ලංකාවෙ නම් තවම ප්‍රේක්ෂකයන්ට ෆැෂන් ලබා දෙන්න උත්සාහ කරපු ජනප්‍රිය තරු නැහැ
‘ෆැෂන්’ කියන්නේ දවස දවස ගානෙ වෙනස් වෙන, අලුත් වෙන විෂයයක්. සමහර වෙලාවට මීට දශකයකට කලින් තිබුණු ෆැෂන් එකක් අලුත් වෙලා ආයෙම එනවා. ඒ කොහොම වුණත් ෆැෂන් කියන්නෙ වයස් භේදයකින් තොරව කොයි කවුරුත් කැමැති විෂයයක්. මේ ගැන සඳැල්ලට කතා කරන්න අපි හෙෂාන් මනුල මුණගැහුණා.
හෙෂාන්ට ‘ෆැෂන්’ ගැන මොකද හිතෙන්නෙ?
“මම හිතන්නෙ ‘ෆැෂන්’ කියන්නෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක්. ඒක මම දකින්නෙ ‘ආර්ට්’ එකක් විදිහට. ඒ ‘ආර්ට්’ එක ලංකාවෙ නැතිම තරම් කියන්න පුළුවන්. ඇත්තටම මිනිසුන්ගේ මනසටත් ජීවිතයටත් ගොඩක් ආලෝකයක් දෙන්න පුළුවන් විෂයයක් මේ. නමුත් ඒ පැත්ත අපි ටච් කරනවා අඩුයි.”
හෙෂාන්ගේ කැමැත්ත කොහොම ද ඒ පැත්තට?
“ ෆැෂන් කියන්නෙ මගේ නම් ජීවිතේ වගේ. ඇත්තටම මේ වෙනුවෙන් මගේ නැඹුරුව නම් පුංචි කාලෙ ඉඳන් තමයි සිද්ධ වෙන්නෙ. මම පුංචි කාලේ ඉඳන් චිත්‍ර ශිල්පයට දක්ෂයි. පාසලේදී පවා චිත්‍ර විෂයය තමයි කළේ. ඒ නිසාම විවිධ නිර්මාණ කිරීම මගේ අතින් සිද්ධ වුණා.
මට කෙනෙක් දිහා බැලුවමත් කියන්න පුළුවන් ඒ කෙනාට ගැළපෙන සුදුසු ඇඳුම් නිර්මාණ එහෙම කොහොම ද කියලා. ඒ තරමට මම ඒ අංශය සම්බන්ධ අධ්‍යයනයකින් සහ අවබෝධයකින් තමයි ජීවත් වුණේ. තවමත් එහෙමම තමයි.
මම පාසල් යන කාලෙදිත් පාසල් නිල ඇඳුමේ ඒ නීති රීතිවලට අනුගතව ඇඳුමත් ටිකක් වෙනස් විදිහට ඇඳපු කෙනෙක්. ඉතින් ඒ කාලෙත් මම ඒ විදිහට හිතන්න හේතුව චිත්‍ර අඳින්න පුළුවන් වීම කියලා තමයි මම හිතන්නෙ.
මේ මට උපතින්ම ලැබුණු හැකියාවක්. ඒ නිසා මම ඒ හැකියාවන් වඩාත් වර්ධනය කරගනිමින් මේ වෙද්දි ‘ෆැෂන් ඩිසයිනර්’ කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ වෙද්දි මගේම ‘බ්‍රෑන්ඩ්’ එකක් තියෙනවා.‘WARNING by HM’ කියලා. ඒ වෙනුවෙන් මගේම අදහස් මත නිර්මාණයක් තමයි එළියට එන්නේ.”
හෙෂාන් නිරූපණයට යන්නත් හේතුව ෆැෂන්වලට ආදරේ කිරීම ද?
“අනිවාර්යයෙන්ම. මම නිරූපණ ශිල්පියෙක් විදිහට ක්ෂේත්රයට සම්බන්ධ වෙලා මේ වෙද්දි අවුරුදු 14ක් වෙනවා. මම කොහොමත් මේ ක්ෂේත්රයෙන් ලංකාවේ වෙනස්ම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. පිටරටවල නිර්මාණකරුවන් එක්ක එකතු වෙලා වැඩ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා නිරූපණ ශිල්පියෙක් වීම හරහා. ඉතින් ඒ හැමදේම එකතු කරගෙන ෆැෂන් සම්බන්ධ අලුත් දෙයක් මිනිසුන්ට ලබා දෙන්නත් හැම වෙලාවෙම උත්සාහ කරනවා.”
