ලංකාව දාලා කොහෙවත් යන්නේ නැහැ
නූතන ලාංකේය සංගීත ක්ෂේත්රය තුළ අපූරු සලකුණක් තැබූ ඇය උමාරියා සිංහවංශයි. විවිධ භාෂා ශෛලියන්ගෙන් ගී ගැයීමට විශේෂ දක්ෂතාවයක් ඇති උමාරියා පිළිබඳ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආදරයෙන්, අවධානයෙන් තව තවත් ඇයව ඇද බැඳ ගත්තේ පසුගියදා වනිතාභිමානි වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලැබීමත් සමඟිනි. මෑත යුගයේ සංගීත ක්ෂේත්රයේ මහ පෙරළිකාර ඒ හඬ පෞරුෂය උමාරියා සඳැල්ල සමග කළ කතාබහකට එකතු වූයේ මෙලෙසිනි.
උමාරියා කොහොමද ජීවිතේ?
කලා කටයුතු එක්ක මේ දවස්වල ගොඩක්ම කාර්යබහුලයි. පසුගිය දවස්වල ප්‍රසංග කිහිපයකට ඕස්ට්‍රේලියාවේ ගිහින් සති කිහිපයක් ඉඳලා තමයි ලංකාවට ආවේ. ඒ අතර මගේ ‘නානේ’’ ගීත ඇල්බම් එකේ වැඩ කටයුතුත් සිද්ධ වෙනවා.
කොරෝනා අභියෝගයටත් පසුගිය කාලේ උමාරියාට දරුණුවට මුහුණ දෙන්න වුණා නේද?
මුලින්ම ලංකාවේ ඉද්දි පසුගිය සැප්තැම්බර් මාසේ කොරෝනා හැදුනා. ඊට පස්සේ මම ප්‍රසංගයට ගියා. මොකද අපි දෙන්නා කොරෝනා කාලේ රටවල් දෙකේ හිරවුණා. දිමිත්‍රි මගේ සැමියා හිටියේ ප්‍රංශයේ, මම හිටියේ ලංකාවේ. සති කිහිපයකට සැමියා ළඟට ප්‍රංශයට ගිය වෙලාවේ එහෙදි මට ඔමික්‍රෝන් හැදුනා. සති දෙකෙන් ලංකාවට එන්න ගිය ගමන මාසයක් විතර ඉඳලා ජනවාරි අන්තිමට තමයි ලංකාවට ආවේ. අම්මෝ ඒක නම්... හරිම වේදනාත්මක දුෂ්කරම කාලයක්. ඒ කොරෝනා අමාරුකම් කොරෝනාවෙන් පසුවත් විටින් විට පීඩා දෙනවා.
පසුගියදා ඔබ ලංකාවේ ජනප්‍රියතම කාන්තාව බවට පත්වෙනවා. එදා හදවතට දැනුන හැඟීම මොන වගේද?
එදා දැනුන සතුට නම් කියලා නිම කරන්න බැහැ. ඒ වගේම මගේ තාත්තාට ලස්සන උපන්දින තෑග්ගක් දෙන්න ලැබුණා. ඒ ආදරේට ලාංකික ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට හිස නමා ආචාර කරනවා. මගේ රටේ ජනතාව නිරන්තරයෙන්ම මට ලබා දෙන කරුණාව සහ ආදරය ගැන මම සැබැවින්ම කෘතඥ වෙනවා. ඇත්තටම කලා ජීවිතේ පටන්ගත් දවසේ ඉඳලා ප්රේක්ෂකයන්ගෙන් ලැබුණු ඒ ආදරය පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. ඒ සම්මානය මට විතරක් ලැබුණු එකක් නෙමෙයි. ලංකාවේ ඉන්න හැම කාන්තාවක් වෙනුවෙන්ම ලැබුණු සම්මානයක් මේක. ඒ නිසා ඒ ඇගයීමට නිහතමානීව ආඩම්බර වෙනවා.
