ලංකාව ඇතුළේ බර දෙයක් නොවුවත් ලංකාවේ ජොබ් වලින් මට නම් හොඳම ජොබ් එක නළුකමයි
මේ තරුණ රංගන ශිල්පියා හොඳින් පාසල් අධ්‍යාපනය කළ කෙනෙක්. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් කිව්වොත් හරි. පරිපාලන සේවා විභාගය පවා සමත් වූ කෙනෙක්. කැලණි සරසවියෙන් අධ්‍යාපනය ලබා උපාධිය ලබා ගත් අයෙක්. එහෙත් අද දවසේ ඔහු අපට නිරතුරු හමුවන්නේ රංග ශිල්පියෙකු ලෙසයි. එලෙසින් ඔබට හමුවන අලුත් මුහුණක් නොවූ ඉෂාන් මෙන්ඩිස් සමඟ අපි පිළිසඳරකට එක්වෙමු.
ඉෂාන් මේ දිනවල නාට්‍ය කීපයක රඟපානවනෙ. ඒ චරිත ගැන එකින් එක කියමු?
බන්ධනා නාට්‍යයේ සුනන්ද නමැති චරිතය රඟපාන්නේ. කාර්යාලයක සේවකයෙක් ඒ සේවකයා ඒ කම්පැනිය අයිති පවුල එක්ක බොහොම හිතවත්. ඒ නිසා කම්පැනිය ආරක්ෂා කරන්න ඒ පවුලට උදවු කරන කෙනෙක්. කළම්බු (Once Upon a Time) නාට්‍යයේ මගේ චරිතයේ නම රාජු. පාතාලයට සම්බන්ධ කෙනෙක්. වාසි පැත්තට පැන – පැන තමුන්ගේ වැඩේ කර ගන්න උත්සාහ ගත්ත චරිතයක්. මාණික්කාවත නාට්‍යයේ රඟපාන්නෙ ඒ චරිත දෙකට වඩා වෙනස් චරිතයක්. මාණික්කාවත කතාව ගලා යන්නේ පරම්පරා කීපයක් වටා. ඒ පරම්පරා කීපයේ අවසාන පරම්පරාවට අයත් චරිතයක්. මැණික් බිස්නස් කරන ඒ මැණික් පරම්පරාව රැකගෙන යන අවසාන පුරුක. ඒ චරිතයේ නම සිරිනයන. ඊළඟට ශක්ති නාට්‍යයේ මම රඟපාන්නේ අසේල නැමැති චරිතයක්. ඒ කතාවේ ප්‍රධාන භූමිකා අතරින් පොඩි දරුවකුගේ තාත්තා ලෙස රඟපාන්නේ. හිත ළඟ හිනැහුණා නාට්‍යයේ රඟපාන්නේ ඩොක්ටර් කෙනෙක්ගේ චරිතයක් එයාගේ නම ජයන්ත. පවුලේ ගැටුම් නිරාකරණය කරන්න උත්සාහ ගන්න චරිතයක්.
එච්චරද?
දැනට විකාශය වෙන්නේ එච්චරයි.
මේ විදියට ඉෂාන් රඟපාන චරිත රැගත් නාට්‍ය කීපයක් එකවර විකාශය වන්නේ පළමු අවස්ථාවටද?
මීට කලින් නාට්‍ය හතක් විකාශය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දිනවල ඉෂාන්ගේ ජීවිතය මල් හතයි. මල් හතක් වගේ නම් නැහැ. ඒත් කාලය කළමනාකරණය කරගෙන වැඩ ටික කරගෙන යනවා.
ඉෂාන් රඟපෑමට අමතරව ආයතනයක නිලධාරියකු ලෙසත් සේවය කරනවා නේද?
ඔව්.
ඒ කාලයේ ඉෂාන්ට තිබුණු නිශ්චිත අරමුණ මොකක්ද?
කැම්පස් යද්දී පවා මගේ ආසාව තිබුණේ කලාවට. රාජ්‍ය පරිපාලන සේවා විභාගය සමත් වෙලා ඒකත් අත්හැරලා රඟපෑමට ආව කෙනෙක්.
