ලෝචනා රස කැවිලි තීක්ෂණගෙ සරමෙ හංඟලා - ‘සියත’ තරු පිරි අවුරුද්දේ රසබර තැන්
රංගන, ගායන හා ක්‍රීඩා අංශයේ තරු පිරිවරාගෙන සියත ටී.වී. අවුරුදු උත්සවය මෙවර සංවිධානය කර තිබුණෙ, වත්තල පෙගාසස් රීෆ් හෝටල පරිශ්රයේදීයි. තරු එකතු වුණාම කොහොමටත් ඉතින් රස සාගරයක්නෙ. සියත ටී.වී. මෙවර ගෙන එන ඒ රසබර අවුරුදු උත්සවය පැවැත් වූ විදිය ගැන සහ තරු මුහුණ දුන් රසවත් සිදුවීම් ගැන විස්තර කෙරෙන සටහනකි මේ.
තරු සැණකෙළියක් වූ මෙම අවුරුදු උත්සවය කණ්ඩායම් තුනකින් සමන්විත වුණා. සූර්යා මීන සහ මේෂ යනු ඒ කණ්ඩායම් ත්‍රිත්වයයි. තරු අවුරුදු ක්‍රීඩාවලට සහ තරගවලට සහභාගි වුණේ මෙම කණ්ඩායම් තුනට අදාලවයි. ‘සූර්යා’ කණ්ඩායමේ නායකත්වය දැරුවේ නදීෂා හේමමාලිය.
මේ ඔක්කෝම තරු එක පොකුරට ගොනු කරගන්න සම්බන්ධීකරණය වගේම ප්රමුඛ නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ සියත ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකා හංසලී සමරවික්රමය. දන්නවනෙ ‘තරු’ ඒකරාශි කරවන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. මොකද එයාලා ඔක්කෝම වගේ බිසි නිසා. කොහොම වුනත් මෙම කණ්ඩායම් තුනේ තරු අතර පැවැතියේ දරුණු විදියෙ තරගකාරිත්වයක් කිව්වොත් හරි. ඒ තරමටම තරගය දිනීමේ උද්යෝගයක් තමයි හැමෝටම තිබුණෙ,
• යුරේනිගෙ හැඩකාර පොල් අත්ත
පොල්අතු විවීමේ විවෘත තරගයෙන් ජයගත්තෙ ‘සූරියා’ කණ්ඩායමේ නායිකා නදීෂා හේමමාලියි. ඒත් වඩාත් හැඩකාර නැත්නම්, නිර්මාණාත්මක පොල්අත්ත විවීමේ ත්‍යාගය දිනා ගත්තෙ යුරේනි විසිනුයි. දෙවැනි ස්ථානය මිහිරි සිරි තිලක සහ තෙවැනි ස්ථානය දිනාගත්තෙ ශාලිකා එදිරිසිංහයි. මේ විදියට පොල් අත්ත විවීමේ තරගය පැවැත්වුණේ සාමකාමී විදියට නම් නෙවෙයි. මේ තරග ඉසව්ව විනිශ්චය කලේ ප්‍රවීණ කලාකරුවන් දෙපළක් වන ‘ශ්‍රියන්ත සහ කුසුම්’ යුවළයි. තරගයට සහභාගිවූ තරු අන්තිමට මේ යුවළ වට කරගෙන බලපෑම් කරනන්ත් පටන් ගත්තා. ඒත් ඉතින් ශ්‍රියන්ත සහ කුසුම් රේණු යුවළ නෙවෙයි ඒ බලපෑම්වලට යටත් වුණේ.
පොල් අතු විවීමේ තරගයට අමතරව පොල් ගෑම, ගෝනි රේස්, වතුර බැලුම් ඇල්ලීම, බිත්තර ඇල්ලීම, කැවිලි කෑම, කණා මුට්ටිය බිඳීම, සංගීත පුටු තරගය, අලියට ඇස තැබීම, ලූඩෝ දැමීම, තේ යාරය, සූප්පුවෙන් කිරිබීම, හොඳම හිනාව, සැඟවුණු අමුත්තා යන ඉසව් මෙම උළෙලට ඇතුළත් වුණා.
• හිමාලි ගෝනි රේස් ගිහින් වැටීම
ගෝනි රේස් තරගය විනිශ්චයට එක්ව සිටියේ ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් සහ එයාගේ සුරූපි බිරිඳ අප්සරායි. මේ තරග ඉසව්වෙදිත් උණුසුම් මුහුණුවරක් ගත්තෙ. අන්තිමට හිමාලි සයුරංගි, වැටිලා තුවාලත් වුණා. මේ නිසා ඇයගෙ පාදයකට වෙළුම් පටි දාන්නත් සිදු වුණා. ගෝනි පැනීමෙන් ජය ගත්තෙ පිළිවෙළින් ශාලිකා එදිරිසිංහ, හිමාලි සයුරංගි සහ ඉෂාරා සඳමිණිය.
• ලෝචනා රස කැවිලි තීක්ෂණගෙ සරමෙ හංඟලා
ලෝචනා ඉමාෂිව කවුරුත් දන්නවනෙ. රස කැවිලි කෑමේ තරගයෙන් ඉක්මනටම එයා තමයි කාලා ඉවරවුණේ කියලා දුවලා ගියත්, එයාගේ ජයග්‍රහණය පසුව අවලංගු කළේ, අනෙකුත් තරගකරුවන් චෝදනා එල්ල කළ නිසයි. ඒ කියන්නෙ ලෝචනා ඔක්කෝම කැවිලි නොකා, ඉතුරු ටික තීක්ෂණ අනුරාධගෙ සරම අස්සෙ හැංගුවාය කියලා තමයි චෝදනාව එල්ල වුණේ. ඉතින් ඒක ඔප්පු වූ නිසා ලෝචනාට එය ලැබුණෙ නැහැ.