‘‘නානේ’’ අලුත්ම ගීතය ගැන කතා කළොත් ඇයි මේ වගේ වෙලාවක ගීතය රිලීස් කරන්න හිතුවේ?
මන්ද පමා ගීතයෙන් පස්සේ මම කරපු ලොකුම සින්දුව තමයි ‘‘නානේ’’ ගීතය. ඇත්තටම ලංකාවේ වෙන දේවල් එක්ක... ජනතාවට මූණ දෙන්න වෙලා තියෙන මහා ඛේදනීය තත්ත්වය එක්ක මගේ රටේ මිනිස්සු ඉන්නේ හරිම කලකිරීමෙන් සහ වේදනාවෙන්. සංගීතය කියන්නේ මනස නිවන්න පුළුවන් හොඳම බෙහෙත. මිනිසුන්ගේ පීඩනය පොඩි වෙලාවකට හරි නිවන්න තමයි මම මේ වෙලාවේ නානේ ගීතය රිලීස් කරන්න තෝරගත්තේ.
‘නානේ’ කියන්නේ උමාරියාගේ තවත් අලුත් අත්හදා බැලීමක්ද?
ඇත්තටම මම හරිම ආසයි අලුත් දේවල් කරන්න. මන්ද පමා සින්දුවට පිඹුරෙක් ගෙනාවා. නානේ ගීතයට අශ්වයෙක් ගෙනාවා. මම ආසයි අභියෝග භාර ගන්න. නානේ ගීතයත් සංගීතවත් කළේ දමිත්‍රි මගේ සැමියා. පද මනුරංගගෙන්. වීඩියෝ කළේ පසිඳු පතිරණ. නර්තන වින්‍යාසය සුපුන්ගෙන්.
ඒත් අදටත් ප්‍රේක්ෂක මනස තුළ ඉහළින්ම තියෙන්නේ මන්ද පමා නේද?
ඔව්... අදටත් ඒ ගීතයට තියෙන ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ. ඒත් ඇත්තටම කතාව මන්ද පමා ගීතය කවදාවත් Trending ආවේ නැති ගීතයක්. ඒත් දැනට ඒ ගීතයට මිලියන 23 පසුකරලා Views තියෙනවා. මන්ද පමා කියන්නේ වෙනම ලෙවල් එකකට ජනප්‍රිය වුණු තාමත් නොඅඩුව ආදරය ලැබෙන ගීතයක්.
උමාරියා දැන් ක්ෂේත්රයට ඇවිත් කොච්චර කාලයක්ද?
මම ක්ෂේත්රයට ඇවිත් දැන් අවුරුදු 17ක් වෙනවා. මගේ කලා ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත් මට මාර සතුටක් දැනෙන්නේ. මොකද මට විවිධ ගීත කියන්න ලැබිලා තියෙනවා. විවිධ අත්හදාබැලීම් කරන්න අවස්ථා ලැබිලා තියෙනවා. සුබ අසුබ කාල සියල්ල විඳගෙන තමයි මේ ගමන ආවේ. ඒවාගේම සුන්දර වගේම අසුන්දර තැන්වලටත් මම ජීවිතේ නොසෑහෙන්න මූණ දීලා තියෙනවා.
ඔබේ කකුලෙන් අදින්න උත්සාහ කරන සෑම තැනකදිම උමාරියාව අල්ලාගෙන හිටපු ශක්තිමත් බැම්ම කවුද?
මගේ පවුල සහ මගේ සැමියා දමිත්‍රි. විශේෂයෙන් මගේ අම්මායි, තාත්තයි ජීවිතේ පරිස්සම ගැන, දරාගැනීම් ගැන කියලා දුන්නා. මම කඩාවැටුණු හැම මොහොතෙම මගේ පවුලේ අය මගේ යාළුවෝ වගේම ක්ෂේත්රයට ආ දවසේ ඉඳලා මාත් එක්ක මුළු ප්‍රේක්ෂකාගාරයම හිටියා. කටුක සිදුවීම්වලට මුහුණ දුන්නත් එය මට නොදැනෙන්නේ මට ආදරය කරන ලොකු මිනිස් පවුරක් මා වටා ඉන්න නිසයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.
