ලොතරැයියක් ඇදුනොත් කරන්න වැඩ කෝටියයි - අංජලී ලියනගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අංජලීට පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අංජලී යන්න කැමති කොයි කාලෙටද?

එහෙම ආයෙමත් පුංචි කාලයට යන්න ඇත්නම් මට තේරෙන වයසෙ ඉඳන් හැම කාලයකටම මම ආසයි. පුංචි දරුවෝ විදිහට අපිට ඒ කාලෙදි කිසිම බරක්, වගකීමක් නැහැ. දුකක් දැනුණා වුණත් ඒක පුංචි වෙලාවක් විතරයි. ඊළඟට ආයෙමත් සෙල්ලම් කරද්දි ඒ දුක දැනෙන්නෙ නැහැ. අම්මා තාත්තා යටතේ දෙන දෙයක් කාලා සතුටින් හිටපු කාලයක්. අම්මා, තාත්තා, සීයා වගේම ගෙදර අයත් එක්ක හිටපු ඒ සුන්දර කාලයට මම අදටත් ආසයි. අම්මා තාත්තා කිසිම දුකක් දෙන්නෙ නැතිව අපිව හැදුවා. ආයෙත් ඒ කාලයට ගියොත් මරු.

මේ කලා ක්ෂේත්‍රයෙන් අංජලීව ප්‍රතික්ෂේප වෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් අංජලී මොකද කරන්නෙ?

කලා ක්ෂේත්‍රයෙන් දවසක මාව ප්‍රතික්ෂේප වුණොත් මම ගෙදරට වෙලා ඉඳීවි. ඇත්තම කිව්වොත් කලා ක්ෂේත්‍රය තුළ අපිට රුඳෙන්නත් යම් කාලයක් තියෙනවා. ඒ රැඳෙන්න තියෙන කාලයේ හොඳ නිර්මාණවලට දායක වෙන්න ඕනෙ. දැන් මම මේ කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් විතර වෙනවා. මම මේ හෙමින් ආපු ගමනක්. ඒ නිසා මට මම ආපු ගමන ගැන සතුටුයි. මේ වනතුරු මාව ප්‍රතික්ෂේප වෙලා නැහැ. අනාගතය ගැන කියන්න බැහැ. ප්‍රතික්ෂේප වෙන විදිහේ දේවල් කරලත් නැහැ. වෙලත් නැහැ. මම කලාවට හරිම ආදරය කරන කෙනෙක්. කාලයත් එක්ක මාව ප්‍රතික්ෂේප වෙනවා කියලා දැනුණොත් ඒ ප්‍රතික්ෂේප වීම නිහතමානීව බාරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

දේශපාලනයට අවතීර්ණ වෙන්න ඔබට ලොකු අවස්ථාවක් සහ ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

ඇත්තටම දේශපාලනය කියන දේ ගැන නම් මට කිසිම තේරුමක් නැහැ. ඒ වගේම මම දේශපාලනයට කිසිම කැමැත්තක් නැහැ. ඒ නිසා එවැනි ආරාධනාවක් ලැබුණොත් කවදාවත් මම ඒ ආරාධනය බාරගන්නෙ නැහැ. කිසිම දැනුමක් නැතිව, වැටහීමක් නැතිව දේශපාලනයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. නොදන්නා දේවල් නොකර ඉන්න එක කෝකටත් හොඳයි.

අංජලීට කෝටි ගණනක ලොතරැයියක් ඇදුණා කියලා හිතන්න. එහෙම වුණොත් ඒකට මොකද කරන්නෙ?

ඇත්තටම ඒ වගේ කෝටි ගණනක ලොතරැයියක් ඇදුණොත් කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මම ලොතරැයි නම් ගන්නෙ නැහැ. නිකමට එහෙම ලොතරුයියක් ඇදුණොත් නම් කරන්න වැඩ කෝටියයි.

කලාවට අමතරව ඔබට වෙනත් විෂයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඔබ ඉගෙන ගන්නා විෂය මොකක්ද?

හැම ක්ෂේත්‍රයක් ගැනම පොඩි හෝ දැනුමක් තිබුණොත් අපිට සමාජයේ ජීවත් වෙන්න ලේසියි. පොත පත කියවා හෝ යම් දැනුමක් ලබාගන්න ඕනෙ. මම කලාවට අමතරව තේකොළ ගැන, තේ ගැන ඉගෙන ගන්න ආසයි. ඒ සම්බන්ධයෙන් මම යම් හැදෑරීමක් කරලා තියෙනවා. තාමත් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. ඒ සම්බන්ධයෙන් ලියවුණු පොත් කියවනවා. ව්‍යාපාරයක් විදිහට %තේ^ ව්‍යාපාරයක් කරන නිසා තවදුරටත් ඒ සම්බන්ධයෙන් ඉගෙනගෙන වෘත්තීය වටිනාකමක් එක්කර ගන්න මම කැමතියි.

ජීවිතේ වෙච්ච සිදුවීම් අතරින් එක් සිදුවීමක් අමතක කරන්න අංජලීට එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අංජලී අමතක කරන්නෙ?

මම එහෙම ජීවිතේ වෙච්ච කිසිම දෙයක් අමතක කරන්න කැමති නැහැ. ජීවිතේ අපිට වෙන සිදුවීම් හැමදෙයක්ම අපිට මතක තියෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. ඒක තමයි අපේ ජීවිතේට පාඩම් සහ අත්දැකීම් වෙන්නෙ. පුංචි කාලේ අපිට මතක නැති දේවල් පවා මම මතක් කරන්න උත්සාහ කරනවා. පුංචි කාලේ වුණු ලස්සන අමතක වුණු දේවල් පවා මම මතක් කරන්න උත්සාහ කරනවා. ජීවිතේ හොඳ හෝ නරක සිදුවීම් කිසිම දෙයක් අපි අමතක කරන්න හොඳ නැහැ.

ඔබට නොකරපු වැරැද්දකට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

මම කරපු නැති දෙයක් වෙනුවෙන් දඬුවම් ලැබෙනවා නම් මම ඒකට නිහඬව ඉන්නේ නැහැ. වැරැද්දක් කරන්නෙ නැතිව දඬුවමක් ලැබෙන්න ඕනෙ නැහැ කියලයි මම හිතන්නේ. කොහොම හරි මම කරපු නැති වැරැද්දකට මට දඬුවමක් ලැබුණොත් මම ඒක දරාගෙන නිහඬව ඉන්නෙ නැහැ. මම කොහොම හරි මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා.

අද රටේ පවතින ආර්ථිකයත් එක්ක හොඳ රටකට, හොඳ වැටුපකට, හොඳ රස්සාවකට යන්න අංජලීට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අංජලී යනවාද?

ඔව්.. සාධාරණව ජීවත් වෙන්න පුළුවන්, සාධාරණ රුකියාවක් කරන්න පුළුළුන් හොඳ අවස්ථාවක් ලැබුණොත් මම යාවි. තාම මම මේ රටේ ජීවත් වෙනවා කියලයි හිතන්නේ. හැබැයි සමහර තැන්වලදි දැන් මෙහේ හිටියා ඇති, රටකට යන්න ඕනෙ කියලා හිතෙන වෙලාවල් තියෙනවා.

දිශානි