ලොකේ පුරා ප්‍රසංග පවත්වන්න සැළසුම් කරන මින්හාජ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විනෝදාත්මක ප්‍රසංග කලාව තුළ වෙනසක් ඇති කළ Wink Productions ආයතනයේ වර්තමාන හිමිකරු වන මින්හාජ් මහරුෆ් (TK) සමගින් මෙවර අප කතා බහා කළා. රැප් ගායන ශිල්පියෙකු ලෙස ගායන ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඔහු මේ වනවිට සිය ආයතනය හරහා ගීත රූප රචනා ඇතුළු කලා නිර්මාණ බොහෝමයක් සිදු කරමින් සිටියි. මේ දිග හැරෙන්නේ ඔහුගේ කතාවයි..

ඔබේ ආයතනය ගැන මුලින් කතා කරමු අපි..

Wink Productions දැනට ලංකාවේ වගේම බහරේන්වලත් පිහිටලා තියෙනවා. මේ ආයතනය හරහා වෙන්නේ ලෝකය පුරා පවත්වන සංගීත ප්‍රසංග සංවිධානය කරන එක. ඊට අමතරව අප ආයතනය හරහා ගීත රූප රචනා ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ හැම වැඩක්ම වගේ නිෂ්පාදනය කරනවා. මුලීකවම අප ආයතනය හරහා සිදු කරන්නේ ඔය දේවල්. නමුත්, අපි ඉදිරි කාලයේදී ලොකු වැඩ කොටසක් කරන්න සැළසුම් කරමින් ඉන්නවා.

ලබන මාසේ ලොකු ප්‍රසංගයක් පවත්වනවා නේද..

ඔව්, කිරි කිරි බොලේ ලයිව් ඊන් කොන්සට් නමින් තමයි ඒ ප්‍රසංගය අපි පවත්වන්නේ. මේක එළැඹෙන ඔක්තෝම්බර් 12 වැනිදා බහරේන්වල තමයි තියෙන්නේ. ලංකාවෙන් පන්ක් ඩර්ටි සංගීත කණ්ඩායම වගේම රංගන ශිල්පි ශෂි ඇන්ජලිනා ඇතුළු දේශිය කලාකරුවන් රාශියක් සහභාගි වෙනවා. මේක අපි කරන දැවැන්තම සංගීත ප්‍රසංගයක් වගේම ලෝකය පුරා පවත්වන ප්‍රසංග මාලාවක ආරම්භයක් කියලා කිව්වොත් හරි.

එතකොට ගීත රූප රචනා එහෙම සිදු කරන්නේ කොහොමද..

අපි වසරකට ගීත දහයකට වඩා ගීත ප්‍රමාණයක් Wink Productions ආයතනය හරහා නිෂ්පාදනය කරනවා. මේ වසරේදිත් එහෙමයි. මේ ගීතවලට අපි තෝරගන්නේ ලංකාවේම පිරිස තමයි. ගායක, ගායිකාවෝ, ගී පද රචකයෝ, සංගීත නිර්මාණ ශිල්පින් වගේම ගීත රූප රචනාවල පෙනී සිටින රංගන ශිල්පින් පවා තෝරගන්නේ අපි. එතකොට මේ මියුසික් විඩියෝ හැම එකකටම යන වියදම් දරන්නෙත් අපි.

මින්හාජ් ක්ෂේත්‍රයට එන්නේ රැප් ගායකයෙක් විදිහට..

ඔව්, අදටත් ඒ දේ මම කරනවා. අම්මාගේ ලේලි, කිරි කිරි බෝලේ හැරුණු කොට මම පද්දපන් කෙල්ලේ, බාබි ගර්ල් ඇතුළු මෑතකදී නිර්මාණය වුණ ගීත බොහෝමයක මම රැප් ගායන ශිල්පියා විදිහට කටයුතු කළා. මම ආවේ රැප් ගායකයෙක් විදිහට කවදාවත් මම ඒ වෘත්තිය අමතක කරන්නේ නැහැ. Wink Productions ආයතනය කරන ගමන්ම මම රැප් ගායකයෙක් විදිහට මගේම නිර්මාණ ඉදිරියටත් කරගෙන යනවා. රැප් ගායකයෙක් විදිහට මම දායක වුණ තවත් නිර්මාණ කිහිපයකම මේ දිනවලත් වැඩ කරගෙන යනවා. ඉස්සරහට Evo Beats සහ අන්තර්ජාතික මට්ටමේ ප්‍රසිද්ධියට පත් Azim Ousman සමග මගේ නිර්මාණ දෙකක් මේ වසරේ දකින්නට පුළුවන්. මේ නිර්මාණ දෙකටම මගේ සහය ගායන ශිල්පියා එරන්ද මදුසිංහ දායක වෙනවා.

ආයතනයක හිමිකරුවෙක් විදිහට දැන් ඔබ සාර්ථකද..

අනිවාර්යයෙන්ම. හැබැයි මේ සාර්ථකත්වය ලබන්න මට ගොඩක් කට්ටියගෙන් උදව් ලැබුණා. මගේ හොඳම යාළුවා හා ශක්තිය එරන්ද මධුසිංහ. ඔහු තමයි ලංකාවේ තියෙන Wink Productions ආයතනය භාරව කටයුතු කරන්නේ. ඊට අමතරව මගේ බිරිඳ තනුරි නිමාෂා. අද මම ආයතන හිමිකරුවෙකු විදිහට යම් තැනක ඉන්නවා නම් ඒ ඇයගෙන් ලැබුණ ශක්තිය හා ධෛර්යයෙන් කිව්වොත් හරියටම හරි. ඒ වගේම අමතක කරන්න බැරි තුන් දෙනෙක් ඉන්නවා ඒ අන්සාෆ් අමිර් මගේ මේ ගමනේ ආරම්භක පදරචකයා. අදටත් ඉදිරියටත් ආදරෙන් මතක් කරන්න ඕන චරිතයක්. එ වගේම අතිනි ගෝමස් හා කසුන් චේනුක දෙන්නා. ඒ අය මට උදව් අවශ්‍ය හැම වෙලාවකම මගේ ළඟින් හිටියා. ඒ එක්කම මතක් කරන්න ඕනා ගායන ශිල්පින් ෂෙනාල් මද්දුමගේව, අයේශ් හේරත්, කාකා ඇතුළු නම් කියු නොකියු බොහෝ දෙනෙක් මට උදව් කළා. මගේ සහෝදරයා ස්ටැන්ලි රාජ් වගේම ක්‍රිශාන්ති නිරෝෂාන් දෙන්නා. ඒ දෙන්නත් මාත් එක්ක බහරේන්වල තමා ඉන්නේ. ඒ හැමෝටම ස්තුති කරන්න මේක මම අවස්ථාවක් කරගන්නවා.

බුද්ධික සේනාධීර