජන තරග ද්විත්වයකම විනිශ්චය මණ්ඩලයට ප්‍රවීණ සිනමාවේදී සුමිත්‍රා පීරිස් සහ ප්‍රවීන රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය එක්ව සිටියහ. එක් අවස්ථාවක සුමිත්‍රා පීරිස් මහත්මිය සනෝජා වෙත පණිවුඩයක් යොමු කරන්නේ පැමිණ තමන් හමුවන ලෙසයි.
"ඒ වෙද්දී මම රැකියාවක් කරනවා. ඒ වගේම මම නුවර කෙනෙක්නේ. ඉතින් කොළඹ තැන් හොයාගන්න මට හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ වගේම පොඩි බයකුත් තිබුණා. කොහොම වුණත් මම මිස් තාජ් සමුද්‍රා තරගයට එක්ව ඉන්න කාලෙම මට මාෂා සහ ෂේන් වේදිකා නාට්‍යයේ රඟපාන්න ඉඩ ලැබුණා. මාව සිනමාවට හඳුන්වා දුන්නේ දේවින්ද මාක්ස්. ඔහු මාව ජෝ මයිකල්ට හඳුන්වා දුන්නා. ඉතින් ඔහු විජය කුමාරණතුංග සහ මාව ඔහුගේ චිත්‍රපටයට තෝරාගත්තා. නුවරඑළියේ තමයි රූගත කිරීම් තිබුණේ. හැබැයි මම මෙහෙම රඟපාන්න යන එකට අම්මා නම් කැමැති වුණේම නැහැ. දවසක් මම කොළඹ ඉඳන් ගෙදර යද්දී අම්මා ගෙදර දොර වහලා දැම්මා. මාව ගේ ඇතුළට ගත්තේම නැහැ ඔයා රඟපානවාද නැද්ද කියලා තීරණයක් ගන්න කියලා. ඇත්තටම කිව්වොත් මේ සිදුවීමේදී අභාවප්‍රාප්ත රංගවේදී විජය කුමාරණතුංග මහතාව මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද විජය අයියා තමයි අම්මිගෙන් අවසර අරන් දුන්නේ. විජය අයියා කතා කරලා කරුණු පැහැදිලි කරලා දුන්න විදියට අම්මිට අවසර නොදී බැරිවුණා.
ඉතින් ඒ අනුව මම මගේ පළමු චිත්‍රපටයේ රූගත කිරීම්වලට නුවරඑළි ගියා. "ජය ශ්‍රී මංගලම්" තමයි ඒ චිත්‍රපටය. එහි රූගත කිරීමකදී මට තිබුණා මෝටර් රථයක් පදවන්න. මට තරමක නුහුරු බවක් තිබුණාට මම කිව්වේ මට හොඳට කාර් එළවන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න රූගත කිරීම ඇරඹුණා. මම කාර් එක අරන් යනවා. විජය අයියාට තිබුණේ මාව හඹා එන්න. එක සැරේටම මම බ්‍රේක් කරන්න ඕන තැන ඇක්සලේටරය තදින් පැගුවා. එක පැත්තක මහා ප්‍රපාතය. අනිත් පැත්තේ කන්ද. මම එසැණින් කන්ද පැත්තට කැපුවා. කන්ද මුදුනේ තේ ගස් එහෙම ඔක්කොම ගලවගෙන මම කාර් එකත් එක්කම පෙරළිලා, පෙරළිලා ගිහින් දෙබොක්කාවක හිරවුණා. මට යාන්තම් මතකයි. වතුර යනවා කාර් එකට උඩින්. කාර් එක පෙරළීගෙන යද්දී හැමෝම දුවලා. විජය අයියා තමයි අසීරුවෙන් පහළට ඇවිත් කාර් එකේ හිරවෙලා හිටිය මාව ඇදලා ගත්තේ. සෝනියා අක්කා (සෝනියා දිසා) මේ සියල්ල බලාගෙන ඉඳලා. ඇය තමයි චිත්‍රපටයේ මගේ මවගේ චරිතය කළේ. ඒක හරිම භයානක අත්දැකීමක්. විජය අයියා ඇවිත් මාව බේරා නොගත්තා නම් මට වතුර පෙවිලා මාව මිය යනවා. මට එයින් පස්සේ ඒ රූගත කිරීම කරන්න ලොකු බයක් ආවා. මම ඒක කිව්වා අපේ අධ්‍යක්ෂ ඇතුළු කණ්ඩායමට. ඉතින් ඊට පස්සේ අපි රූගත කිරීම් නතර කරලා කොළඹ ආවා. ඒ චිත්‍රපටය එහෙමම නැවතුණා නැවතුණාමයි නැවත කරන්න හැකිවුණේ නැහැ. ඊට ටික කලකට පසු විජය අයියාව අපිට සදහටම අහිමි වුණා. ඒ චිත්‍රපටය නැවත ඇරඹුණේ නැහැ."
