ලාංකීය ප්‍රේක්ෂකයාට ලිංගික ශරීරයක් සම්බන්ධ තියෙන ආසාව තියෙනවා කියලා මම හිතනවා
බූරුවො වගේ කොහෙද ඕයි යන්නෙ? මෝඩ හරක්. වෙඩි තියනවනෙ මිස්? පර බල්ලො වෙඩි තියනවනෙ.
ජීවිතය යනු ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි ගමනක් නම්, ඔහු ඇය සමඟ යන්නේද එකී ගමනක්ය. ඒ ගමන මොන වගේ එකක්දැයි කියා හරියටම ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් මේ දිනවල තිරගත කෙරෙන කසුන් පතිරණ තුරුණු සිනමාකරුවාගේ ‘නයිට් රයිඩර්’ චිත්‍රපටය නැරඹිය යුතු වෙනවා. මෙම චිත්‍රපටයේ මුලින් සඳහන් දෙබස කියන්නේ මෙහි ප්‍රධාන චරිතයක් රඟපාන ඔබ හොඳින් දන්නා හඳුනන කළණ ගුණසේකර ය. දන්නවනේ මේ කළණ එහෙමත් නැත්නම් ‘කූඹියෝ’ ඩ්‍රාමා එකේ හිටපු ප්‍රියන්ත මල්ලි. මේ පිළිසඳර ‘නයිට් රයිඩර්’ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් රඟපාන ඔහු සමඟයි.
කළණ කොහොමද මේ දිනවල ටෙලිනාට්‍ය වැඩ කටයුතු එහෙම?
ටෙලිනාට්‍ය නම් මේ දිනවල කළේ නැති තරම්. ඒත් ෆිල්ම්ස් නම් තව එන්න තියෙනවා. හාරත ආසියා, ඉක්කා ඇතුළු චිත්‍රපට කීපයක් ඊට ඇතුළත්.
ඒ දිනවල රූපවාහිනියේ විකාශය වූ ‘නයිට් රයිඩර්’ (Knight Rider) නාට්‍ය මාලාව මතකද? එහි රඟපෑ ඩේවිඩ් හැසලිහෝග් මතකද?
අපේ පොඩි කාලයේදී ඒ නාට්‍යය මාලාව පිස්සුවෙන් වගේ බැලුවේ.
ඒ නයිට් රයිඩර් (Knight Rider) (වංශක්කාර ධාවකයා) නෙ. මෙදා ඔබට නයිට් රයිඩර් (රාත්‍රී ධාවකයා) චිත්‍රපටයේ රඟපෑමට ලැබීම ගැන හිතන්නෙ කොහොමද?
කසුන් පතිරණ කියන්නෙ මම සෑහෙන කාලයක ඉඳලා දන්නා කෙනෙක්. ෆිල්ම් කෝපරේෂන් එකේ පාඨමාලාව කළ කාලයේ ඉඳලාමයි එයාව දන්නේ. ඉන් පසුව අපි එකට වැඩ කළා. මේ ෆිල්ම් එක පටන් ගන්න මූලාරම්භයේ ඉඳලාම මට කැමැත්තක් තිබුණෙ. දෙපාරක් හිතන්න ඕනෑ වුණේ නැහැ. වෙනස් රසයක් තියෙන බව තේරුම් ගියා. මේ චරිතය එදා අපි පුංචි කාලයේදී නැරඹූ වංශක්කාර ධාවකයා (Knight Rider) හා සසදන්න බැහැ. ඒක ඇඟට ගන්න ගියෙත් නැහැ. රාත්‍රී ධාවකයකු සම්බන්ධ කතාවක් මේ චිත්‍රපටයේ ගලා යන්නේ. ලංකාවේ පොළොවෙන් බිහිවෙච්ච ලංකාවේ පොළොවේ මිනිහෙකුගේ හැඟීම් එළියට දාන්න ගත්ත උත්සාහයක්.
මේ චරිතයෙ ස්වාභාවය අනුව කළණට වේගයෙන් මෝටර් රථය පදවන්න වෙනවා. අපි දන්නා විදියට කොහොමටත් කළණට ළමා වියේ ඉඳලාම වාහන පදවන්න හොඳට පුළුවනි නේද? රෝද සපත්තු එහෙම දාලා ඇවිදින ත්‍රාසජනක වැඩත් පුළුවන් කෙනෙක්නේ.
