ලොකු අරමුණක් තිබුණෙ නැහැ. ජීවිතය කියන්නෙ බොරුවක් කියලා හිතුණා
කුයින්සියා ජෙයකුමාර් ඇයගේ නාමයයි. එය අමුතු නමක් වගේම, ඇයගේ මෙතෙක් ගෙවූ ජීවිතයේ කතාවත් ටිකක් අමුතුයි වගේ පෙනෙන්නේ. මේ සුන්දර තරුණිය අපට හමුවන්නේ සර්කස්කාරයෝ නාට්‍යයේ ‘සරීනා’ නමැති චරිතය සමගය. කුයින්සියා හෙවත් ‘කුයින්සි’ ගේ මෙතෙක් ගෙවූ ජීවිත කතාව හරියට තවත් නිර්මාණයක කතාවක් වගේය. ඒ කතාව ගැන කියන්න සර්කස්කාරයෝ ‘සරීනා’ වූ ඇයට අපි මෙලෙසින් අවස්ථාවක් ලබාදීමු.
කවුද මේ කුයින්සි?
අද මේ වන විට මම ටෙලි හා සිනමා රංගන ශිල්පිනියක්. මේ දිනවල සර්කස්කාරයෝ නාට්‍යයට අමතරව ශක්ති ටී.වී. එකේ විකාශය වන නාට්‍යයක රඟපානවා. ඊට අමතරව රූගත කෙරෙන ෆිල්ම් එකක වැඩ වෙනුවෙන් නුවරඑළියෙ ඇවිත් ඉන්නෙ.
කුයින්සිගෙ ගම?
මම ඉපදුණේ යාපනයේදී. පාසල් ගියෙත් එහේ. 2016 දි විතර කොළඹට ආවෙ. රඟපාන්න ඕනැය කියන අරමුණ තිබුණෙ. ඒ නිසා ඒ ගැන ඉගෙන ගන්න ඕනෑය කියලා හිතුවා. කොළඹ ඇවිත් ෆැෂන් ඩිසයිනින් සහ නිරූපණය ගැන ඉගෙන ගත්තෙ.
යාපනයේ කොහෙද?
චාවකච්චේරි.
පවුලේ විස්තර?
මම ඉන්නේ ආච්චි ළඟ. මල්ලී සහ මාව හැදුවෙ ආච්චි අම්මා. ඒ කාලයේ යුද්දෙ එක්ක අපේ පවුලෙ බොහෝ දේ වෙනස් වුණා.
ඒ කතාව ගැන කෙටියෙන් කියන්න කැමතිද?
මගේ අම්මා නැතිවෙද්දි මට අවුරුදු 5 යි. ඉන්පස්සේ අපිව හදා වඩා ගත්තෙ ආච්චි අම්මා. අපෙ අම්මගෙ පවුලෙ අය තරමක් පොහොසත්. තාත්තාට එච්චරම නැහැ. අම්මයි තාත්තයි විවාහ වෙලා තියෙන්නේ යාළුවෙලා. ඉතින් කුල ප්‍රශ්න නිසා පවුල්වල උදවිය දෙන්නම පවුල්වලින් ඈත් කරලා. ආච්චි අම්මට අපට දෙන්න පුළුවන් වුනේ ඉගෙනීම විතරයි. හැම දේම ලබා ගන්න නම් හොඳට ඉගෙන ගන්න කියල ආච්චි අම්මා කිව්වා. මාවයි, මල්ලිවයි හරි විදියට හදන්නයි එයාට අවශ්‍ය වුණේ.
මුලින්ම මම ඉගෙන ගත්තෙ චාවාකච්චේරියේ විග්නේෂ්වර ගමේ පාසලේ.
මෙච්චර හොඳට සිංහල භාෂාව පුරුදු වුණේ?
ඒ ලෙවල්වලින් පසුව කොළඹ ඇවිත් කොළඹ පුද්ගලික ෆිනෑන්ස් ආයතනයක රැකියාව කළා. කොළඹට එද්දී සිංහල බැහැ. සිංහල කතා කරන්නත් බයක් තිබුණෙ.
එතකොට යුද්දෙ කාලයේදි කොහෙද හිටියේ?
