ලෝකයක් අහපු ගීතයක් ලියපු දුලාන් ARX



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q 'Drama queen' එක්ක දුලාන් ARX කියන නම වැඩියෙන් ඇහෙන්න අරගෙන. දුලාන්.. කතා කරමුද 'Drama queen' ගැන? 

මම මුලින්ම රැප්මල්සරා කියලා සින්දුවක් කළා. ඒ ගීතයෙන් කියවෙන්නෙ ගෑනු ළමයෙකුට හිත යන එක ගැන. ඊටපස්සේ මට සින්දුවක් කරන්න හිතුණා ගෑනු ළමයෙකුට ආදරය කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිච්ච කොල්ලෙක් ගැන. අන්න එහෙම තේමාවක් එක්ක තමයි 'Drama queen' කියන සින්දුව ලියැවුණේ. සින්දුවක් ලියද්දිම හිතේ චිත්‍රයක් මැවෙනවා මෙන්න මේ වගේ දෙයක් තමයි අවසානෙදි දකින්න ලැබෙන්න ඕනෙ කියලා. මියුසික් වීඩියෝ එකට ගන්න ඕනේ යුරේනි නොෂිකා කියන නිළියමයි කියන අදහස ආවෙත් සින්දුව ලියද්දිමයි. සින්දුව ලියලා ඉවර වුණාට පස්සේ මම යුරේනි අක්කට කතා කළා. මම මගේ අදහස කීවට පස්සේ එයා කැමති වුණා. දෙවෙනි පාර අපි හමුවුණාම මේ සින්දුවේ පොඩි කෑල්ලක් යුරේනි අක්කටත් කියන්න දෙමුද හිතුවා. එයත් ළඟදි සින්දුවක් කළේ නැති නිසා සහ රැප් එකක් නිසා එයත් ඒකට හුඟක් කැමති වුණා. මුලින්ම මගේ සෝලෝ වර්ෂන් එකක් විදිහට තිබුණ ගීතයට යුරේනි අක්කා සම්බන්ධ වුණේ ඔහොමයි. ගීතයේ සංගීතය නිර්මාණය කළේ ඩිලූ බීට්ස්. මික්ස් මාස්ටරින් ඇන්ඩ් මෙලඩි කළේ සංජුල හිමාල. 

Q වෙනස් එක එක විදිහේ ප්‍රතිචාර ලැබෙන මියුසික් වීඩියෝ එකක් කරන්න හදපු සැලසුමේ ඉඳන් ඒ ගැන කතා කරමු?

මේ මියුසික් වීඩියෝ එක යොට් එකක කරන්න ඕනෙ කියන අදහස ආවේ යුරේනි අක්කා මේකට සම්බන්ධ වුණාට පස්සේ. ත්‍රිකුණාමලයේ තමයි මියුසික් වීඩියෝ එක කළේ. අපේ කණ්ඩායම හතළිහක් විතර හිටියා. දවස් දෙකක ෂූට් එකක්. මියුසික් වීඩියෝ එකේ ඩිරෙක්ටර් තමයි නික් ලියෝස්. ප්‍රඩක්ෂන් මැනේජර් ප්‍රවීන්. කොරියොග්‍රුෆි කරපු ඔෂාන් ලියනගේ ඇතුළු හුඟ දෙනෙක් මේ වෙනුවෙන් ඇත්තටම හුඟක් මහන්සි වුණා. මාසයක් විතර මේ සින්දුව යූටියුබ් එකේ ට්‍රෙන්ඩින් වෙලා තිබුණා. මේ වෙද්දි ලක්ෂ හයකට ආසන්න පිරිසක් ගීතය නරඹලා තියෙනවා. 

Q මියුසික් වීඩියෝ එකක කාලය විනාඩි දෙක තුනක් වුණාට ඒ විනාඩි දෙක තුන පිටිපස්සෙ තියෙන මහන්සිය අති විශාලයි. ඒ මහන්සිය කොහොමද ඔබට දැනුණෙ.. ඔබ වින්ඳෙ?