හෙෂාන්ට ගැළපෙන විදිහට කොහොම ද ෆැෂන් කරන්නෙ?
“මම ෆැෂන් කරද්දි මුලින්ම හිතන්නෙ පෞරුෂත්වය ගැන. මගේ ශරීරයේ උස, මහත අනුව, ඒ වගේම ගැළපෙන වර්ණය අනුව වගේම සම්බන්ධ වන වැඩ කටයුත්ත, ඒ ඒ උත්සවය, සහභාගි වන පිරිස ඒ හැමදේම මත ෆැෂන් වෙනස් වෙනවා.
මංගල, අවමංගල උත්සව, රූපවාහිනී වැඩසටහන්, සාමාන්‍ය උත්සව අවස්ථා, බීච් පාටි වගේ අපි සම්බන්ධ වන වැඩසටහන් කාණ්ඩගත වෙනවනෙ. ඒ ඒ අවස්ථාවලට ගැළපෙන විදිහේ ඇඳුම් පැළඳුම් මම වෙන් වෙන්ව සකස් කරගෙන තමයි තියෙන්නේ. ඒ හැම අවස්ථාවකටම සම්බන්ධ වෙද්දි පිළිවෙළකට යන්න ඕනෑනෙ. මම කොහොත් ඇඳුම්, පැළඳුම් ගැන විශේෂයෙන්ම හිතන කෙනෙක්.
විශේෂයෙන් කියන්න ඕනෑ මම මංගල උත්සවවලට සම්බන්ධ වෙද්දි නම් ඒ සම්බන්ධව ආරාධනා ලැබෙන කෙනාගෙන් දුරකතන ඇමතුමක් දීලා ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරය දින කිහිපයකට පෙර කතාබහ කරගන්නවා, අවුට් ඩෝ ද ඉන් ඩෝ ද උත්සවය පැවැත්වෙන්නේ කියන දේ. ඒ වගේම ඒ තුළ තීම් එකක් තියෙනවා නම් ඒ දේවල් අනුව මගේ ඇඳුම වෙනස් කරගන්නවා.
සාමාන්‍යයෙන් මම මංගල උත්සවයකට යනවා නම් වැඩිපුරම භාවිත කරන්නෙ ඉතාලියන් ස්ටයිල්. ඇඳුම් සපත්තු සියල්ලම ඉතාලියන්. ඒ වෙනුවෙන් යොදා ගන්න මගේම සපත්තු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. නමුත් මම එය ප්‍රසිද්ධ කරලා නැහැ. මොකද ඒ සපත්තු නිෂ්පාදනය ටිකක් මිලෙන් අධිකයි සාමාන්‍ය තැන්වලට වඩා. මම හැම වෙලාවෙම බලන්නෙ මගේ ඇඳුම්, සපත්තු, හැමදේම මටම ආවේනික කරගන්න. ඒ වගේම තැනට උචිත විදිහට ඒ ඇඳුම් සකසා ගන්නෙ මම විසින්ම තමයි.
මම කලා ක්ෂේත්රයට සම්බන්ධ නිසා අපිට නොයෙක් විදිහට වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න ලැබෙනවනේ. ඒ වගේ දේකට කතා කළාම අපි හැම වෙලාවෙම බලන්න ඕනෑ වැඩසටහනෙ ස්වභාවය. වාඩි වෙලා ද ඉන්න තියෙන්නෙ, හිටගෙන ද ඉන්නෙ, වාඩි වෙලා නම් ඒ පුටු මොන වගේ ද, ඒ හැමදේම අයිති වෙනවා මේ ෆැෂන්වලට. ඒ වැඩසටහන් බලන පිරිස් ඒ දේවලුත් බලනවා. අපිව පුංචිම දේකින් පවා විනිශ්චය කරන පිරිස් ඉන්නවා.”
හෙෂාන් මනුල කියන්නේ නිරූපණ ශිල්පියෙක්, නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්නෙ. ඒ සියල්ල එක්ක ගද්දි ලංකාවෙ ජනප්‍රිය චරිතයක්. ඉතින් ඔබව ෆලෝ කරන අය ඇති?
