ලංකාවේ මිනිස්සු බජව් වලට කැමැතියි
සුදු මැණිකේ ලස්සන අපෙ ගම්මානේ
ගම්මානෙම හැඩවුණෙ නුඹ හින්දානේ
ලස්සන මැණිකේ මගෙ සුදු මැණිකේ
ගම්මානෙම එළියයි නුඹ හින්දානේ
හිත බැඳුණේ නියර දිගේ හමුවෙද්දී
හොරැහින් බැලුවේ ඇයි ඔබ දිවයද්දී
මගෙ ළෙංගතුකම ඉබේට වැඩිවෙද්දී
හිනාවුණේ බණ්ඩි ගොයම දැනගද්දී
බක්මහ ලබනවා මැණිකේ මේවෙද්දී
රෙද්ද හැට්ටෙ ඇඳගෙන කරළියෙ එද්දී
කිරුළු දරන අවුරුදු කුමරිය වෙද්දී
මගෙ ගෙපැලේ රැජිණයි ඔබ හෙටවෙද්දී
මේ අවුරුදු සමයේ ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් සමාජ මාධ්‍යයේත්, රූපවාහිනියේත් අසන්නට දකින්නට ලැබෙන ගීතයක් තමයි ‘සුදු මැණිකේ’. ඒ නිසාම මේ ගීතය ගැන කතා කරන්නට සඳැල්ලෙන් පුංචි ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ගීතය ගායනා කරනු ලබන්නේ නව පරපුරේ ගායන ශිල්පියෙක් වන දිනෙත් අරුත්ෂ.
කවුද මේ සුදුමැණිකේ?
සුදු මැණිකේ කිව්වෙ එහෙම විශේෂ කෙනෙක්ට නම් නෙමෙයි. මේ මගේ දෙවැනි ගීත නිර්මාණය. මේ නිර්මාණයෙන් නම් කියන්නෙ ගමේ ඉන්න අහිංසක ගැහැණු ළමයෙක් ගැන.
අවුරුදු සමයේම ඇයි එවැනි ගීත නිර්මාණයක් ගේන්න හිතුවෙ?
ඇත්තටම මේ ගීත නිර්මාණ සංකල්පය මගේ තාත්තා වජිර නිශාන්තගෙ. මෙහි පද රචනයත් තනුවත් තාත්තා නිර්මාණය කරලා මට පෙන්නුවම ඒ පද රචනය මාරම විදියට හිතට දැනුණා. කොහොමත් මගේ ලොකු ආසාවක් තිබුණා බජව්වක් යොදාගෙන නිර්මාණයක් කරන්න. ලංකාවේ මිනිස්සු කොහොමත් බජව්වලට කැමතියිනෙ. නමුත් ඒ විදියෙ ගීත අද කාලයේ දකින්න ලැබෙන්නෙ නැහැ. ඉතින් මගෙ හිතේ තිබුණු ඒ කැමැත්තත් එක්ක අපේ ඇඟට දැනෙන බජව්ව ගේන්න ඕනෑ කියලා හිතුනා කරළියට. සාමාන්‍යයෙන් බජව්වක් ගැළපෙන්නෙත් අවුරුද්දටනෙ. ඒ නිසාම තමයි විශේෂයෙන්ම අවුරුදු කාලෙම අල්ලලා නිර්මාණයක් කරන්න මුල් වුණේ. ඉතින් ඒ නිර්මාණයට තාත්තාගේ පද රචනය හොඳින්ම ගැළපුනා. ඉතින් ඒ වචනත් එක්ක මගේ හිතේ තිබුණු අදහස් ටිකක් හොඳින්ම ගැළපුනා. ඉතින් ඒ හැමදේම එකතු කරගෙන මේ නිර්මාණය කළා.
මේ වීඩියෝවට ගමක සුන්දරත්වය තමයි එකතු කරලා තියෙන්නේ ඒ ගැනත් කතා කරමු?
අද කොළඹ ගොඩක්ම තරඟකාරී පරිසරයක්නෙ තියෙන්නෙ. ඉතින් මිනිසුන්ට ගමක තියෙන සුන්දරත්වයක් බලන්න බැරි මට්ටමක් තියෙන්නෙ. ඉතින් මට ඕනා වුණා මේ බජව්ව ඇතුළෙ ගමේ තියෙන සුන්දරත්වය මේ නිර්මාණයට එකතු කරන්න. ඒ දේට අපි ගොඩක් මහන්සි වුණා. එහි රූගත කිරීම්වල දර්ශන තල හොයන්න අනුරාධපුරයට ගියා. අනුරාධපුරයේ තමයි රූගත කිරීම් කළේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ මේ වීඩියෝව කරද්දී අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණු නිපුන මහර්ෂි සහ කැමරාකරණයෙන් සම්බන්ධ වුණු මහෝද ඉඳුරංගගනේ ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම රූප රචනයෙන් සුදු මැණිකෙට ප්‍රධාන රංගනයට දායක වුණු රංගන ශිල්පිනය සචින්තනී කෞශල්‍යා. ඇයගෙනුත් විශාල සහයෝගයක් ලැබුණා. ඒ හැමෝම ඇතුළුව ගීතයේ ඕඩියෝව අධක්ෂණය කළ ගයාන් උඩවත්තත් මේ වෙනුවෙන් තවත් ශක්තියක් වුණු පහන් සන්දීපත්, උත්පල දෙනිපිටියත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනෑ. ගීතය එළිදක්වල දින දෙක තුනකින්ම ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබා ගන්න හැකිවුණා. බොහෝ දෙනෙක් ගීතය නරඹලා තිබුණා. හොඳ වීව්ස් ප්‍රමාණයක් ගීතය වෙනුවෙන් ලැබිලා තිබුණා. ඉතින් ඒ ලැබුණු ප්‍රතිචාර එක්ක මගේ හිතේ තිබුණු දේ සාර්ථක වුණා කියලා හිතනවා. මොකද ගොඩක් දෙනෙක් කිව්වේ ගීතය අහලා අපි හොඳටම නැටුවා. නටන්න පුළුවන් විදියෙ ගීතයක්, ලොකු වෙනසක් කරලා තිබුණු ගීතයක් මේ කියලා.