මියුසික් වීඩියෝ එකේ එක දර්ශනයක් තිබුණා තව ගෑනු ළමයි දෙන්නෙක් දාලා බෝට්ටුවක. රැල්ල ටිකක් වැඩි වෙච්ච වෙලාවක එක බෝට්ටුවක් පෙරළුණා. ඒ පෙරළුණ බෝට්ටුවේ හිටපු ගෑනු ළමයි දෙන්නා ගිලුණා. එක්කෙනෙකුට පීනන්න පුළුවන්. අපි දැනගෙන හිටියේ නෑ අනෙක් කෙනාට පීනන්න බෑ කියලා. ජීවිත ආරක්ෂක දෙන්නෙක් හිටපු හින්දා ටක්ගාලා ගත්තා උඩට. ඇත්තටම මේ ගීතයේ මියුසික් වීඩියෝ එක මට ලොකු අත්දැකීමක් වුණා. මම කලින් කරපු ප්‍රඩක්ෂන්වලට වඩා ලොකු බරක් තියපු, මහන්සියක් දරපු මියුසික් වීඩියෝ එකක්. නම් වශයෙන් නොකීවට අපිත් එක්ක වගේම අනුග්‍රහය දක්වපු හැම කෙනාටම ස්තූතිවන්ත වෙනවා. 

Q ඇයි ත්‍රිකුණාමලයටම යන්න හිතුණේ?

යොට් එකක් ඕනෙ වුණු නිසා තමයි ඇත්තටම ත්‍රිකුණාමලයට ගියේ. අපිට යොට්වලට අනුග්‍රහය දක්වපු සේල් ලංකා කට්ටියගේ යොට් තිබුණේ ත්‍රිකුණාමලයේ. ඇත්තටම ඒ මියුසික් වීඩියෝ එක කරන්න ගිය ගමන අන්තිමට විනෝද ගමනක් ගියා වගේ අත්දැකීමක් වුණා. 

Q හුඟක් ප්‍රතිචාර ලැබෙන්නේ සින්දුවටද.. මියුසික් වීඩියෝ එකටද?

දෙකටම සම සමව ප්‍රතිචාර ලැබෙනවා. මියුසික් වීඩියෝ එක ගැන ඇත්තටම ලොකු කතාබහක් ඇතිවුණා. යුරේනි අක්කට බිකිනි එකක් අන්ඳලා ගත්ත දර්ශන කිහිපයක් තියෙන නිසා ඒක ටිකක් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙලා තිබුණා. අනෙක් එක මියුසික් ප්‍රඩක්ෂන් එකක් ගත්තම සාමාන්‍යයෙන් එළියට එන මියුසික් වීඩියෝවලට වඩා ඉහළ මට්ටමට ඒක තිබුණා.

Q මැණිකේ මගේ හිතේ ඔබ ලියූ ගීතයක්. එහෙත් ඒ ගීතය ඔබේ අයිතියක් කියන එක දැනෙන්නෙ කොහොමද?

චමත් සංගීත් තමයි මට මුලින් කතා කරලා කිව්වේ මෙහෙම මෙලඩි එකක් තියෙනවා. ඒකට පද ටිකක් ලියන්න කියලා. ඒ සින්දුව ගැයුවේ සතීෂාන්. හවස හතර පහ වෙලාවක තමයි චමත් ඔය මෙලඩි එක එව්වේ. ඒ වෙද්දි සතීෂාන් ස්ටුඩියෝ එකට ඇවිල්ලා හිටියා. චමත් කතා කරලා කිව්වා පද ටික ඉක්මනට එවන්න කියලා. මොකද සතීෂාන් ඇවිල්ලා තිබුණේ අනුරාධපුරේ ඉඳන්. ඒ නිසා සින්දුව කියලා එයාට ඉක්මනට යන්න වුවමනාව තිබුණා. ඇත්තටම මැණිකේ මගේ හිතේ ගීතය ලිව්වේ හරිම කලබලෙන්. විනාඩි විස්සෙන් විතර ලියලා සින්දුව යවලා පුරුද්දට වගේ මම ආයෙත් බැලුවා මේකේ වෙනසක් කරන්න පුළුවන් තැන් තියෙනවද කියලා. එහෙම දෙවෙනියට ආයෙත් මේක වෙනස් කරන්න කල්පනා කර කර ඉද්දි චමත් කිව්වා නෑ පළවෙනි එක නියමයි. ඒක අපි රෙකෝඩ් කරලත් ඉවරයි කියලා. ඊටපස්සේ චමත්ම ඉල්ලීමක් කළා මේකට රැප් එකක් කරමු කියලා. රැප් එකත් මම තමයි කළේ. මේ ගීතයේ ඔරිජිනල් වර්ෂන් එක හුඟක් ජනප්‍රිය වුණා. ලක්ෂ දහයකට ආසන්න පිරිසක් සතීෂාන් කියපු මම රැප් කරපු සින්දුව අහලා තිබුණා. පසුව යොහානි ඒ ගීතය අරගෙන ටික්ටොක් එකක් කරලා තිබුණා. චමත්ගේ අදහසක් අනුව තමයි යොහානි දාලා Cover එකක් කළේ. එය අපි නොහිතපු විදිහට ලංකාවෙනුත් එහාට හුඟක් ජනප්‍රිය වුණා. ඊටපසු Thank god කියන චිත්‍රපටයටත් ඔවුන් සින්දුව තෝරගත්තා. ඊට මම ලියපු ගීතයේ තිබුණු සිංහල වචන ටිකකුත් අරගෙන තිබුණා. මම ලියපු මැණිකේ මගේ හිතේ සින්දුව ඇත්තටම ලංකාවේ ගීතයක් නොගිය තරම් දුරකට ගියා කියලා මට හිතෙනවා. 