අපරාදේ දිසාපති කෙනෙක් වෙන්න තිබුණු අවස්ථාව මගහැරගෙන නේද?
කලාවට හිත ගිහින් තිබුණු නිසා ඒ ගැන උනන්දුවක් - ආසාවක් ඇතිවුණේ නැහැ. මම ආස හරි සරලව හරි සාමාන්‍ය විදියට ජීවත් වෙන්න. වගකීම් බොහෝ ඇති රස්සාවක් තෝරා ගත්තොත් ඒ රස්සාවට සාධාරණයක් කරන්නට ඕනෑ. ඒත් කලාකරුවා කියන කෙනා එහෙම වගකීම් ගොන්නක් ඔලුවෙ තියාගෙන වැඩ කරන කෙනෙක්ට වඩා තමුන්ගේ දක්ෂතා එක්ක තවත් පිරිසක් සතුටු කරවන කෙනෙක්. වෙනත් රස්සා කරද්දී ඔලුවට ලොකු බරක් දැනෙන්නේ. ඒත් කලාව කරන කෙනාගේ ඔලුව බොහොම නිදහස්. ඒ සරල බවට මම ආසයි.
කොහොම වුණත් අම්මා තාත්තාගේ කැමැත්ත දරුවෝ ඉහළ රස්සාවක් කරනව බලන්නනේ ඉතින් ගෙදර අය මේ ගමන යනවට කැමති වුණාද?
ඇත්තම කිව්වොත් ගෙදරින් කළ උනන්දුව නිසාම තමයි රාජ්‍ය පරිපාලන සේවා විභාගය පවා කළේ. ඒත් එදා ගෙදරින් එච්චරම අකමැති වුණත් කලා කරුවකු ලෙස මම ගෞරවයක් ලබද්දී ඔක්කෝමලා සතුටු වුණා. ඒක එයාලත් ගෞරවයෙන් පිළිගත්තා. දැන් මට ගෙදරිනුත් ෆුල් සපෝට්.
ඉෂාන්ට මිනිස්සු අමතන්නේ මොන විදියටද?
එක එක කාලවලදී ඒ ඒ චරිතයට අදාලව තමයි මට කතා කරන්නේ. ඇත්තම කිව්වොත් සමහරු මගේ සැබෑ නම පවා නොදන්නා තරම්. මට වඩා මම රඟපාන චරිත ජනප්‍රිය වීම ඒකට හේතුවයි.
සරසවි ජීවිතේ මතකයන් කොහොමද? විශේෂිත මතකය? අරගල එහෙමත් කරන්න ඇති?
පාසල් ජීවිතයට වඩා මගේ ජීවිතේ සුන්දරම කාලය සරසවි ජීවිතයයි. කැම්පස් තේරුණාම මම හිටියේ හොස්ටල් එකේ. විවිධ භාෂා කතා කරන යාළුවෝ මුණ ගැහුණා. ඩ්‍රාමා කරන අය හමුවීම නිසා ඒ පැත්තට හිත ගියා. හැබැයි ඒවාට ගියේ නම් ගෙදර අවසරයක් නැතුවයි.
රැග් එකටත් මුහුණ දුන්නා. ඊට කළින් අපේ පාසලේ කැම්පස් ගිය අයියා කෙනෙකුත් හිටියා. එයා මුණ ගැහුණු වෙලාවක මට කිව්වේ ‘‘හොස්ටල් එකේ හිටපං’’ රැග් එකත් කාපං ඒක නරක නැහැ. පස්සේ කාලෙක හොඳ පෞර්ෂයක් ලැබෙනවා කියලයි. ඇත්තටම ඒක ඇත්ත. රැග් එකට මුහුණ දීමෙන් ජීවිතයට ගත යුතු දෙයක් තිබුණා. අපි අරගලත් කළා. හැබැයි ඉතින් දැනුවත්ව කළ ඒවා නෙවෙයි.
ජ්‍යෙෂ්ටයින් සහ කවුන්සිලයේ අය කිව්වාම අපිත් ඒවාට ගියා. කඳුළු ගෑස් කෑවා. ශිෂ්‍යයන් හැටියට එක කණ්ඩායමක් විදියට ඉන්න එපැයෑ. ඉතින් ඒ සියලු දේ හරි සුන්දරයි.