“ඔව්. මට මගේ ඇඳුම් නිර්මාණවලට, අඳින පළඳින විදිහට කැමැති පිරිස් ඉන්නවා. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් ඉන්නවා. මේ ළඟදී මම ටීවී වැඩසටහනකට ඩෙනිම් ජැකට් එකක් ඇන්දා. ඒ ජැකට් එක බොහෝ පිරිසකගෙ අවධානයට සහ කතාබහකට ලක්වුණා. විශේෂයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් හරහා.”
ඒ ජැකට් එක ගැන අපිටත් කියමු එහෙනම්?
“ඒ, පැච් ඩෙනිම් ජැකට් එකක්. මගේම නිර්මාණයක්. ඒ ඩෙනිම් ජැකට් එකට එම්බ්‍රොයිඩ් කරපු පැචස් තමයි ඇල්ලුවෙ. මම කළේ ඒකට මම කැමැති චිත්‍රපට, මියුසික් බෑන්ඩ්, කාටුන් චරිත, සුපර් හීරෝ චරිත සියල්ලම එකතු කරපු එක. ඒ වගේම එහි පිටුපස මගේ නම සඳහන් කළා. මගේම ඇඳුම් නිර්මාණ බොහොමයකට මම මගේ නම කොහොමත් සඳහන් කරනවා. ඒ, ‘හෙෂාන්’ හෝ ‘මනුල’ කියන නම. ඉතින් ඒ විදිහට නිර්මාණය කරපු ඒ ජැකට් එක තමයි ලොකු කතාබහට ලක්වුණේ.”
හෙෂාන්, ෆැෂන් ෆලෝ කරන කෙනෙක් ඉන්නවා ද?
“ලංකාවේ නම් මම ෆලෝ කරන කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් ලෝකේ ෆැෂන් කියන දේ එළියට දාන්නේ ජනප්‍රිය තරු හරහානෙ. නමුත් අපේ ලංකාවෙ ඒ දේ මම දකින්නෙ නැහැ. හොලිවුඩ්, බොලිවුඩ්වල වගේ නම් ඒ දේවල් සිද්ධ වෙනවා. හොලිවුඩ්, බොලිවුඩ් තරු අඳින පළඳින දේවල් සමාජගත වුණාම ඒ ෆැෂන් හොයාගෙන යන පිරිස් ඉන්නවා. ඒ ඇඳුම් පැළඳුම් ඒ විදිහටම හදා ගන්න උත්සාහ කරනවා.
නමුත් ලංකාවෙ නම් තවම ප්‍රේක්ෂකයන්ට ෆැෂන් ලබා දෙන්න උත්සාහ කරපු ජනප්‍රිය තරු නැහැ. ඒවා ඉදිරියේදී හෝ වෙනස් වෙයි කියලා හිතනවා.
මම නම් ඇත්තටම ඉතින් ෆැෂන් ගැන හොයනවා, අධ්‍යයනය කරනවා. ඉතාලි නිර්මාණකරුවන් ෆලෝ කරනවා. එරටේ නිරූපණ ශිල්පීන් බලනවා. අලුත් ෆැෂන් මොනවද ඇවිල්ලා තියෙන්නෙ බලනවා. ඒ වගේම ඒ රටේ අලුත්ම ෆැෂන් ෂෝ සම්බන්ධව හැමදේම හොයලා බලනවා. සමහර වෙලාවට ලෝකෙ එක එක කාල වකවානු අනුව ඒ කාලෙට අනුව ඇඳුම් වර්ග එළියට දානවනෙ. ඒ හැමදේම සම්බන්ධව මම අධ්‍යයනයක යෙදෙමින් තමයි ඉන්නෙ.
මම මට ගැළපෙන විදිහටනෙ ෆැෂන් කරන්න ඕනෑ. කොහොමත් මම එකම විදිහේ ස්ටයිල් එකකට කොටු වෙලාත් නැහැ. ලෝකෙ තියෙන හැම ෆැෂන් එකක්ම වගේ කරනවා. ඒ හැමදේම මට හරි යන විදිහට හදා ගන්නවා. ගොඩක් දෙනෙක් ෆැෂන් කරන්න බයයි. මොකද විවේචනයට ලක්වෙයි කියන දේ හිතනවා. නමුත් තමුන්ට ඒ සම්බන්ධව දැනුමක් තියෙනවා නම් තමන්ට ඕනෑ දේ තමයි කළ යුතු වෙන්නෙ.”
හෙෂාන්ව විවේචනය කරපු අයත් ඉන්නවා ද?