Q මැණිකේ මගේ හිතේ සින්දුව ඒ තරම් ආකර්ෂණයක් ලබන්න මුල් වෙච්ච දුලාන් දකින හේතු මොනවද?

චමත් සංගීත්, මම, සතීෂාන්, යොහානි, අපි හතර දෙනාම ඕක ඇතුළේ හිටියා. මේ සින්දුව ලංකාවෙන් එහාට ජනප්‍රිය වුණේ එක්කෙනෙක් නිසා කියලා මම හිතන්නෙ නෑ. මොකද ඒ ජනප්‍රියත්වය ඇතුළේ තියෙන්නෙ හැමෝගෙම මිශ්‍රණයක්. මට මතකයි ඔය ගීතයේ වචන ගැන ජැක්සන් ඇන්තනී මහත්මයා විචාරයක් ලියලා තිබුණා. එතෙනදි එතුමා කතා කරලා තිබුණා ඒ සින්දුවේ පද ගැලපීම සහ ශබ්ද යෙදෙන ආකාරය ගණ පිහිටුවා ලියා ඇති බවත් එහි රැප් එක ගැනත් කතා කරලා ලොකු අගය කිරීමක් කරලා තිබුණා. හින්දි භාෂාවේ තියෙන ඇතැම් වචන එක්ක ඒ ගීතයේ වචන මම නොදැනුවත්වම හෝ යෙදිලා තිබුණා. හින්දි භාෂාවේ වචනයක් තියෙනවා සුකුමාරි කියලා. මම ලිව්වේ සුකුමාලි කියලා. මනහාරි කියන වචනේ හින්දි භාෂාවේ තියෙන වචනයක්. අන්න ඒ වචන ඉන්දියාවේ මේ ගීතය වටා එකතු වුණා ප්‍රේක්ෂකාගාරයට ගොඩක් දැනිලා තිබුණා. මේ ගීතය මුලින්ම වෛරල් වුණේ දකුණු ඉන්දියාවේ. සති දෙකක් විතර යද්දි උතුරු ඉන්දියාවේ ජනප්‍රිය වුණා. මේ විදිහට හිතපු නැති තැනකට මේ සින්දුව ජනප්‍රිය වුණා. මට මතකයි ජනප්‍රිය වීදි වයලීන් වාදන ශිල්පිනියක් මේ ගීතය වාදනය කර මුදාහැරිය වීඩියෝ පටයත් හුඟක් ජනප්‍රිය වුණා. 

Q ලංකාවේ ගීතයක් ලියන ගීත රචකයාට කර්තෘ භාගය සාධාරණ විදිහට ලැබෙන ක්‍රමවේදයක් නැහැ. ඇත්ත කතාව නම් ඔබ ලියූ මැණිකේ මගේ හිතේ ගීතයෙන් යොහානි සෑහෙන්න මුදල් හම්බ කළා. ඇය කෝටි ගණනක් හම්බ කරපු මේ ගීතයේ පද රචකයා විදිහට ගීතය ඉපැද්දූ ඔබට ලැබුණු ආර්ථිකමය සාධාරණයක් තියෙනවද?

