ලෝකේ මොන රටේ ඇවිද්දත් ලංකාව තමයි අංක එක. ඊට අමතරව ලස්සනම රට නම් ඉතාලිය තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර "Star Travel" විශේෂාංගය තුළින් සදැල්ල හා එකතුවන්නේ ජනප්‍රිය රංගන සහ ගායන ශිල්පිනී නතාශා පෙරේරා. 

නතාශා Travel කරන කෙනෙක්ද ?

ටිකක් අඩුයි, විවේකයක් ලැබුණු අවස්ථාවලTravel කරනවා. ඒ වගේම Travel කරන්න කැමතියි.

ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ?

ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන් වල සහ ශූට්ස් වලට ඇල්ලේ ගිහින් තියනවා. බණ්ඩාරවෙල, දියතලාව වගේම අනුරාධපුරේ, පොළොන්නරුවෙ ගිය අවුරුද්දේ ගියා. ඊට අමතරව සීගිරිය, මඩු, අම්පාර වගේ තැන් වලත් Travel කරලා තියනවා.

ලංකාවේ    Travel    කරපු     ලස්සනම  තැන මොකක්ද ?  

මම ගොඩක්ම කැමති නුවරට තමයි. නුවර කියන්නේ හරිම නිස්කලංක පරිසරයක්. ඒ වගේම නුවර වැව රවුම කියන්නේ වෙනමම හැඟීමක් දැනෙන තැනක්. ඒත් එක්කම නුවර එළියටත් ගොඩක් කැමතියි. ඒ එහෙ තියෙන, පරිසරය සහ කාළගුණය නිසා. 

නතාශා Travel කරපු විදේශ රටවල් මොනවද ?

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන ඉන්න නිසා ඕස්ට්‍රේලියාවේ Travel කරලා​ තියෙනවා. ඊට අමතරව එංගලන්තේ ලන්ඩන් වලට, ඉන්දියාවට, සිංගප්පූරුවට, මාලදිවයිනට වගේම ඉතාලියේ ඉපදිලා අවුරුදු 25කට පස්සේ ඉතාලියටත් Travel කරලා තියෙනවා. 

ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් විදියට ඕස්ට්‍රේලියාවේ Travel කරලා තියෙන්නේ කොහෙද ?

ඕස්ට්‍රේලියාවේ තැන් කිහිපයකම ජීවත් වෙලා තියෙනවා. ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, පර්ත් වගේ ප්‍රදේශ වල Travel කරලා තියෙනවා. අපි මොන රටකට ගියත් අපේ රට ලංකාව කියන හැඟීම නවත්වන්න බැහැ.  ඇත්තටම ඔස්ට්‍රේලියාව කියන්නෙත් කාලගුණය දේශගුණය වගේ දේවල් අතින් විවිධත්වයක් තියෙන රටක්. ඉතින් ඒ රටෙත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වුණු සුන්දරත්වයක් තියෙනවා. ඒ රටවල් සහ ලංකාව අතර වෙනසකට තියෙන්නේ හරිම සැලසුම් සහගතයි. නීතියට අනුව ජීවත් වෙනවා. පරිසරයට ආදරෙයි, ඒ වගේම අනෙක් මනුස්සයට කරදරයක් වෙන්න අකමැති නිසා තමන්ගේ වගකීම් ඒ විදියට කරලා ජීවත් වෙන මිනිස්සු ඒ රටවල් වල ජීවත් වෙනවා. ටොෆි කොලයක්වත් පාරෙ නොදාන්න තරම් මානසිකත්වයක් ඔවුන් තුළ ගොඩනැගිලා තියනවා. එතකොට පරිසරය වුණත් සුන්දරයි. 

විදේශ රටවල Travel කරද්දී නතාෂාගේ හිතට දැනුණ තැන් මොනවද ?

ලෝකේ මොන රටේ ඇවිද්දත් ලංකාව තමයි අංක එක. ඊට අමතරව ලස්සනම රට නම් ඉතාලිය තමයි. මම ඉපදුණු රට ඉතාලිය. ඉපදිලා මාස දෙකෙන් මම ඉතාලියේ ඉදලා ලංකාවට එන්නේ. එතකොට මම ඉතාලියේ සුන්දරත්වය දැක්කේ නැහැ. ඊට අවුරුදු 25කට පසු මම ඉතාලියට ගියාට පස්සෙ ගොඩක් තැන් වල Travel කළා. ඒ රටේ පුදුමාකර තරම් ඓතිහාසික තැන් ගොඩක් තියනවා. ඒ රටටම ආවේණික වුණු ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙනවා. හරිම ලස්සන තැනක්. වතිකානුව, රෝමය, මිලානෝ හරිම ලස්සන තැන් කිහිපයක්. ඉතාලියේ සංචාරය කරන අය දන්නවා ඉතාලිය කොයිතරම් සුන්දරද කියලා. ඕස්ට්‍රේලියාවේ ගත්තොත් ඇඩිලේඩ් කියන්නේ ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් හරිම නිදහස් තැනක්. බ්‍රිස්බේන් කියන්නේ ලංකාව වගේම ඒ සුන්දරත්වයට කිට්ටු ප්‍රදේශයක්. ලංකාවේ වගේම කාළගුණයක් තියෙන සෙනග නිතර යන එන නිදහස් තැනක්. කොහොම නමුත් සෑම රටකටම තමන්ට ආවේණික වුණු සුන්දරත්වයක් තියෙනවා.