• දෙනුවන් සහ දේවි බිත්තර නාලා
බිත්තර ඇල්ලීමේ තරගය පැවැත්වුණේ විවෘත තරගයක් විදියටයි. කාන්තාව පිරිමියාට බිත්තරය දැමිය යුතු අතර එය බිම නොවැටෙන්නට නොදී ඇල්ලීම කළ යුතුයි. ඒත් ඉතින් බිත්තර ඇල්ලීම කෙසේ වෙතත් බිත්තර අල්ලන්න ගිය දෙනුවන් සේනාධී සහ දේව් සුරේන්ද්‍ර හොඳටම බිත්තර නෑවා කියලා නම් කියන්න පුළුවනි. අන්තිමට බිත්තර ඇල්ලීමේ තරගයෙන් ජය ගත්තේ සඳුන් පෙරේරා, නිලාන් හෙට්ටිආරච්චි සහ පවිත්‍රා වරුන යන තරගකරුවන්. සඳුන් පෙරේරා, නිලාන් හෙට්ටිආරච්චි අශාන් ප්‍රනාන්දු සහ පියත් රාජපක්ෂත්, දසුන් මධුෂාන් තරගවලට සහභාගිවීමට අමතරව මේ සැම කණ්ඩායමක තරගකරුවන්ට ‘චියර්ස්’ කරමින් දිරි ගන්වමින් තරග පුරාම කෑ කෝ ගැසූ බව කියන්න පුළුවනි. බිත්තර ඇල්ලීමේ ඉසව්වෙන් පියත් විසිකළ බිත්තර සඳනිට හරියට අල්ලා ගන්න බැරිව සඳනිත් බිත්තර නෑවා කියලා කියන්න පුළුවනි. අන්තිමට ඉතින් සඳනිගෙන් පියත්ට හොඳ බැනුම් තමයි අහන්න ලැබුණෙ.
• සංගීත පුටුව දිනක්ෂිට
සංගීත පුටු තරගය වගේම සෑම තරගයක්ම ප්රමුඛ අධීක්ෂණයට එක්ව සිටීයේ ප්‍රවීන සම්මානනීය රංග ශිල්පිනී සංගීතා වීරරත්නයි. සංගීත පුටු තරගයෙන් ජයග්‍රහණය කළේ දිනක්ෂි. ජයගන්නතෙක් සාරංග ඇයව දිරිමත් කළ විදිය නම් හරිම අපූරුයි.
හොඳම හිනාවට ආ උදය කුමාරි රණසිංහ හිනාවෙන්න ඉදිරිපත්වෙලා. අන්තිමට හිනාව කෙසේ වෙතත් බිම වැටිලා නතර වුණේ. ලක්ෂිකා ෆොන්සේකාට තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනවා. මේ විදියට පැවැත්වූ හොඳම හිනාවෙන් ජයගත්තෙ ‘සිකාමයි’ නොහොත් දුමින්ද ශ්‍රී කාන්තයි.
• වැඩියෙන්ම හොර!
හොර කියන ඒවා ඉතින් කොතැන ද නැත්තෙ? තරු පිරි අවුරුද්දෙත් සමහර තරු හොර කළ බව කියන්න පුළුවනි. මේ සැරේ වැඩියෙන්ම හොර කළේය යන චෝදනාව එල්ල වුණේ ලෝචනා, ශාලිකා, වත්සලා සහ ටෂ්නිහටයි. වෙන අවුරුදුවල දී මේ ලේබල් එක වැදිලා තිබුණෙ ‘චිලිටයි. මේ පාර එයා සද්ද බද්ද නැතුව හිටියෙ, එයා විවාහ වුණෙ ළඟදිනෙ. ඒ නිසා කියලා තමයි අනෙක් ‘තරු’ කිව්වෙ. හොර කිව්වට මේවා ඉතින් සුන්දර සිදුවීම් තමයි.
• ජන සංගීතයට මුල්තැන
මෙම උත්සවයෙදී ‘තරු’ තරගවලට ඉදිරිපත් වුණා වගේම, සියත මුල් තැන දීලා තිබුණෙ අපේ ජන සංගීතයටයි. ඒ වෙනුවෙන් ‘සහන් රංවල’ ප්රමුඛ රංවල පදනම ජන ගායනා මෙන්ම නිර්මාණ සමග අංශ කීපයක්ම ඉදිරිපත් කළා. තරු තරගවලට සහභාගිවන අතරේ එයාලාව සංගීතයෙන් පිනවීමට කැලිප්සෝ සංගීත කණ්ඩායමක් පැමිණ සිටියා. ඒ වගේම මේ තරු සහ පැමිණ සිටි සියලු දෙනා හට ඒ මොහොතේදීම කැවුම්-කොකිස් බැදලා සංග්‍රහ කිරීමත් විශේෂ දෙයක් වුණා. මේ විදියට ලස්සනම ලස්සනට පැවැත්වූ තරු පිරි අවුරුද්දේ ප්‍රධාන අමුත්තා වූයේ ප්‍රවීන රංග ශිල්පී ජීවන් කුමාරණතුංගයි. මේ ලස්සන අවුරුදු උත්සවයේ හැඩ අප්‍රේල් 14දා සවස 2සිට සියතෙන් ඔබට නැරැඹීමට පුළුවනි.
සඳුන් ගමගේ