ඇත්තම කතාව නම් මැණිකේ මගේ හිතේ ගීතය ලියපු මට ආර්ථිකමය වශයෙන් නම් කිසිම සාධාරණයක් වුණේ නැහැ. ඒත් මම හිතනවා ඒ ගීතය මම කරපු හොඳ ආයෝජනයක් කියලා. ඒ වෙද්දි සංගීත ක්ෂේත්‍රය ඇතුළේ මටත් ලොකු නමක් හැදිලා තිබුණේ නැහැ. මම එළියට ආවේ ඒ ගීතයෙන් කියලා මට හිතුණා. ඊට පෙර ගීත කිහිපයක් මම කරලා තිබුණත් විශේෂයෙන් පද රචකයෙක් විදිහට ගමන පටන් ගත්තේ මේ ගීතයෙන් කියලා මම හිතනවා. ඒ වගේම මම සංගීත කණ්ඩායමක් හදාගන්න තැනදි මට මේ ගීතය ලොකු උදව්වක් වුණා. ඒක තමයි මේ ගීතයෙන් මට ලැබුණු ප්‍රතිලාභ. 

Q ලංකාව ඇතුළේ ගායකයට හෝ ගායිකාවට ලැබෙන ඇගයීම සහ ලැබිය යුතු අනෙක් හිමිකම් පද රචකයාට, සංගීතඥයාට සහ ගීතයට අදාළ අනෙක් පාර්ශ්වවලට නොලැබෙන ඛේදවාදකය අපි අදටත් අත්විඳිනවා. මේ ගැන දුලාන් මොකද කියන්නෙ?

ඔව්. ගීතයක් පිටිපස්සේ පද රචකයෙක්, සංගීතඥයෙක් සහ තව පාර්ශ්ව හිටියත් මතුවෙන්නේ ගායකයා හෝ ගායිකාව විතරයි. හුඟක් අය ගීතයේ රචකයා සහ සංගීතඥයා ගැන දන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. සමාජ මාධ්‍ය තුළ වුණත් ඒ සඳහන් කිරීම් තියෙන්නෙ හරිම කලාතුරකින්. පද රචකයන්ට සහ සංගීතඥයන්ට ඇගයීමක් ලැබෙන්නෙම නැති තරම්. මේ තත්ත්වය ලංකාව ඇතුළේ අපි නිතර දකින දෙයක්. මට හිතෙන්නේ ලෝකයේ බොහෝ රටවල් මෙම ඇගයීම ලබා දෙනවා. නමුත් අවාසනාවකට ලංකාවේ එවැනි තත්ත්වයක් දකින්නේ නැහැ. සංගීත ක්ෂේත්‍රයේ ඉන්න අය විතරයි බොහෝ විට සින්දුවක් ආවාම කවුරු ලියපු සින්දුවක්ද? කවුරු සංගීතය නිර්මාණය කරපු සින්දුවක්ද? කියන එක බලන්නේ. ඒත් මට හිතෙනවා මැණිකේ මගේ හිතේ ගීතය ලබපු ජනප්‍රියත්වයත් එක්ක හුඟක් අය, ඒ වගේම මාධ්‍යයෙන් සින්දුව ලියපු මම ගැනත්, සංගීතඥයා ගැනත් ටිකක් වැඩිපුර කතා කළා කියලා. ඒ සින්දුව ජනප්‍රිය නොවුණා නම් අපි ගැන කතාබහකුත් නැහැ. 

Q ගී පද රචකයෙක් වෙන්න ඉස්සර හෙද නිලධාරියෙක්. ගමනේ වෙනස කොහොමද දැනෙන්නේ?