“අපෝ ඔව්. ඕනෑ තරම් විවේචන එල්ල වෙලා තියෙනවා. නමුත් මම මට ගැළපෙනවා කියලා හිතන දේ කරනවා. මම පෙර සඳහන් කරපු පැච් ඩෙනිම් ජැකට් එක කතාබහට ලක්වුණානෙ. ඒ ගැන කතා කළොත්, ඇත්තටම ඒ වගේ පැච් ඩෙනිම් ඇවිල්ලා තියෙන්නෙ ඉස්සර කාලෙ දුප්පත් මිනිස්සුන්ට. ඒ කාලෙ ඒ මිනිසුන්ට ලැබිලා තියෙන්නෙ ඉරුණු ඇඳුම්. ඒ ඉරුණු ඇඳුම මහගන්න තමයි පැච් එකක් වගේ අලවලා තියෙන්නෙ. නමුත් අද ඒක ෆැෂන් එකක් වෙලා තියෙනවා. ඒ වගේ ෆැෂන්වලට ලොකු කතාත් තියෙනවා. ඒ හේතුත් නිසා විවිධ ෆැෂන් කිරීම නිසා සමච්චලයට ලක්වෙයි කියන බයක් තියෙනවා. නමුත් බය නැතිව තමන්ට දැනෙන හැඟෙන දේ කරන්න ඕනෑ කියන එක තමයි මගේ අදහස නම්.”
ඔබ වැඩිපුරම අඳින්න කැමැති ඇඳුම් වර්ග තියෙනවා ද?
“මම නම් එක ඇඳුම් වර්ගයකට කොටු වීමක් වෙලා නැහැ. මම නිරූපණ ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් විදිහට විවිධාකාර විදිහට ඇඳුම් අඳිනවනෙ. රංගන ශිල්පියෙක් වීම නිසා චරිත අනුවත් ඇඳුම් වෙනස් වෙනවා. ඒ නිසාත් වැඩිපුර භාවිත කරනවා කියලා ඇඳුමක් නැහැ. නමුත් මම පෙර සඳහන් කළා වගේ යන එන තැන අනුව නම් ඇඳුම් වෙනස් කරනවා.
උදේ වරුවෙ බීච් සයිඩ් එකේ එහෙම ගියොත් ඒ වෙලාවට සෞම්‍ය චරිතයන්ගෙන් හෙබි ඇඳුම් තමයි අඳින්නේ. කළු පැහැති ඇඳුම් අඳිනවා අඩුයි. ඒ අවස්ථාවට පළඳින ෂූ එකත් සාමාන්‍ය එකක්.
ඒ වෙලාවට අඳින්නේ ෂෝට් එකක් වගේ. සුදු පැහැති වගේ ෂෝට් එකක් ඇන්දොත් ඇඟට දැනෙන රස්නය අඩු වෙනවා. ඒ වගේ යන එන තැන, සම්බන්ධ වන ස්ථාන අනුව මගේ ඇඳුම් පැළඳුම් වෙනස් වීමක් සිදු වෙනවා.”
ඇඳුම් මිලදී ගන්නෙ කොහෙන් ද?
“මගේම බ්‍රෑන්ඩ් එකේ ඇඳුම් තමයි ගොඩක් වෙලාවට උඩට අඳින්නෙ. කලිසම් වගේ දේවල් මිලදී ගන්නවා නම් රෙදි අරගෙන මගේම ස්ටයිල් එකකට මහගන්නවා. මම ඩෙනිම් අඳිනවා ගොඩක් අඩුයි. මොකද මට ඕනෑ කට් එක නැත්නම් මම අඳින්න කැමැති නැහැ. නැත්නම් මට අවශ්‍ය විදිහට ඒ කට් එක, රෙදි අරගෙන මගේ ටේලර්ට කියලා මහගන්නවා.