ඉෂාන්ගේ ගම
මාතර මාකඳුර අදටත් ගෙවල් එහේ තිබුණට සරසවි ආ පසු ගම මග හැරුණා. දැන් එහේ කවුරුත් නැහැ.
ඉෂාන්ගේ පවුලේ?
තාත්තා විදුලිබල මණ්ඩලයේ සේවය කළේ. අම්මා සමූපකාර සේවයේ හිටියෙ. අයියා ඉංජිනේරුවරයෙක්. මල්ලී ටෙලිකොම් ආයතනයේ සේවය කරනවා.
එතකොට ඉෂාන්ගේ ප්‍රේමය
මම විවාහකයි.
ජීවත් වෙද්දී මොන වගේ කෙනෙක්ද?
හරිම සරලයි. ටී ෂර්ට් එකයි කොට කලිසමයි. බාටා දෙකයි තිබුණාම මට ඇති. ලොකු ලොකු දේ පස්සේ හඹායන කෙනෙක් නෙවෙයි. නළුකම තියෙන්නේ චරිතවලට විතරයි. රඟපෑම කියන දේ ලංකාව ඇතුළේ බර දෙයක් නොවුවත් ලංකාවේ ජොබ් වලින් මට නම් හොඳම ජොබ් එක නළුකමයි. සාමාන්‍ය ජොබ් එකක් කරද්දී නිසි ඇගයීමකට ලක් වෙන්නේ නැහැනේ. ඒත් රඟපෑම නිසා අගැයීමට ලක්වෙනවා. රඟපෑම නිසා මම ජීවිතේ හරිම තෘප්තිමත්. ජීවිතේ මම ලැබූ හොඳම දේ රංගන වෘත්තියයි. ජීවිතය කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. ඕනෑවට වඩා ඒ ගැන හිතන්නේ නැහැ. සොබදහම රස විඳිමින් ස්වභාවධර්මයට අනුව ජීවත් වීම මගේ විදියයි. එය මානසිකවත් සැහැල්ලු වන දෙයක්.
සමහර වෙලාවට ඉෂාන් ආවේගශීලි චරිත රඟපානවනෙ සැබෑ ජීවිතයේදිත් ආවේගශීලිද?
අසාධාරණ තැන්වලදී ආවේගශීලි වෙනවා.
චරිතවලදී වගේ සැබෑවටත් චණ්ඩි පාට් දාලා තියෙනවද?
තියෙනවා, තියෙනවා. ගුටි කන්නට ගිය අවස්ථාත් තිබුණා. ඒ වගේ අවස්ථාවලදී නම් මම නළුවෙක් නේද කියන දේ මතක් වෙලා රණ්ඩුව අත්හැරලා දානවා. මම සාමාන්‍යයෙන් අතිශයින්ම සාධාරණව හිතන කෙනෙක්. බැරිම වුණොත් ආසාධාරණයේදී නම් මට කේන්ති යනවා. ඒ වෙලාවට නිකම් ඉන්නෙත් නැහැ ඉතිං. නළුවකු කියන්නෙත් සාමාන්‍ය පුද්ගලයෙක්. නමුත් ඔහු අර විදියට මේ විදියට පොෂ් විදියට හිටිය යුතුය කියලා ටැග් ලයින් එක ගහන්නේ සාමාජයයි. ඒ කොහොම කළත් නළුවා කියන කෙනා සමාජයේදී සියයට සීයක් බැරි වුණත් සියයට 50% ක් වත් ආදර්ශවත්ව ජීවත් විය යුතුයි කියලයි මම හිතන්නේ.
ඉෂාන් නළුවා විතරක් නෙවෙයි ගායන ශිල්පියෙකුත් වෙනවා නේද? ඒ ගැනත් කියමු?
මේ වන විට ගීත තුනක් කරලා තියෙනවා. එම්ටි පොකැට්, සුපිරි බඩු, අනුපාන ඒ ගීත 3යි. විවිධ තේමා යටතේ කළ ගී නිර්මාණ.
සඳුන් ගමගේ