ලංකාවේ අපේ සමහර අයට තාමත් ගැහැණු ළමයකුගේ කකුල් දෙක දැකීම මැජික් එකක්
යුරේනි නොෂිකා කියන්නෙ, බොහොම විවෘතව අදහස් ප්‍රකාශ කරන ශිල්පිනියකි. ඒ වගේම ජොලියෙන් ඉන්න කැමති නිදහස් මත දරන ශිල්පිනියකි. අපේ රටේ මිනිස්සුන්ට සෙක්ස් ඇරියර්ස් එකක් තියෙනවා. ඒකට හේතුව මේ රටේ අධ්‍යාපන ක්රමයේ ඇති හිඩැසක්, වරදක් නිසයි. කුඩා කාලයේ ඉඳලම ගුරුවරු උගන්වන්න පටන්ගන්නෙ සෙක්ස් කියන්නෙ වරදක් ලෙසයි. ඒත් ප්‍රජනන පද්ධතිය ගැන උගන්වනවා. එහෙම නම් ඒක වරදක් වෙන්නෙ කොහොමද? එහෙම වරදක් නම්? ඔබත් මාත්, ජීවත් වෙන්න බැහැනෙ. මේ විදියට වෙඩි වගේ අදහස් ප්‍රකාශ කරන යුරේනි එක්ක අපි අලුත් කතාබහකට එක්වෙමු.
යුරේනි, මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?
මේ දිනවල චිත්‍රපටයක රූගත කිරීම්වලට ලැහැස්ති වෙනවා. මේක ලංකාවේ කරන පළවැනි ෆැෂන් (විලාසිතා) ෆිල්ම් එක. ඉතින් හරි සතුටුයි, මොකද මගේ නම නිතරම විලාසිතා එක්ක රැඳුන නමක්. මේ විදියෙ චිත්‍රපට බොලිවුඩයේ, හොලිවුඩයේ නිෂ්පාදනය වෙනවා. ඒත් ලංකාවේ ඒ වගේ ෆිල්ම් එකක් නිෂ්පාදනය වන්නෙ පළමු වතාවට. ඒ නිසා ලංකාවේ අයට ඒක අලුත් දෙයක් වේවි.
ෆැෂන් ෆිල්ම් එකක් කිව්වාම, මේක මොන වගේ කතාවක්ද?
අපි අපේ රටේ ෆැෂන් හෙවත් විලාසිතා අංශය ගනිමු. එහිදී හයි සොසයිට් එකේ, ඒ කියන්නේ වඩා පොහොසත් මට්ටමේ විලාසිතා අංශයේ සිටින මෝස්තර නිර්මාණකරුවන්, මොඩල්ස්ලා, විලාසිතා ගැන ඉගෙනීමට ඇති ස්ථාන ඒවගේ අංශයක සිටින පිරිසකගේ ජීවිතය සහ ජීවන රටාවට සාපේක්ෂව නිර්මාණය වූ කතාවක්.
යුරේනි, මේ හැර රඟපෑ නිර්මාණ මොනවද?
‘නයිට් රයිඩර්‘ නමින් නිර්මාණය වූ චිත්‍රපටයේ රඟපානවා. ඒක තිරගතවීමට නියමිතයි. කළණ ගුණසේකර සමග මම එහි ප්‍රධාන චරිතයකට දායක වුණා. කසුන් පතිරණගෙ අධ්‍යක්ෂණයක්. ඒ චිත්‍රපටය තිරගත වෙනකල් ආසාවෙන් බලා සිටින්නෙ. ඊටත් අමතරව තිසර ඉඹුලාන එක්ක, ටෙලි සීරිස් එකක රඟපෑමට එක්ව සිටිනවා. ඒකත් වෙනස්ම කතාවක්. කාන්තාවකගේ ජීවිතය වටා නිර්මාණය වූ කතාවක්. පුද්ගලිකව ගත්තොත් මට හරි සතුටුයි, ඉතා හොඳ නිර්මාණ කීපයකටම දායක වෙන්න ලැබීම නිසා.
කූඹියෝ ටෙලිනාට්‍යයෙන් පසුව යුරේනි ටෙලි තිරයෙන් හමුවුනේ නැහැ නේද?
කූඹියෝවලින් පසුව රඟපෑවෙ නැහැ. රටේ පැවැති අයහපත් වාතාවරණය නිසා. නමුත් මේ අවුරුද්දෙ චිත්‍රපට, ටෙලි නිර්මාණ, මියුසික් වීඩියෝ ඇතුළු වැඩ කීපයකටම දායක වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා.
සමාජ මාධ්‍යයේ නිතරම යුරේනි ගැන පුවත් ප්‍රචාරය වෙනවා. යුරේනි ආයෙත් සෝෂල් මීඩියා කළඹයි, කියලා? ඇයි එහෙම වෙන්නෙ? ඇයි නිතරම සෝෂල් මීඩියා කළඹන්නෙ?