මම හමුදා වෛද්‍ය බලකායේ අවුරුදු පහක් සේවය කළා හෙද නිලධාරියෙක් විදිහට. ඒ 2011 ඉඳන් 2016 වෙනකම්. ඊට පසු පෙට්‍රෝලියම් සමාගමේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ රුකියාව කළා. සංගීත ක්ෂේත්‍රය තුළ යම් ස්ථාවරත්වයක් හදාගන්නකම් මම රුකියා හතර පහක් කළා. මොන රස්සාව කළත් ආසාව තිබුණේ සංගීතයට. මම පටන් ගත්තේ රැප් මියුසික්වලින්. රැප් අහන, කටපාඩම් කරන පුරුද්දක් මට හිතුණා. නමුත් යුද හමුදා ජීවිතය කියන්නේ වෙනම ජීවිතයක්. ඒක ඇතුළෙදි සංගීතය වෙනුවෙන් යොදවන්න කාලයක් මට තිබුණේ නැහැ. ආසා දේ නැතුව සල්ලි හම්බ කරන තැන් නීරසයි කියලා මට හිතුණා. තවදුරටත් ඒක කරන්න බැහැ කියලා හිතුණම තමයි හැම රස්සාවකින් අයින්වෙලා සංගීතයටම ආවේ. 2017 දි මම රැප් එකක් කළා 'සෙනසුරු ඒරාෂ්ඨකේ' කියලා. ඊටපසු තවත් රැප් කිහිපයක් කළා.

Q එතකොට මුලින්ම සින්දු ලියන්න පටන් ගත්තේ කොයි කාලෙද? 

මම රූ සිරි කියලා සින්දුවක් මුලින්ම ලිව්වා. ඒකේ මෙලඩි එකක් අරාබි එකක්. ඒ අරාබි සින්දුව අහලා ඇතිවෙච්ච ආසාවට තමයි රූ සිරි ලිව්වේ. ලියලා දිමිත්‍රිට කතා කළා. මේ අරාබි සින්දුවේ සිංහල වර්ෂන් එක කරමුද කියලා. ඉතින් අවසානෙදි ඒක කළා. ඒ කාලේ මට මියුසික් වීඩියෝ එකක් කරන්න වත්කමක් නොතිබුණු නිසා ගීතය විතරයි කළේ. ඒ කාලය ටික්ටොක් වේදිකාවට කට්ටිය එකතු වෙමින් හිටිය කාලය. මගේ ගීතයේ රැප් එකේ කොටසක් ටික්ටොක් එකේ වෛරල් වෙන්න ගත්තා. මේ වෙද්දි යූටියුබ් එකේ එම ගීතය මිලියන පහක් විතර කට්ටිය අහලා තියෙනවා. මගේ පළවෙනිම ජනප්‍රිය වෙච්ච සින්දුව තමයි ඒක. ඔය ගීතයෙන් පස්සේ තමයි චමත් මාත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ. චමත් එක්ක මම කරපු ගීතය 'හිත දැවුණා' කියන ගීතයයි. ඒක රිලීස් වුණේ මැණිකේ ගීතයට පස්සෙයි. මගේ 'දකින දකින' ගීතයත් මේ වෙද්දි මිලියන එකොළහක් විතර බලලා තියෙනවා. නිලාන් හෙට්ටිආරච්චිට මම 'ලෙළෙනා' කියලා ගීතයක් ලිව්වා. ඒ ගීතය මිලියන තිස් ගණනක් අහලා තියෙනවා. ඒ ගීතයක් දකුණු ඉන්දියාවේ ටිකක් ජනප්‍රිය වුණා. ඉන්පසු දිනේෂ් ගමගේට 'නෑසුණා' කියන ගීතය මම ලිව්වා. කාංචනා අනුරාධිට සහ සුපුන්ටත් ගීතයක් ලිව්වා. සඳුන් පෙරේරාට 'නෑරම' කියලා ගීතයක් ලිව්වා. කාංචනාට මගේ කියලා නැවත සින්දුවක් ලිව්වා. නම් මතක් වෙන්නෙ නැති වුණාට ඒ වගේ මම ලිව්ව ගීත කිහිපයක්ම තියෙනවා. 

Q දුලාන්ට ගීතයක් ලියන්න පුළුවන් කියලා හිතෙන වෙලාවල් තියෙනවද?

