ලංකාවේ මිනිස්සුන්ට අද නිවිසැනසිල්ලේ ගීතයක් අහන්න පුළුවන් මානසිකත්වයක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ පරපුර වඩාත් ආදරය කරන යොවුන් ගායන ශිල්පියෙකු ලෙස උදය ශ්‍රී වික්‍රමසිංහ හැඳින්විය හැකිය. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින උදය මෑතකදී ගීත කිහිපයක්ම එළිදක්වනු ලැබීය. මෙවර 'සාරවිට' අප උදය සමග ඔහුගේ අලුත් ගීත ගැන කතා කළා.

එක ළඟ ගීත දෙකක් නිකුත් කරන්න හිතුවේ ඇයි?

කොවිඩ් වසංගතයක් එක්ක 2019 ඉඳලා ලොවපුරා තිබුණ අර්බුදකාරි තත්ත්වයන් සමග එන්ටර්ට්‍රේට්මන්ට් පැත්ත යම් පසුබැමකට ලක්වුණා. ඉතින් ලංකවේ ගොඩක් ආර්ටිස්ලාට ගීත නිකුත් කරන්න ලොකු මානසිකත්වයක් තිබුණේ නැහැ ඒ තිබුණ ප්‍රශ්නත් එක්ක. මමත් 2019 වසරේ ආවා ඔස්ට්‍රේලියාවේ පදිංචියට. ලංකාවෙන් මම එනකොට ගොඩක් ගී නිර්මාණ හදමින් හිටියා.  ඒ නිර්මාණත් අරගෙන තමයි මම මෙහෙට ආවේ. ඉතින් ලෝකයත් සාමාන්‍ය අතට හැරිගෙන යන නිසා මම හිතුවා මම ගේනාපු නිර්මාණ එකින් එක මගේ ප්‍රේක්ෂකයන්ට නිකුත් කරන්න ඕන කියලා. ඒ අදහස පෙරදැරි කරගෙන තමයි මම එක ළඟ ගීත දෙකක් එළිදක්වන්න කටයුතු කළේ.

කාලේකට පස්සේ නේද මෙහෙම ගීත ඔබ එක ළඟ නිකුත් කළේ?

ඔව්, කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් ආර්ටිස්ලාට තමන්ගේ ගීත නිකුත් කරන්න බැරිවුණා. ඒ දේම තමයි මටත් වුණේ. ලංකාවෙන් එනකොට ගොඩක් නිර්මාණ ගේනවා ඔස්ට්‍රේලියවේදී ඒවා එළිදක්වන්න. නමුත්, අර තිබුණ ප්‍රශ්නත් එක්ක ඒ දේ කරන්න බැරිවුණා. නමුත්, කෙවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ලැබුණ විවේකයේදී මම මගේ නිර්මාණ හැදුවා. දැන් නිර්මාණ ගොඩක් තියෙනවා. එකින් එක ඒවා නිකුත් කරමින් දැන් යනවා. ලංකාවේදී නම් මම වසරකට එකක් හෝ දෙකක් තමයි නිකුත් කළේ. 

මේ ගිත දෙකම ඔබේම නිර්මාණ. මෙහි වෙනසක් තියෙනවද?

ලංකාවේ හිටපු අවසන් කාලයේදී කරපු ගීතත් මම තමයි නිර්මාණය කළේ. සමහර අවස්ථාවලදි පද රචනාව පමණක් වෙනත් අයෙකු යොදාගෙන මම කළා. නමුත්, මෑතකදී කරපු ගීත ගත්තොත් සියයට අනූ නමයක් විතර මගේම නිර්මාණ තමයි. පද රචනය, ගී තනුව, සංගීතය වගේම කරපු ගීත රූප රචනා පවා මගේ සැළසුම් මත තමයි පසුගිය කාලේ කළේ. යම් යම් හේතු නිසා මට හිතුණා මගේ නිර්මාණ මම කළොත් හොඳයි කියලා. ඒත්, මෙහි ප්‍රධානව මගේ නම විතරක් තිබුණාට මේ ගීත නිර්මාණය කරන්න තිරයේ පිටුපස ඉඳලා විශාල පිරිසක් දායක වෙනවා. මොකද යම් දෙයක් නිර්මාණයක් කරද්දි ඒක තනි පුද්ගලයෙකුට කරන්න බැහැ. ගොඩක් මා සමග මගේ නිර්මාණවලදී වැඩ කරනවා. මේ නිකුත් කළ ගීතවල වෙනසක් තියෙනවද කියලා අහපු ප්‍රශ්නේට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ඇත්තටම මටත් හිතුණා මගේම අදහස්වලින් නිර්මාණය වෙන නිසා මේ ගීත ඒකාකාරි වෙයිද කියලා. එහෙම අභියෝගයකුත් එක්ක තමයි මම මේ දේට යොමු වුණේ. ඒත්, ගීත දෙකම ඇහුවොත් ඕනෑම කෙනෙකුට හිතෙනවා මෙහි වෙනසක් ගැබ්වෙලා තියෙනවා කියලා.