අනේ මං දන්නෙ නෑ, අපි කවදා මේ දූපත් මානසිකත්වයෙන් එළියට යාවිද කියලා? ලෝකයේ අද ඉතා දියුණු තාක්ෂණයකට ගිහින්. ෆිල්ම්ස් පවා බලන්න, වෙනමම ටෙක්නොලොජි එකක් ඇවිත්. එදා දුටු චිත්‍රපට නෙවෙයි, අද තියෙන්නෙ. සියල්ල ඇත්ත වූ දේ තමයි පෙන්වන්නෙ. ලෝකයේ සත්‍ය සිදුවීම් ඒ විදියට පෙන්වන්නට නම්, ඒ නිර්මාණවලට අදාළව තාත්වික යථාර්ථය තියෙනවා. ඒත් ලංකාවේ අපේ සමහර අයට තාමත් ගැහැණු ළමයකුගේ කකුල් දෙක දැකීම මැජික් එකක්. ඉතින් කොහොමද අපේ සිනමාව මෙතැනින් එහාට යන්නෙ? අපේ කලාව මෙතැනින් එහාට යන්නෙ? වැරදි විදියට බලන්න – බලන්න අපි කරන්නෙ ලෝකය එක්ක දියුණුවීමට තියෙන කලාවෙන් ඈත්වීමයි.
එතකොට ඇයි යුරේනි නිතරම එක එක ෆොටෝස් ඔයාගේ සෝෂල් මීඩියා පේජ්වලට දාන්නෙ?
අපේ වෘත්තිය එක්ක අපි නිතරම සමාජ මාධ්‍යයේ ක්‍රියාශීලී වෙන්න ඕනෑ. එතකොට තමයි, අපේ වැඩ ගැන අනෙක් අය දැනගන්නා අතරේ අපට තව තවත් නිර්මාණවලට කතා කරන්නෙ. ඒ නිසා සමාජ මාධ්‍යයේ එදිනෙදා කරන කියන දේ අපේ ෆෝන් එකෙන් ෆොටෝස් එහෙම අරගෙන දානවා. ඒවා ප්‍රොෆෙෂනල් ෆොටෝ ෂූට් නෙවෙයි. නමුත් ඒ විදියට අපි අපේ පේජ්වලට දාන ඒවා තමයි එක එක ගොසිප් සයිට් සහ සෝෂල් මීඩියා ප්‍රචාරය කරන්නෙ.
එයින් හොඳක් වෙන්නෙ නැද්ද?
මෙහෙමයි, මම මේ ක්ෂේත්රයට ආවෙම මඩකාගෙන. එදා කිඳුරංගනා රඟපාද්දි මම ඇන්දේ කොටට. ඊට පෙර ලංකාවේ ටෙලිනාට්‍යය වල එච්චර කොටට ඇඳලා තිබුණෙ නැහැ. එදා මම ඒ චරිතයෙ විදියටම තමයි පත්තරවල ෆොටෝෂූට්ස්වලට ගියේ. ටී.වී. ඉන්ටර්විව්වලට ගියේ. ඒක මට ලොකු දෙයක් වුණේ නැහැ. සාමාන්‍ය ජීවිතයේදීත් මම අඳින පළඳින විදිය ඒ වගෙයි. ෂෝර්ට් එකයි ටී ෂර්ට් එකයි ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. නමුත් ලංකාවෙ අයට ඒක අලුත් දෙයක් වුණා. අන්න ඒ වෙලාවෙ මම හිතුවෙ, මේ මැජික් එක්ක වෙච්ච දේ වෙනස් කළ යුතුයි කියලයි. එතකොට ඊළඟ පරම්පරාවෙ අයට හරි ආත්ම විශ්වාසයෙන් යම්කිසි නිර්මාණයකට දායක වෙන්න ඒක පාලමක් වේවි කියලා හිතුවා. එළියෙදි මම හරි සිල්වත් ගුණවත්, තැන්පත් කියලා වෙනම චරිතයක් පෙන්වන්න මට ඕනෑවුණේ නැහැ. මොකද මම මා ගැන දන්නවා මම කවුද කියලා? ඒ නිසා වෙන කාවත් ඉදිරියේ බොරු රඟපෑම් කරන්න එදා මට ඕනෑ වුනේ නැහැ.
යුරේනි කිව්වනෙ ඔබ ඔබ ගැන දන්නවා කියලා? ඉතින් ඔබ කවුද? ඔබට හැඟෙන විදියට?
යුරේනි නොෂිකා කියන්නෙ මේ ක්ෂේත්රයට ඇවිත් බොහෝ දේ වෙනස් කළ කෙනෙක්.
මොනවද කළ ඒ වෙනස්කම්?