විවේචන දෝෂාරෝපණ මුලදි මට දරාගන්න අමාරු වුණා. මානසිකව වැටුණා. ගෙවා දාන්න අමාරු සමහර කාලවල් තිබුණා. ඒ අවස්ථාවලදි මට හිටපු ලොකුම ශක්තිය තමයි මගේ පවුල සහ ප්‍රේක්ෂක ආදරය. ප්‍රශ්න බාධක ඉහේ කෙස් ගානට එද්දි මම ඒවා එක්ක හැප්පෙනවට වඩා මම ශක්තිය ගත්තේ මගේ ගමන යන්න. මම කොතැනකදිවත් මගේ ගමන නතර කළේ නැහැ.
ඔබට ඔබ ගැන හැඟෙන්නේ කොහොමද?
මම ගොඩක් සංවේදී කෙනෙක්. නිතරම පැත්තකට වෙලා ඉන්න ආස කෙනෙක්. මට මහා ලොකු හීන නෑ. මම බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්. මම ගොඩක්ම කැමති සැමියා ගෙදර අය එක්ක කාලය ගත කරන්න.
ඇත්තටම ඔබ ජීවිතේ සතුටින්ද?
ඇත්තටම දැන් මම හරිම සතුටින් ජීවත් වෙන්නේ. මොකද අසීමිත මිනිස් පවුරක් මා වටා ඉන්නවා. මම යන්නේ සතුට පස්සේ විතරයි. මට ඔය ලොකු ලොකු දේවල් වැඩක් නැහැ. දමිත්‍රි මගේ ජීවිතේට ආපු දවසේ ඉඳලා මම සතුටින්.
ප්‍රංශ කුමාරයා එක්ක ගත කරන ජීවිතේ කොහොමද දැනෙන්නේ?
මම ක්ෂේත්රය ඇතුලේ මොන ලෙවල් එකක හිටියත් මගේ ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ සැමියාට සහ මගේ පවුලට. දමිත්‍රි මායි හරිම සතුටෙන් ජීවිතේ ගත කරනවා. ඔහු මගේ වෘත්තියට ලොකු සහයෝගයක් දෙනවා. ඔහු මගේ ගමන ගොඩක් හොඳින් තේරුම් ගත්ත කෙනෙක්.
හැම සාමාන්‍ය ගැහැණියකට පොදු සිතුම් පැතුම් ඔබටත් ඇති?
අනිවාර්යයෙන්ම. අපි විවාහ වෙලා අවුරුදු 4ක්. මාත් ආසයි දරුවෝ ලබලා සතුටින් ජීවත් වෙන්න. මම දරුවන්ට හරිම ආසයි. දරුවොත් එක්කම ඉන්න අම්මා කෙනෙක් වෙන්න මමත් ආසයි. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවි. ඒ බලාපොරොත්තු ඒ ඒ කාලය අනුව ඉටු වේවි.
දමිත්‍රි ඔබේ සැමියා ප්‍රංශ ජාතිකයෙක්. මෙහෙම ගිහින් අපේ උමාරියාත් ප්‍රංශයට සින්න වේවිද?
අපෝ නැහැ. ලංකාව කියන්නේ මගේ මහ ගෙදර. ලංකාව දාලා යන්න මම හීනෙන්වත් හිතලා නැහැ. මගේ රටේ මිනිස්සු ගැන මේ වෙලාවේ මම ඉන්නෙත් හරිම වේදනාවෙන්. මම මගේ රට දාලා කොහෙවත් යන්නේ නැහැ. කොරෝනාවෙන් පස්සේ රටවල් සාමාන්‍ය අතට පත්වුණු ගමන් දමිත්රිත් ලංකාවට පදිංචියට ආවා. මගේ සැමියා ඉන්න තැන තමයි මට මගේ ගෙදර.
නදීශා අතුකෝරළ / සජීව ලක්ෂාන්