ඔව්. ප්‍රශ්නයකින් ඉන්න වෙලාවක මට ගීතයක් ලියන්න බෑ. එහෙම ලියන්න ගත්තත් මම ඒකට ගොඩක් වෙලාව ගන්නවා. ඇත්තටම කලාව එළියට එන්නෙ ඔළුව නිදහස් වුණාම. කොහොමත් මම සින්දු ලියන්නෙ පාන්දර එක තුන වගේ නිස්කලංක වෙලාවල්වලට. හැබැයි කලබලයට ලියපු සින්දුත් තියෙනවා. මෙලඩි එකට ආසා වෙලා වචන දාද්දි නම් එහෙම ලියන්න පුළුවන්. මගේ ජනප්‍රිය වෙච්ච හැම සින්දුවක්ම මුලින් මෙලඩි එකක් අහලා ඒ මෙලඩි එකට ලියපු සින්දු. මගේ 'රැප්මල්සරා' කියන ගීතය ලක්ෂ හැත්තෑ හතරක් විතර අහලා තියෙනවා. 

Q ශ්‍රාවකයන්ගෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?

කල් ගිහිල්ලා හරි මැසේජ් එකකට මම පිළිතුරක් දෙනවා. වෙලාවකට ජනප්‍රියත්වය පෞද්ගලිකත්වයට බාධාවක් වෙනවා තමයි. ඒත් අපි මෙහෙම පවතින්නේ ඒ අයගේ ආදරය නිසා. ඒ ආදරයට මම කොහොමත් ආදරෙයි. මම කවදාවත් ඒ ප්‍රතිචාර කරදරයක් කරලා හිතන්නේ නැහැ. මගේ නිර්මාණත් එක්ක මට තව ගොඩක් දුර යන්න ඕනෙ. අම්මා තාත්තා, මගේ නංගිලා දෙන්නා මට දෙන සහයෝගය තමයි ජීවිතයේ හැමදාමත් ලොකුම හයිය. ඒ වගේම මට හුඟක් සල්ලි නැති කාලේ උදව් කරපු යාළුවෝ කවදාවත් අමතක වෙන්නේ නෑ. 

Q ලියපු සින්දුවලින් ඔබම නැවත අහ අහා තෘප්තිමත් වෙච්ච සින්දුව මොකක්ද?

මම හුඟක් ආසාවෙන් ලියපු 'රැප්මල්සරා' කියන සින්දුව තමයි මම එහෙම ඇහැව්වේ. නැත්නම් මම ලියපු සින්දු නැවත නැවත අහනවා හරි අඩුයි. ඊළඟට එන්න තියෙන සංජුල හිමාල සංගීතවත් කරපු ගීතයේ මෙලඩි එක තමයි මේ දවස්වල මම වැඩියෙන් අහ අහා ඉන්නෙ. කොහොමත් ළඟදිම මගේ තවත් සින්දුවක් අහන්න ලැබෙයි. දැන් මම සින්දුව ලියලා සංගීතයත් මමම කරලා මියුසික් වීඩියෝ එකත් කරලා සම්පූර්ණ ප්‍රඩක්ෂන් එකම මම කරලා දෙන්න සැලසුම් කරලා තියෙනවා. සමහර සින්දුවලින් මම සතයක්වත් හම්බ කරලා නැහැ. හැබැයි ඒ ගත්ත අත්දැකීම් හුඟක් වටිනවා. කොහොමත් හම්බ කරන්නම බලාගෙන කලාවට එන්න එපා. කලාව කියන දේ බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම හම්බ කරගෙන යන්න විතරක් කලාවට එන අයට පැවැත්මක් නැහැ. 

Q දුලාන් ARX.. මොකක්ද මේ නම?

මගේ ඇත්ත නම දුලාන් ද අල්විස්. මම හමුදාවේ හිටපු නිසා වෙපන්ස්වලට හරි ආසයි. ඉතාලි රයිෆල් එකක් තියෙනවා ARX නමින්. ඒ නම තමයි මම මගේ නමට දාගත්තේ, රයිෆල් එකට තියෙන ආසාව හින්දා. ඒ කාලේ මම මියුසික් කරන්නේ නැහැ. ඒත් ARX කිව්වාම මතක හිටිනවා අඩු නිසා දුලාන් කියන කෑල්ලත් දාගත්තා. 

I සංජීවිකා
I සේයාරූ - සුමුදු හේවාපතිරණ