ඒ කාලයේදී මම එහෙම නළුවෙක් වෙන්න හිතාගෙන වාහන පදවන්න ඕනෑය කියලා හිතුවේ නැහැ. හැබැයි අට වසරේ ඉඳලාම වාහන පදවන්න පුරුදු වුණා. තාත්තගෙ තිබුණු වාහනයක් පැද්ද වගේම අපේ මල්ලිට ට්‍රේල් බයික් තිබුණා. ඒවත් පැද්දා. ඉතින් ඔය විදියට පහු පහු වෙනකොට ට්‍රැක්ටර්, ලොරි වගේ දේ පවා පුරුදු වුණා. නොපැද්ද වාහනයක් නැති තරම්. වාහනයේ ලොකු පොඩි බැලුවේ නැහැ. ඒ දක්ෂතාව ආවේ මගේ උනන්දුව නිසයි.
මේ ෆිල්ම් එකේ මෝටර් රථය වේගයෙන් පදවන්න තිබූ නිසා වාහන පදවන්න දක්ෂ වූ ඔබට ඒ රූගත කිරීම් පහසුවක් වෙන්න ඇති?
මෙහෙමයි. චිත්රපටයකදී හෝ වෙනත් නිර්මාණයකදි මම වැඩ කරන්නේ අධ්යක්ෂවරයා කියන විදියට විතරයි. අපි හදාගත්ත ඒ විශාල කතාව එක්ක පියවරෙන් පියවරට ඉදිරියට ගෙන යන එක මගේ වගකීමයි. ත්‍රාසය භීතිය තිබුණත් මම ඒ ගැන කලින් හිතන්නේ නැහැ. වාහනය පදින්න පුළුවන් බව ඇත්ත. ඒත් ඒ ෆිල්ම් එකේ දර්ශනයට අදාළව තමයි ඒ වෙලාවේ වාහනය පැදෙව්වේ.
නයිට් රයිඩර් ෆිල්ම් එකේ චරිතයේ නම?
මිලින්ද නුවන්. එයා සාමාන්‍ය මනුස්සයෙක්. එක්තරා රාත්‍රියක සිදුවෙන සිදුවීමක් නිසා මිලින්දට ඊට මුහුණ දෙමින් ජීවිතය ගත කරන්න වෙනවා. කතාව විකාශය වෙන්නේ ඒ විදියටයි. මිලින්ද කියන්නෙ ජීවිතේ සිහින ටිකක් තියාගෙන ජීවත් වන තරුණයෙක්. විවාහ වෙලා, ඊට පස්සේ අම්මාව පරිස්සම් කරගන්න වගේ හීන තමයි එයාට තියෙන්නේ.
මේ ෆිල්ම් එකේ, ලිංගික ජවනිකා තියෙනවා. අපේ රටේ හැටියට කිව්වොත් වැඩිහිටියන්ට පමණයි වගේ දර්ශන. මොකද හිතන්නේ ඒ ගැන? ලාංකීය සමාජයට මේ වගේ දර්ශන තවමත් කුතුහලයක් නේද?
ලාංකීය ප්‍රේක්ෂකයාට ලිංගික ශරීරයක් සම්බන්ධ තියෙන ආසාව තියෙනවා කියලා මම හිතනවා. ඒක කාටත් පොදු එකක් වෙන්න පුළුවන්. ඒකට හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධව පොඩි කාලයේ ඉඳලා විධිමත් අධ්‍යාපනයක් ලබා නොදීම. ඒ නිසාම ඒක මැජික් එකක් වෙලා. අපි හිතමු ගෙදරකට මොකක් හරි භාණ්ඩයක් ගෙනැල්ලා ඒක රෙද්දකින් වහලා තියෙන්නේ කියලා. එතකොට ඒක ඇරලා - ලිහලා බලන්නනේ හිතෙන්නෙ. හැබැයි ඕක විවර කරලා පේන්න තිබුණා නම් ඒ කුතුහලය නැහැ. කොහොම වුණත් මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන විදියට දර්ශන ඇතුළත් මිසක්, අනවශ්‍ය විදියට බලහත්කාරයෙන් ඒ දර්ශන ඇතුළත් කරලා නැහැ.
මේ රටේ පවතින තත්ත්වය එක්ක මේ ෆිල්ම් එක නැගල යාවිද? ඒ විදියට ප්‍රේක්ෂකයාට අල්ලලා යන්න හේතුවක් තියෙනවද?