අපේ අම්මගේ ගමේ කිලිනොච්චියෙ. 2009 යුද්දෙ ඉවර වෙලා තමයි ආපහු එළියට ආවෙ. යුද්දෙ නිසා වසර කීපයක් මුහමාලේට යන පාර වහලා තිබුණෙ. යුද්දෙ ස්වභාවය එක්ක අපට එක තැනක ඉන්න බැරි වුණා. මටයි මල්ලිටයි ප්‍රශ්න ආවෙ නැත්තේ එතකොට අපි පොඩි ළමයි නිසයි. අපට ඒ කාලයේදි ඉගෙන ගන්න වුණෙත් එල්ටීටීඊ එකෙන් පාලනය කළ පාසලක. අනිවාර්යයෙන් උදේ විෂයයන් දෙකක් ආත්මාරක්ෂක සටන්ක්‍රම ඉගැන්නුවෙ. යුද්ධයේ වේදනාව දැණුනා. හැඟුණා. මොකද අපේ දන්න කියන අය මැරෙනවා දකිද්දි. තාත්තා වෙන කසාදයක් කර ගත්තෙ නැත්නම් එයාටත් යුද්දෙට යන්න වෙනවා. මේ නිසාම තාත්තා වෙන කසාදයක් කර ගත්තා. පසුව අපි කඳවුරක ඉඳලා තමයි ආයෙත් යාපනයට ගියේ. වසර තුනක් විතර පාසල් කටයුතුත් මග හැරුණා. ඉන්පස්සේ ආයෙත් ඉගෙනීමට ඇවිත් පාසල් කටයුතු හොඳින් ඉවර කළා. උසස්පෙළ කළේ කලා අංශයෙන්.
මොන වගේ අරමුණක්ද තිබුණෙ එදා?
ලොකු අරමුණක් තිබුණෙ නැහැ. ජීවිතය කියන්නෙ බොරුවක් කියලා හිතුණා. කොයි වෙලාවෙ හරි මැරෙන්න වෙන අස්ථිර දෙයක් කියලයි හිතුවෙ. ඒ නිසා නිකම්ම මැරිලා යන්නේ නැතුව ජීවිතයේ මොනවා හරි දෙයක් කරලා මැරෙන එක වඩා හොඳයි කියලා හිතුවා. මේ ලෝකයේ ජීවත් වුණාය කියන නම තියන්න ඕනෑය කියලා හිතුවා. ආච්චි අම්මගේ තත්ත්වය එක්ක මාව කැම්පස් යවලා, මල්ලිටත් උගන්වන්න තරම් වත්කමක් තිබුණෙ නැහැ. ඒ නිසා තෝරාගත යුතු මාර්ග දෙකයි තිබුණෙ. එක්කෝ විවාහ වෙන්න. නැත්නම් ඉගෙන ගැනීම. ඒ ලෙවල් ඉවර කළ දවසෙ ඉඳලා හැමදාම පත්තර බැලීම පුරුද්දක් වුණා. මුලින්ම රස්සාවක් හොයා ගත්තෙ එකවුන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. මාස හයක පුහුණුවකට කොළඹ එන්න සිද්ධ වුණේ ඒ නිසයි. ආගන්තුක තැනකට එන්න මට හරියට බය වුණා. ඒත් මෙහි ආවම හැම දෙයක්ම සිද්ධ වුණේ හොඳට. නමුත් දිගටම ජොබ් එක කරන්න වුනේ යාපනයේ සිට. ඒක මට ටිකක් අසීරු වුණා. ආච්චිට කියලා මම ඒ ගමන කොළඹ ආවා. සිංහල සමාජය ගැන මට හොඳ පැහැදීමක් ඇතිවුණේ.
එතැන් සිට ද තනියම යන ගමනකට පුරුදු වුණේ?
ඔව්. එතකොට රස්සාවකුත් ලැබුණු නිසා මගේ ගමන යන්න හිතාගෙන කොළඹ නතර වුණා. හරි විදියට හිටියොත් කොහේ ගියත් වරදින්නෙ නැහැ. ෆිනෑන්ස් ආයතනයක ජොබ් එක කරන්න පටන් ගත්තෙ එතැන් සිට. සිංහල හොඳට පුරුදු වෙන්න ලැබුණෙත් ඒ ජොබ් එක කළ නිසයි. අපේ තාත්තගෙ ඒ කාලයේ හීනයක් තිබුණලු මම රඟපානවා දකින්න. මටත් ඒ ගැන ආසාවක් තිබුණට කොහොමද ඒ ගමන යා යුත්තෙ කියලා අදහසක් තිබුණෙ නැහැ. ඉන්පස්සෙ මගේ නර්තන ගුරුවරයා යටතේ නර්තනය හැදෑරුවා. ඊටත් පස්සෙ වෘත්තීය නිරූපණ උපදේශක ගුරුවරයකු යටතේ නිරූපණය ගැන හැදෑරුවා. අවුරුදු තුනක් ඉගෙන ගත්තා. ඒ ගුරුතුමිය මට මොඩ්ලින් කරන්න ගිය පළවෙනි දවසෙම කිව්වේ කවදාවත් වැරදි දේ කරන්න එපා. හරි දේ විතරක් කරලා මා ළඟට එන්න කියලා. අන්න ඒ විදියට වෘත්තීය විදියට, හරි විදියට තමයි මම සියලු දේ හැදෑරුවේ. ඒ අතරේ මගේ ටීචර් මාව රූ රැජිණ තරගවලටත් යොමු කළා. සියතෙ රූ රැජිණ තරගයේ මම තුන්වැනියා වුණා. පසුව තව තව දේ කරන්න ලැබුණා.
රඟපෑමට හිත ගියේ, ලස්සන නිසාද?