විශේෂයෙන්ම විලාසිතා. ඒක ක්ෂේත්රයට අද ඇවිත් සිටින සමහර යෞවනියන් වගේම එදා සිටි යොවුන් ගැහැණු ළමුන් මාව අනුගමනය කළවග මම දන්නවා. ඒ ළමුන්ට එදා ෆැන්ටසි එකක් තිබුණා. ඒ නිසා තමයි අද එයාලත් ජනප්‍රිය වෙලා ඉන්නෙ. මේ ෆීල්ඩ් එකේ සමහර අය අතර මම රෝල් මොඩ්ල් එකක්. (ආදර්ශය කරගත් චරිතයක්) ඒත් එයාලා ප්‍රසිද්ධියේ ඒක කියන්න පැකිලෙනවා. ඒ කාලයේ ඉඳලාම මම මේ ෆීල්ඩ් එකට ආවාම, දෙබිඩි චරිතයක් වෙලා, පෙනී සිටියෙ නැහැ. විවෘතව මම, මම විදියටම පෙනී සිටියා. තමන් නොවන කෙනෙක් නොවූ, තමන්ම තමයි කිව්වොත් හරි. යුරේනි නොෂිකා කියන්නෙ රංගන ශිල්පිනියකට වඩා මම හිතන්නෙ මම බ්‍රෑන්ඩ් (Brand) එකක්. අදටත් මට ඉල්ලුම තියෙන්නෙ ඒ විදියට ඉල්ලුමක් වටිනාකමක් හදාගත් නිසයි. මේ ක්ෂේත්රය වෙනස් කරන්න දායක වූ චරිතයක් කියලා මට හිතෙනවා.
යුරේනි, ඇන්ජලීනා ජොලි හොලිවුඩ් ශිල්පිනියට බොහෝම කැමතියි කියන්නෙ ඇයි?
එයාගේ ක්‍රියාදාම චිත්‍රපටවලට මම හරි ආසයි. ලංකාවේ කාන්තා ශිල්පිනියන් දායක වන ඒ වගේ නිර්මාණ නැති තරම්. ඒ නිසා ඇක්ෂන් ෆිල්ම්වලට ආසයි වගේම එයාගේ, ප්‍රතිරූපය ගොඩනගාගෙන ඇති විදියටත් ආසයි. ඇයගේ ජීවිත කතාවෙන් බොහෝ දේ ගත හැකියි.
ඒ ඇන්ජලීනා ජොලිනෙ? සැබෑ ජීවිතයේදී යුරේනි ජොලි චරිතයක්ද?
අනිවාර්යයෙන්ම ජොලි චරිතයක්. නැව ගිලුණත් බෑන්ඩ්චූන්, තව ගිලුණත් ඒත් චූන්. මිනිස්සුන්ට ප්‍රශ්න කරදර එනවා. ඒවා කාටත් පොදුයි. ඒ නිසා ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ගියොත්, අපට ජීවිතේ විඳින්න ලැබෙන්නෙ නැහැ. මොන ප්රශ්නය ආවත් සතුටින් ඒ මොහොත තුළ ජීවත්වෙනවා. මේ ගෙවී යන සෑම තත්ත්පරයක්ම ආයෙත් ලැබෙන්නෙ නැහැ. මම මට ලැබිලා තියෙන දේ එක්ක ජීවිතය ඒ සෑම තත්ත්පරයකදීම සතුටින් ගෙවනවා. ඉදිරියටත් එහෙමයි.
අදටත්, විවාහය ගැන හිතන්නෙ නැද්ද?
හිතනවා, විවාහය ගැන මාත් හීන දකින කෙනෙක්. ඒ වගේම විවාහය ගැන විශ්වාස කරන කෙනෙක්. විවාහය දික්කසාදයකින් කෙළවර විය යුතු දෙයක් නොවේ කියලත් මම හිතනවා. ඒ නිසා හරි කෙනෙක්, මගේ හිතට දැනෙන කෙනෙක්, මගේ ගමනට බාධා නොකරන කෙනෙක් කවදාහරි මට ශක්තියක් වේවි කියලා මම හිතනවා. යුරේනි නොෂිකාගේ සාර්ථකත්වය තියෙන්නෙම නිදහස එක්කයි. මාව කූඩු කරන්න හැදුවොත් ඒක අසාර්ථකයි. අනෙක කවදාවත් පිරිමියෙකුගෙන් කාලාබීලා ඇඳලා ඉන්න මම කැමති නැහැ. මගේ ඒ සියලු දේ වටහාගන්න සහ මගේ ජීවිතය තව තවත් සාර්ථක කරගන්න උදව් වන කෙනෙක් හමුවේවි කියලා හිතනවා. ස්වාමියාගෙන් ලැබිය යුතු මූලික යුතුකම් ටික හැර එයාගෙන් මුළු ලෝකයක් බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි මම.
සටහන - සඳුන් ගමගේ