ඇත්තටම හේතුවක් තියෙනවා. ලංකාවේ මේ වනවිට චිත්‍රපට නැරඹීමේ සහ නැරඹීමට තරම් ආසා හිතෙන චිත්‍රපට නිර්මාණය වෙමින් පවතිනවා. ඒක හොඳ දෙයක්. පසුගිය කාලයේ ආපූ මෝටර් බයිසිකල්, නයිට් රයිඩර් සහ තව ඉස්සරහට තවත් ආසාවෙන් නරඹන්න තරම් හිතෙන ෆිල්ම්ස් එන්න තියෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකයාටත් මේ වගේ වෙලාවක සිනමාව එළියට ගැනීමේ වගකීමක් තියෙනවා කියලා හිතෙනවා. ලංකාවේ සිනමාවට මේක නැවුම් කෘතියක්. ඒ නිසා බලන බලන කෙනා කට වචනයෙන් හරි තව පිරිසකට කීම නිසා හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදේවි.
කළණගෙ ජීවිතයේ විශේෂයෙන්ම සිනමා ජීවිතයේ ස්වර්ණමය කාලය නේද ඉදිරියට එන්න තියෙන්නේ කියලා කිව්වොත්?
මම එහෙම හිතනවා. ඒත් කොහොමද වේවිද දන්නේ නැහැ. මොකද මම මුලින්ම චිත්‍රපටයක රඟපෑවේ 2013දි. ඒකේ නම ‘භෞතිකවාදියා’. සාෆ් සහ ජර්මන් උළෙලවලදී සම්මාන ගත්තත් ඒක තවම තිරගත වුණේ නැහැ. ඒ වගේ දහයක් 12ක් එන්න තියෙනවා. මගේ විතරක් නෙවෙයි තවත් අයගේ ඒ විදියේ නිර්මාණ තියෙනවා. නමුත් මේ රටේ පවතින ස්වාභාවය එක්ක හරි විශ්වාසයක් තියා ගන්න බැහැ.
අද ‘නයිට් රයිඩර්’ නරඹද්දි කළණ රඟපෑ චරිතය දිහා බලද්දි ඇති වුණේ මොන වගේ හැඟීමක්ද?
චරිතයක් රඟපාද්දි මම ඒක මුළු සිරුරටම අරගෙන මගේම කරගෙන ඒ චරිතයේ ජීවත් වෙනවා. ඒ නිසා ඒ කළ දේ ගැන පසුතැවීම් වෙන්නෙත් නැහැ. ආයේ හිතන්නෙත් නැහැ. ඒත් මම රඟපෑ චරිතයක් නරඹද්දි ඒ වෙලාවට මම හරි ටෙන්ෂන් (ටිකක් කලබල ස්වාභාවයක්) එකක් තියෙන්නේ. පුදුමෙ කියන්නේ ඒක කොච්චර නම් ටෙන්ෂන් එකක්ද කිව්වොත් කකුල් පවා වෙව්ලන්න ගන්නවා. ඒත් තව චුට්ටක් මීට වඩා හොඳට මේ චරිතය කරන්න තිබුණනේ කියන හැඟීම ඒ එක්කම දැනෙනවා.
ඉතින් කළණ, ජීවිතේ කොහොමද කියලා ඇහුවොත්?
ජීවිතේ කියන්න තරම් විශේෂත්වයක් නැහැ. ජීවිතේ ප්ලෑන් කරන්න තරම් කිසිම මට්ටමක නෙවෙයි ලාංකිකයින් ඉන්නේ. මාත් ඉන්නේ ඒ විදියටයි.
මිනිස්සු කියන්නේ නම් දැන් ලංකාවේ වෙලා තියෙන්නේ කූඹියෝ නාට්‍යයේ කතාව වගේ කියලයි. ඒක කලින්ම එළි දැක්වූ පිටපතක්ද ‘කූඹියෝ’ කියන්නේ?
ලක්මාල් ධර්මරත්න ‘කූඹියෝ’ නාට්‍යයෙන් පෙන්නුම් කළේ අපේ රටේ රෙද්දකින් වහලා තියෙන දේශපාලන භාණ්ඩය ඇරලා පෙන්නුව එකයි. මේක මේ අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ දේශපාලනය කළ අයගේ පිටපත්වලට තමයි අපි (ජනතාව) නැටවුණේ. ‘කූඹියෝ’වලින් කළේ ඒක ටිකක් එළියට අරන් පෙන්නුව එක. ඕක තමා තවත් ඉදිරියට වෙන්නෙත්.
කළණ, ඇත්තටම කළණ කවුද?
ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක්. මම කරන්නේ ලියන එක සහ රඟපාන එක. නවකතාවක්, කවි පොතක් සහ තිරපිටපත් හයක් විතර ලිවීමට දායක වුණා. ඉතින් සාමාන්‍යයෙන් කඩේ පොළේ යන, මේ දිනවල නම් බස් එකෙන් යන සරල සාමාන්‍ය කෙනෙක්.
සඳුන් ගමගේ