නිරූපණ කටයුතු, රූ රැජිණ තරගවලට යද්දි හැමෝම කිව්වේ මම ලස්සනයි කියලයි. කවුරුත් විශ්වාස කළේ නැහැ මම දමිළ කියලා. මම රඟපාන අදහස් ගැන ටීචර්ට කිව්වා. යාළුවොත් මට උදව් කළා. සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගෙ ඉන්ෆාස් ආයතනයට යන මාර්ගය කිව්වේ මගේ යාළුවෙක්. හොඳ වෙලාවට මගේ ‘ටීචර්’ කිව්වෙ එයාටත් එතැනට ගිහින් රංගනය හදාරන්න අවශ්‍යයි කියලයි. ඒ වන විට ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සම්බන්ධීකාරක කෙනෙක් විදියට රැකියාවකට අයදුම්කරලා තිබුණෙ. ඒකට තෝරාගෙන, අන්තිමට මාව රිජෙක්ට් කළා. ඒ නිසා එතෙක් කළ ජොබ් එකත් නැතුව ගියා. එතකොට මම හරි දුකෙන් හිටියෙ. දුකක් ආව හැටියෙ මගේ පුරුද්ද තමයි රට වටේ සංචාරය කරන එක. මගේ මෝටර් සයිකලය පැදගෙන ඒ විදියට දුරකට ගිහින් එනවා. තනියම යන්නෙ.
මෝටර් සයිකලයේ තනියම යන්න බය නැද්ද?
මගේ රටේ මට බයවෙන්න දෙයක් නැහැනෙ. කතා කරන්න භාෂා පුළුවන්නෙ. හැබැයි යනකොට ආච්චි අම්මට කියලා යන්නෙ. ඒ වගේම මගේ යාළුවන්ට ලොකේෂන් එක යවනවා. එතකොට මම සිටින තැන එයාලා දන්නවනෙ.
ඔයාව නිරූපණයට ගෙනාව ටීචර් කවුද?
ඩැල්රීන් ෂාෂා
එතකොට ඉන්ෆාස් එකට ගියාම රංගනයට තෝරා ගත්තද?
ඔව්. අපි දෙන්නම තේරුණා. මගේ ටීචර් ඩැල්රින් ෂාෂා සල්ලි පොකුරු නාට්‍යයේ රඟපානවා. මාව ඉන්ටර්වීව් කළ සද්ධා සර් මගෙන් ඇහුවා කලින් ඇවිල්ලා නැද්ද කියලා. මම සර්ට මගේ විස්තරය කිව්වා. හොඳට ඉගෙන ගන්න හොඳ ගමනක් යන්න පුළුවන් කියලා සර් කිව්වා. පිටපත් ලැබුණෙ සිංහලෙන්. මම ඒවා ටැමිල්වලට හරවා ගත්තා. ඒ විදියට සද්ධා සර් යටතේ ඉගෙන ගනිමින් සිටියදී තමයි සර් මාව සර්කස්කාරයෝ නාට්‍යයට ගත්තෙ. ප්‍රසන්න මහගමගේ සර් තමයි රංගනය අපට ඉගැන්නුවෙ. ප්‍රසන්න සාර් මා ගැන සද්ධා සර්ට කියලා තිබුණා. සර්කස්කාරයෝ ‘සරීනා’ චරිතය ලැබුණේ ඒ විදියටයි. සිරසෙ යන මේ නාට්‍යයේ චරිතය දැකලා තමයි මාව ශක්ති ටී.වී. එකේ චරිතයට ගත්තෙ.
ජීවිතේ දිනපු තරුණියක් නේද?
තනියම ජීවත්වීම මගේ ධෛර්යවන්තකම කියලයි මම හිතන්නෙ. විශ්වාසය තිබුණා, අරමුණක් තිබුණා. ඉගෙන ගත්තා. ඒ ගමන යමින් සිටිනවා. මාව විශ්වාස කළේ මගේ ආච්චි අම්මා.
ලස්සන කුයින්සිට ආදරයක් නැද්ද?
මගේ වටා සිටින හැමෝම මට ආදරෙයි. ක්ෂේත්‍රයේ මගේ යාළුවෝ ඉන්නවා. ‘ආදරය’ තවම මගේ ජීවිතයට ඕනැ නැහැ කියලයි හිතන්නෙ. ආදරය කියන්නේ ශක්තියක් වගේම, දුර්වලකමක්. අනාගතයේදී හරිම කෙනා මට දෛවය මුණගස්සාවි.
සර්කස්කාරයෝ නළු නිළි පිරිස කොහොමද?
එයාලගෙ සහෝදරියක් වගේ එයාලා ඔක්කෝම මට ආදරෙයි. ‘නිම්මි මනෝහාරි’ අක්කා දැන් මගේ හොඳම යෙහෙළියක්. මට හැම දෙයක්ම කියලා දෙනවා. අපි එකමුතු පවුලක් වගේ.
සඳුන් ගමගේ