ගීත ගායනයට අමතරව දිනෙත් කියන්නෙ ලංකාවේ ලාබාතලම තබ්ලා විශාරදවරයෙක් වුණු චරිතයක්?
ඔව්. ඇත්තටම මට 2010 වසරෙදි තබ්ලා විශාරද විභාගය සම්පූර්ණ කරන්න ලැබුණා. එතකොට මම ඉගෙනුම ලැබුවෙ 6 වන වසරේ. ලංකාවේ ලාබාලතම තබ්ලා විශාරදවරයෙක් වෙන්නෙත් මට අවස්ථාව ලැබුණා. ඉතින් එදා සිට අද දක්වාම ඒ අංශයේ තවමත් රැඳිලා ඉන්නවා.
දිනෙත් ඒ ආපු ගමන් මඟ ගැනත් පාසලෙන් කලාවට ලැබුණු දායකත්වයත් සඳහන් කළොත්?
මම පාසල් දෙකක ඉගෙන ගත්තා. ඒ කොටහේන කුමාර විද්‍යාලයේත්, කොළඹ ආනන්ද විද්‍යාලයේත්. ඉතින් පුංචිම කාලෙ පාසලේ තිබුණු උත්සවවල මම ගායනයෙන් වාදනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම කලාවට සම්බන්ධව ගොඩක් වැඩ කළා.
රංගන කටයුතු පැත්තට සම්බන්ධ වෙලා පාසල් මට්ටමින් ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. පාසල් වේදිකා නාට්‍ය කිහිපයක්ම කළා. ඒ තුළින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී රංගනය වෙනුවෙන් හොඳම නළුවා වෙලා ජයග්‍රහණත් ලබලා තියෙනවා. 8 වසරෙන් පසුව තමයි මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ පාසලේ පැවැත්වුණු හැම ප්රසංගයකටම වගේ වාදනයෙන් දායක වුණා. සංගීතය පැත්තෙන් ඒ පාසලේ නොකරපු දෙයක් නැහැ. පාසලෙනුත් ලොකු සහයෝගයක් ලබා දුන්නා ඒ අංශයෙන් අපිට ඉදිරියට යන්න.
පාසල් කාලෙන් පසුවත් කලාව අතහැරියෙ නෑ නේද?
නැහැ. කලාව කියන්නෙ මම ගොඩක්ම ආසාවෙන් කරන දෙයක්.
මම මනෝජ් පීරිස් මහත්මයාගේ සංගීත කණ්ඩායමෙත් සාමාජිකයෙක් විදියට සම්බන්ධ වෙලා ඉන්නවා තබ්ලා වාදනයෙන්. මම පාසල් යන කාලෙම තමයි ඒ වෙනුවෙන් සම්බන්ධ වුණේ. ඒ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා මේ වෙද්දි අවුරුදු 11ක් වෙනවා. ඒ සම්බන්ධ වුණු ගමන් මගේ වේ වෙද්දී මම ඒ කණ්ඩායමත් එක්ක ගොඩක් නාළිකාවල පැවැත්වෙන සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. ඒ හරහා ලංකාවේ දැවැන්ත චරිත එක්කත් වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඒ දේ ප්‍රධාන විදියට සිද්ධ වෙද්දී මම තබ්ලා ගුරුවරයෙක් විදියටත් කටයුතු කරනවා. මගේ ගෝලයෝ කිහිප දෙනෙක් මේ වෙද්දී බිහිවෙලා තියෙනවා.
මේ දේවල්වලට ගෙදරින් ලැබෙන්නෙ කොයි වගේ සහයෝගයක්ද?
මගේ ගෙදර ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි. තාත්තා නාවික හමුදාවේ තමයි සේවය කළේ. දැන් නම් ඉවත්වෙලා. කොහොමත් මගේ තාත්තාට හොඳට ඩොලැක්කිය වාදනය කරන්න පුළුවන්.
ඒ වගේම ගී පද රචනාත් බොහොමයක් කරලා තියෙනවා. ඒ දේවල් එක්ක තමයි මමත් කලාවට නැඹුරු වෙන්න මූලිකම හේතුව වුණේ. ඒ වගේම මගේ අක්කාත් සංගීතයට සම්බන්ධයි. මේ වෙද්දී ඇයත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කරලා ඉන්නෙ. අම්මා විතරයි සංගීතය පැත්තට නැඹුරු නැත්තේ. නමුත් අම්මා අපිට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා මේ ගමන් මගට. ඉතින් පවුලෙ සහයෝගය විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.
ධනු විජේරත්න