අලුත් ගීත දෙකට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?

පළමුවැනි ගීතය ගත්තොත් ශ්වේතාවියේ.. දෙවැනි ගීතය දෑසින් බලා..  මේ ගීත දෙකම එක ළඟ නිකුත් කළේ. ඒ හින්ද ගීත දෙකටම එක හා සමාන ප්‍රතිචාර ලැබෙනවා. මේ ගීත දෙකම මම නිකුත් වෙනවා කියලා දැනුම් දුන්නේ සමාජ මාධ්‍යයන් හරහා. ලංකාවේ හිටියා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස්. මොකද, ලංකවේ හිටියා නම් ඩිජිටල් වගේම ප්‍රින්ට් මාධ්‍යයෙනුත් මේ ගීතය ගැන විශාල ප්‍රචාරණයක් ලැබෙනවා. නමුත්, මම දැන් ලංකවේ නැති නිසා එහෙම දේවල් මට ලැබෙනවා අඩුයි. ඒත්, සමාජ මාධ්‍යයන් හරහා අද වෙන කොට මාව විශාල පිරිසක් අඳුනගෙන තියෙනවා. ඒ වගේම ලොකු පිළිගැනීමක් ලැබෙනවා.

මේ ගීත දෙකෙන් පස්සේ තව කාලයක් යයිද ඔබේ අලුත් ගිතයක් නිකුත් කරන්න?

ඇත්තටම ගීතයක් නිකුත් කරන්න සූදානමකින් හිටියා මේ ජුනි මාසයේ. මොකද, මගේ අන්තිම ගීතය දෑසින් බලා.. නිකුත් කළේ මේ වසරේ මුල පෙබරවාරි මාසයේ නිසා. මම ගීත නිකුත් කරන්නේ ලංකවේ මිනිස්සුන්ට. කණගාටුවෙන් වුණත් අද ලංකාවේ තියෙන තත්ත්වය අනුව මිනිස්සුන්ට ගීතයක් නිවිසැනසිල්ලේ අහන්න පුළුවන්කමක් නැහැ. ගීත අහනවට වඩ අද ලංකාවේ මිනිස්සු උත්සාහ කරන්නේ ඊළඟ කෑමවෙල කෙහොමද හොයන්නේ කියන එක. එහෙම තත්ත්වය මත ලාංකිකයෙක් විදිහට මට ගීත නිකුත් කරන්න හැකියාවක් නැහැ. තව දෙයක් කියන්න ඕනා අද රටේ තියෙන අර්බුදකාරි තත්ත්වයත් එක්ක මම කරපු දේශභිමාන ගීතයක් වුණ මාතෘභූමි.. අද නැවතත් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ගීතයක් අලුතින් නිකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මට හිතෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජිවිතේ කොහොමද?

සුපුරුදු පරිදි සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. ඒ එක්කම පහුගිය දවස්වල නම් ඔස්ට්‍රේලියාවේ තිබුණ අරගල වලට මමත් මගේ පවුලේ අයත් එක්ක සහභාගි වුණා. ඇත්තතෙන්ම මේ අවස්ථාවෙදී මතක් කළ යුතු දෙයක් තියෙනවා ලංකාවේ කොල්ලෝ කෙල්ලේ ටික ලොකු ගැම්මක් අරගෙන කරන අරගලය. මම නිහතමානිව ඒ දේට ආචාර කරනවා. ලංකාවේ වර්තමානයේ ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ගන්න මේ උත්සාහය ලොකු දෙයක්. මමත් පුළුවන් විදිහට මේ දේවල්වලදී ලංකාවේ තරුණ පිරිසට සහය දක්වනවා.

ගායන ශිල්පියෙක් විදිහට ඔබ දැන් ස්ථාවර වෙලාද?

ගායන ශිල්පියෙක් කියනවට වඩා සංගීත ශිල්පියෙක් එහෙමත් සංගීතවේදියෙක් විදිහට මාව අඳුන්වනවාට මම ගොඩක් කැමතියි. ඔස්ට්‍රේලියාවට ඇවිල්ලාත් මම මගේ වෘත්තිය විදිහට කරන්නේ සංගීත කටයුතු තමා. ගායන ශිල්පියෙක් විදිහට මම මෙහේ වැඩ කරන්නේ ගොඩක් අඩුවෙන්. සංගීත නිර්මාණ ශිල්පියෙක් විදිහට තමයි මම ගොඩක් වැඩ කරන්නේ. ප්‍රශ්නේට පිළිතුර විදිහට මට කියන්න පුළුවන් සංගීත ශිල්පියෙක් විදිහට ඔව් අද මම ස්ථාවර වෙලා තියෙනවා.

බුද්ධික සේනාධීර