ලංකාවේ වැඩිම ගීත රූප රචනා කරපු අයගෙන් කෙනෙක් මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවිධ කලා නිර්මාණ රැසකටම විඩියෝකරණ ශිල්පියෙකු ලෙස දායකත්වය සැපයූ අජන්ත ඒකනායකට මෙවර කලාපයෙන් අප ඉඩක් වෙන් කළා. ගීත රූප රචනා බොහෝමයක නිර්මාණකරුවෙකුද වන අජන්ත වර්තමානයෙ වන විට වැඩිපුර සිය දායකත්වය සපයා ඇත්තේ විවාහ මංගල්‍යයන් විඩියෝකරණ ශිල්පියෙකු ලෙසය.

අජන්ත කියන්නේ විවිධත්වයක් ඇති විඩියෝකරණ ශිල්පියෙක්..

ඔව්, මම ක්ෂේත්‍රයට එන්නේ ගීත රූප රචනා නිර්මාණකරුවෙක් විදිහට. ඒ 2013 වසරේදී. එතැන් පටන් අද වෙනකම් මම ගීත රූප රචනා 160කට වඩා වැඩි ප්‍රමාණයක විඩියෝකරණ ශිල්පියෙක් වගේම සංස්කරණ ශිල්පියෙකු විදිහට වැඩ කරලා තියෙනවා. මා විසින් නිර්මාණය කරපු ගොඩක් ගීථ රූප රචනා ජනප්‍රිය වුණා. සමහරක් ඒවා යූ ටියුබ් නාලිකාවල මුල්තැනටත් තේරිපත්වුණා. හැබැයි වර්තමානයේ නම් මම මූලිකත්වය දීලා තියෙන්නේ විවාහ මංගල විඩියෝකරණ ශිල්පියෙකු විදිහට වැඩ කරන්න. අද වෙන කොට මම ස්ටුඩියෝ අටක විතර ප්‍රධාන විවාහ මංගල විඩියෝකරණ ශිල්පියා විදිහට වැඩ කරමින් ඉන්නවා.

දැන්  එතකොට ඔබ පූර්ණකාලීව විවාහමංගල විඩියෝකරණයට පිවිසිලාද ඉන්නේ..

ඔව්, එහෙම කිව්වොත් හරි. විවාහ මංගල විඩියෝකරණ ශිල්පියෙකු විදිහට වැඩ කරන්න ගත්තේ අහම්බෙන්. මගේ මිතුරෙකු කරපු ඉල්ලීමක් මත. ඔහු ඡායාරූප ශිල්පියෙක්. ඔහු යෝජනා කළා ඔහු ඡායාරූපගත කරන විවාහ මංගල්‍යයන් වල මට විඩියෝකරණ ශිල්පියෙක් විදිහට වැඩ කරන්න කියලා. ඒ ආරාධනයත් එක්ක තමයි මම විවාහ මංගල විඩියෝකරන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. ඒ කරපු වැඩවලට හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ නිසා හිතුවා මම මේ වැඩේට පූර්ණකාලීනව යොමු විය යුතුයි කියලා. ඒ අදහස පෙරදැරි කරගෙන තමා මේ වෘත්තියට යොමු වුණේ.

විවාහමංගල විඩියෝකරණය තුළ අද ලොකු තරගයක් තියෙනවා නේද..

ඔව්, ලොකු පිරිසක් අද විවාහ මංගල විඩියෝකරණ ශිල්පින් විදිහට වැඩ කරනවා. ගොඩක් තරුණ අය. ඉතින් තරගකාරීත්වයක් මම ඒ අය හරහා දකිනවා. හැබැයි මට අනෙක් අය සමග තරගයක් නැහැ. මගේ වැඩවලට කැමති අය මට වැඩ දෙනවා. මම ගොඩක් වෙලාවට බලන්නේ මට දෙන වැඩේට උඵරිම සාධාරණයක් කරන එක. ඒ කියන්නේ වැඩේ දෙනා සතුටු වෙන විදිහට වැඩේ කරලා දෙන එක. මාත් සමග මේ වැඩේට හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්නවා. ඒ හැම කෙනාම දක්ෂයෝ. ඉතින් වැඩක් ලබා දෙන ඕනෑම කෙනෙකුට අපේ කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් වගේම පැහැදීමක් තියෙනවා. තව විදෙස් රටවල කරන විවාහ මංගල්‍යයන් වල විඩියෝ අප හරහා බොහෝ අය සංස්කරණ කටයුතු සිදු  කරගන්නවා. අපෙන් වෙන සේවා අතර ඒක විශේෂ දෙයක්.     

ඔබ කාලයක් වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා..

ඔව්, දැන් අවුරුදු දොළහකට ආසන්න කාලයක් මම මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. ගීත රූප රචනා නිර්මාණකරුවෙක් විදිහට ආපු ගමන තුළ අද ලොකු සාර්ථකත්වයක් මම ලබාගෙන තියෙනවා. දැනට චිත්‍රපට දෙකක විඩියෝකරණ ශිල්පියා විදිහට වැඩ කරලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් දහයකට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වගේම රූපවාහිනි නාලිකා කිහිපයක විඩියෝකැමරා ශිල්පියා වගේම සංස්කරණ ශිල්පියා විදිහටත් වැඩ කරලා තියෙනවා. මුලින්ම ගීත රූප රචනාවක් කළේ ගේ ගාව මල්ලි කෙනෙක්ගෙන් ඉල්ල ගත්තු පොඩි කැමරාවකින්. රැකියාව අහිමි වෙලා ගෙදර ඉන්න කොට තමා ඒ වැඩේ කරන්න ගත්තේ. හැබැයි වැඩේ හිතුවටත් වැඩිය හොඳට ආවා. මම කරපු රැකියාවෙන් ලැබුණ අත්දැකිම් හා දැනුම ඊට ගොඩක් ඉවහල් වුණා. ඊට පස්සේ තමයි දිගින් දිගටම ඒ පැත්තට යොමු වුණේ. එහෙම ආපු ගමන නොසිතු විදිහට අද ලොකු සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මට.

බුද්ධික සේනාධීර