ලංකාවේ Travel කරද්දී කන්න ලැබුණු රස කෑම මොනවද ? 

ඇත්තටම මම ගොඩක් මගේ ජීවිතේ කෑම වලට ඉඩක් දීලා තියෙනවා. අලුත් කෑම හදලා බලන්න, කාලා බලන්න ගොඩක් කැමති කෙනෙක්. කොහේ ඇවිදින්න ගියත් මට බඩ ඉරිඟු ඕනෙමයි. බඩඉරිඟු කකා වාහනේ වුණත් යන්න මම හරිම කැමතියි. තව ගමේ විදියට උයලා, මැටි වළඳක කන්න මම ගොඩක් කැමතියි.  කොළඹ වගේ නම් ඒ දේවල් හරි අඩුයි නේ. නමුත් කොළඹින් පිටට ගියාම ඒ ගම් වල කෑම කන්න ආසයි. රතු හාලේ බත් එක්ක, චිකන් කරි එකක්, පොළොස් මාලුවක් එක්ක කන්න මම වැඩිපුරම කැමතියි. ඒක හරි වෙනස් හැඟීමක්. 

විදේශ රටවල Travel කරද්දී නතාශාට කන්න ලැබුණු රස කෑම මොනවද ?

ඉතාලියේ ගත්තොත් නම් ඇවිදින්න, බලන්න යනවට වඩා කෑම තමයි ගොඩක්ම විශේෂ වෙන්නේ. ඉතාලියේ තියෙන පීසා රස මේ ලෝකේ කොහෙවත් නැහැ මම හිතන්නේ. ඒකට හේතුව පීසා කියන දේ හැදෙන්නේ ඉතාලියේ සහ ඉතාලියට ආවේණික කෑමක් නිසාම වෙන්නැති. ඒ වගේම පැස්ටා කියන්නේත් පුදුම විදියේ රස කෑමක්. මම අමද්‍යප නිසා ඒ රටවල තියෙන වයින් වගේ දේවල් වල රස නම් මට මිස් වෙනවා.වයින් වර්ග දහස් ගණනක් තියෙනවා. නමුත් ඒ රටවල අය ඒ දේවල් භාවිතා කරන්නේ මත් වෙන්න නෙමෙයි. ඒ කෑම වලට වෙනස් රසක් එකතු කරන්න. කෑම ගත්තොත් ඕස්ට්‍රේලියාවේ වෙනස්ම රසක්. කොහොම නමුත් මගේ වැඩි කැමැත්ත බත් වලට තමයි. මම ඉස්සෙල්ලාම උයන්න පටන් ගත්තෙත් ඕස්ට්‍රේලියාවේ ගිහින් තමයි. මම එහෙදී නම් ලසඤ්ඤා වගේ දේවල් කිරිබත් එහෙම හදලා කනවා. ඉතින් රටින් රටට කෑම වෙනස් ඒ වගේම මම ගොඩක් කෑම කියන දේ එන්ජෝයි කරන කෙනෙක්. 

ජීවිතේ කවදහරි දවසක යන්න ආසාවෙන් ඉන්න තැනක් තියනවද ?

ඔව් ඇත්තටම ඒක හරිම ලස්සන බලාපොරොත්තුවක්. මම ගොඩක්ම කැමති ශීත සෘතුවක ස්විට්සර්ලන්තය වගේ රටකට යන්න. හිම තියෙන කාලෙක ඒ ලස්සන අත්දැකීම විදින්න මම හරිම ආසාවෙන් ඉන්නේ. ඒක වෙනස්ම හරිම ලස්සන හැඟීමක්.  

කුඩා කාලේ Travel මතක මොනවගේද ?

ඇත්තටම ගොඩක් මතක තියෙනවා. ඒ එක තැනක් තමයි කණ්ඩලම කියන්නේ. ගොඩක්ම චූටි කාලේ අම්මලා එක්ක ගියපු පොටෝස් තාමත් තියෙනවා.  ළඟදී කණ්ඩලමේ ගියාමත් චූටි කාලේ මතක අවදි වෙනවා. ඒ තරම් හරිම ලස්සන තැනක් කණ්ඩලම කියන්නේ.

Travel කරද්දී නතාශාට සිදු වුණු අමතක නොවෙන සිදුවීම් මොනවද ?

එහෙම සිදුවීම් නම් ගොඩක් තියනවා. එක පාරක් මීට අවුරුදු දෙක තුනකට කලින් රත්නපුරේ ගියා. මම වැඩිය ඇවිදින්න කැමති කෙනෙක් නෙමෙයි. එතනට වාහනෙන් යන්න බැහැ කියලා, විනාඩි දහයෙන් යන්න පුලුවන් පොඩි දුරක් තියෙන්නෙ කියලා පයින් එක්කන් ගියා.  පොඩි දුරයි කියලා විනාඩි 45ක් විතර අර ගස් ගල් අස්සෙන් ඇවිදින්න වුණා. අන්තිමට මාව කසන්න අරන්, මට ඇඩුණා මොකද මට ඇවිදින්න පුරුදු නැති නිසා වෙන්නැති. අවසානයේ මම පාර මැද නැවතිලා ඇඩුවා. ඒ සිදුවීම තාමත් මතකයේ රැඳෙනම දෙයක්.

අමා අලහකෝන්