ඉන්පසු සනෝජා බිබිලේ "ජය කොතැනද" සොයා යන්නීය. එහිදී ඇය සමඟ මුල්වරට රන්ජන් රාමනායක රංගනයට එක්විය. එය තිරගත වූයේ 1990 වසරේදීය. 1987 වසරේ තිරගත වූ එච්.ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ "මංගල තෑග්ග" සිංහල සිනමාවෙන් ඇයට හිමිවූ මංගල ත්‍යාගයක්ම විය. 16 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම සහාය නිළිය සේම "ලක්ස්" නැඟී එන නිළිය ලෙසද සම්මානිත වන්නට ඇයට හැකි විය. එහිදී ඇය නිරුපණය කළ ලිංගික ශ්‍රමික කාන්තාවගේ චරිතය ඇය ඉතා දක්ෂ ලෙස නිරූපණය කළාය. රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, වසන්ති චතුරාණි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සිරිල් වික්‍රමගේ මෙහි රංගනයට එක්ව සිටියහ. මංගල තෑග්ග චිත්‍රපටයෙන් පසු ඇය විදෙස් ගත වූවාය.
"මම Miss Asia වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ Miss ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පසුව. මාස 09කින් පසුව තමයි මම නැවත ලංකාවට ආවේ. ඉන්පසු මම දිගටම රංගනයේ යෙදුණා." සෙබළියෝ, සහරාවේ සිහිනය, චායා මායා, ජයග්‍රහණය, දෙමෝදර පාලම, අවරගිර, චෙරියෝ ඩාලිං, බව සසර, යසෝමා ආදී චිත්‍රපට රැසක්ම ඒ අතර විය. පුළුල් පරාසයක චරිත නිරූපණය කළ සනෝජා විටෙක පෙම්වතියක ලෙසද විටෙත තරුණ වියේදීම වැඩිහිටි චරිතද නොපැකිළිව අභියෝගාත්මක සේම අනුරාගි බව ඉස්මතු වන චරිතද රඟපෑවාය. ඇය රඟ පෑ "සුදු අක්කා", සුරයහන ගිනි ගනී" ආදී චිත්‍රපටවල ඈ කළ රංගනය අභියෝගාත්මක විය. කෙසේ වුවද 1997 වසරේදී තිරගත වූ මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ "සුදු අක්කා" චිත්‍රපටයේ ඈ කළ රංගනය ඇගයීමටද ලක්විය. 1998 වසරේ පැවැත්වූ 26 වැනි සරසවිය සම්මාන උළෙලේදී ඇයව හොඳම නිළිය ලෙස අභිෂේක ගැන්වීය.
"මම සිනමාවට වගේම වේදිකාවට හා ටෙලිනාට්‍යවලටත් එක්වුණා. සාම නාට්‍ය උළෙලේදී මගේ වේදිකාවේ රංගනයට සම්මාන ලැබුවා. ඒ වගේම මම පාකිස්තානු චිත්‍රපට සඳහා රංගනයෙන් එක්වුණා. එකම එක හොලිවුඩ් චිත්‍රපටයකටත් මා රංගනයෙන් එක්වුණා. නමුත් මගේ රාජකාරි කටයුතු එක්ක මට එහි ඉදිරියටම යන්න හැකිවුණේ නැහැ. ධම්ම ජාගොඩගේ "මිහිකතගේ දරුවෝ" ටෙලිනාට්‍යය සමඟ මම ටෙලිනාට්‍ය රංගනයට අවතීර්ණ වුණා. "ඉරට හඬන මල්, උදුම්බරා කුමාරියක්, ආවර්ජනා, සිව්දිය දහර, දොළොස් මහේ ගංගාව, නෝනාවරුනි මහත්වරුනි" ඒ අතරින් කිහිපයක්."