මම කැමැතිම H.N.M. කියන බ්‍රෑන්ඩ් එකට. මොකද ඒ බ්‍රෑන්ඩ් එක කැෂුවල් ක්ලෝතින්වලට ගොඩක් හොඳයි. ඒ වගේම කැෂුවල්වලට මම ගොඩක්ම පළඳින ෂූ එක තමයි ‘Converse Hike’ Brand එක. ඊට අමතරව මම කෑම්පින් කරන කෙනෙක් නිසා ඇඩ්වෙන්චර් ස්පෝට්ස් කරන නිසා ‘Timberline’ Brand එකට කැමැතියි. මම ඒ සපත්තු මිලදී ගන්නවා. ගොඩක් වෙලාවට මම සියල්ල පිටරටින් තමයි ගෙන්වා ගන්නෙ මගේ යාළුවන්ට කියලා. අවසන් වරට මම මීට අවුරුදු 3කට පෙර වගේ තමයි සංචාරය කළේ. එතැනින් පසුව මට අවස්ථාවක් ලැබුණෙ නැහැ සංචාරය කරන්න රටේ පැවැති තත්ත්වයත් එක්ක. ඒ නිසා යාළුවන්ට කියලා ගෙන්වා ගන්නෙ. යාළුවොත් මොකක් හරි ලස්සන දෙයක් දැක්කොත් මට ෆොටෝ ගහලා එවනවා, අවශ්‍ය දේවල් සම්බන්ධයෙන්. මම කැමැති නම් ඒවා ගෙනත් දෙනවා. ගොඩක් වෙලාවට තෑගි විදිහට තමයි ඒවා මට ලැබෙන්නේ.
ඒ වගේම මම ඇඳුම්වලට අමතරව ගොඩක් හිතන දෙයක් තමයි කැප් පැළඳීම සම්බන්ධව. මම කැප් මිලදී ගන්නෙ ‘New ERA’ නිෂ්පාදන ආයතනයෙන්. එහි මිල අධිකයි. සාමාන්‍යයෙන් රුපියල් 10,000-20,000 අතර මිල ගණන්වලටත් කැප් තියෙනවා. එහි ප්‍රමිතිය ඉතා හොඳයි. මුහුණෙ හැඩයට හැමදේම ගැළපෙන විදිහට තියෙනවා.
මම කැමති නැහැ කොණ්ඩෙට වද දෙන්න. කොණ්ඩෙට හෙයාර් ස්ටයිල් හැම වෙලාවකම දාද්දි ස්වාභාවික කොණ්ඩය විනාශ වෙනවා. ඒ නිසා මම සාමාන්‍ය ගමනට වැඩිපුර කැප් භාවිත කරනවා. මගේ ළඟ වෙනම කැප් වර්ග එකතුවක් තියෙනවා.
ඒ වගේම වැඩිපුරම තවත් භාවිත කරන්නෙ ඔරලෝසු. ඒවගෙත් වර්ග කිහිපයක් තියෙනවා. ඇඳුම්වලට ගැළපෙන විදිහට ඔරලෝසු පළඳින අවස්ථාත් තියෙනවා. ඔරලෝසු පළඳිද්දි මම වැඩිපුරම බලන්නෙ ප්‍රමිතිය සහ කල් පැවැත්ම තමයි. මේ වෙද්දි මම භාවිත කරන ඔරලෝසු 6ක් තියෙනවා. ඒවා මම අඳින ඇඳුම් අනුව යොදා ගන්නෙ.”
මිල අධික භාණ්ඩ පමණ ද හෙෂාන් භාවිතයට ගන්නෙ?
“අනේ නැහැ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ෆැෂන් ගැන දන්නවා නම් හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට දෙයක් දැක්කම ගෙදර තියෙන දේවල් යොදාගෙන පුළුවන් තමන්ට හරි යන විදිහට ඒවා හදා ගන්න. වැඩේ නිර්මාණාත්මක වෙන්නයි ඕනෑ. ෆැෂන් කරනවා නම් අපි හැම වෙලාවෙම නිර්මාණාත්මක වෙන්න ඕනෑ සහ ඒ සම්බන්ධව අධ්‍යයනය කරන්න ඕනෑ.
විශේෂයෙන්ම කියන්න ඕනෑ, ඇඳුමක් ගන්න යද්දි අපි ඒ ඇඳුම මිලදී ගන්නට පෙර නිවසින් පිටත්ව යාමට පෙර බලන්න ඕනෑ නිවසෙ තියෙන ඇඳුම්වලට ගැළපෙන විදිහේ ඇඳුම් තෝරා ගැනීම සම්බන්ධයෙන්. ළඟ තියෙන කලිසමකට හෝ ෂර්ට් එකකට, බෙල්ට් එකකට, සපත්තු දෙකකට ගළප ගන්න සැලසුම් කරගෙන ගියොත් ඒ තුළින් මුදල් වගේම කාලයත් ඉතිරි කරගන්න පුළුවන්.”
ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්