ඇය තම රංගනයේ විවිධ අවස්ථා සිහිපත් කරද්දී "මාලි නන්දනී" නම් චරිතය නිරතුරුවම සිහියට නැඟේ. හාස්‍යෝත්පාදක මාලා නාට්‍යයක් වූ නෝනාවරුනි මහත්වරුනි හි ඇය කළ රංගනය අදටද ප්‍රේක්ෂකයින්ට අමතක නැත. පුංචි තිරයේ මෙලෙස අමතක නොවන චරිත මැවූ ඇය ටෙලිනාට්‍ය නිෂ්පාදනයටද එක්වූවාය. එසේම සැම්සන් කුමාරගේ අධ්‍යක්ෂණය කළ "අළු යට ගිනි" චිත්‍රපටයේ නිෂ්පාදිකාව වූයේද සනෝජා බිබිලේය. මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීම ඇගේ ජීවිතයේ අරමුණු අතර ප්‍රමුඛ බවයි ඇය පවසන්නේ. ඒ වෙනුවෙන් ඇය "Silver Screen" සම්මාන උළෙල සහ කලාකරු සුබසාධක වැඩපිළිවෙළ රැසක්ම සඳහා තම සක්‍රීය දායකත්වය ලබා දෙන්නීය.
"මගේ අප්පච්චි එයාගේ ජීවිතේ අවසන් කාලයේදී එයා එක්ක වැඩ කළ කලා ශිල්පීන් හමුවෙන්න හරිම කැමැත්තෙන් හිටියේ. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ "උමතු විශ්වාසය" චිත්‍රපටයෙන් රංගනයට එක්වූ ඔහු චිත්‍රපට ගණනාවක රඟපෑවා. රැකියාව කරන අතරතුරදීම. ඉතින් අප්පච්චිගේ ඉල්ලීම ඉටුකරන්න උත්සාහ ගනිද්දී සමහර ශිල්පීන් හිටියේ විදේශගත වෙලා. සමහරු මගේ ඉල්ලීම එතරම් ගණනකට ගත්තේ නැහැ. මගේ පියා 2017දී මියගියා. ඔහුගේ ඉල්ලීම ඉටුකරන්න බැරිවීම ගැන මම කනගාටුවෙන් ඉද්දී පියාගේ සමකාලීනයින්ට සම්මාන ප්‍රදානය කරන්න අදහසක් ආවා. 2019 දී මම ඊට මුල් පියවර තැබුවා. එවිට "50" දශකයේ ශිල්පීන් 25 දෙනෙකු පමණයි එවිට ලංකාවේ ජිවත්ව හිටියේ. ඒත් කොවිඩ් වසංගතය නිසා එය කරන්නට බැරිවුණා. පසුව 2021 දී ඉතා දැඩි අසීරුතා මැද ප්‍රශ්න කරදර මැද මේ කටයුත්ත ආරම්භ කළා. ගොඩක් තැන්වලදී නොසිතුව විදියට අපි රැවටීම්වලට ලක්වුණා. චෝදනා, මඩ ප්‍රහාර මේ හැමදෙයක්ම එක්ක තමයි 2022 වසරේදීත් මේ කටයුත්ත කළේ. එය ඉදිරියටත් පැවැත්වීම තමයි මගේ බලාපොරොත්තුව."
ඇය පවසයි. එදිනෙදා මඟතොට හමුවන බොහෝ සහෘදයින් දැන් තමන් නිර්මාණවල නැත්තේ මන්දැයි විමසන වගද ඇය සිහිපත් කළාය. "නිර්මාණවලට කතා කරනවා. නමුත් ප්‍රවීණයින් විදියට වැඩිහිටි ශිල්පීන් විදියට අපට ආරාධනා ලැබෙන්නේ නිර්මාණයක වැඩිහිටි ශිල්පීන් විදියට අපට ආරාධනා ලැබෙන්නේ නිර්මාණයක වැඩිහිටි චරිත සඳහා. එහිදී තිබෙන දැඩි අර්බුදයක් තමයි අපගේ වෘත්තීය පළපුරුද්ද සහ දක්ෂතාවය සඳහා නියමිත වටිනාකමක් නොලැබීම. එවිට අපට සිදුවන්නේ නිර්මාණ භාර නොගෙන සිටීමට. මම රුකියාවක් කරන අතරතුර කලාවේ නිරත වන්නේ. ඒ සියල්ල සමඟයි සමාජ සේවා කටයුතුවල නිරත වන්නේ. අතීතයේ ශිල්පීන්ගේ කැපවීම මතයි වර්තමානයේ ශිල්පීන් කටයුතු කරන්නේ ඉතින් අතීතයට කෘතවේදී වීම මගේ අභිලාෂයක්." සනෝජා කලා ශිල්පිනියක ලෙස ඔබේ අපේක්ෂාවන් කරා යන්නට ඔබට හැකි වේවායි හදසර අප සුබපැතුම් එක්කරමු.
මොනිකා සේරසිංහ
සේයාරූ- අන්තර්ජාලයෙන්