රස්තියාදුවත් කලාකරුවෙකුට නැතුවම බැහැ
මයුර... මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල සුපුන් රත්නායකගේ ජුරාලියා ටෙලිනාට්‍යයේ වැඩ පටන් අරගෙන තියෙනවා. ඒකට සම්බන්ධවෙලා ඉන්නවා. ළඟදීම ඒ ටෙලිනාට්‍ය විකාශනය වෙනවා. ඊට අමතරව කාලයක් තිස්සේ මම මූලික වෙලා නාට්‍ය වැඩමුළුවක් පටන් ගන්න හිතාගෙන හිටියා. ඒ අනුව නාට්‍යවලට සම්බන්ධ කිහිප දෙනකුත් එකතු කරගෙන රංගන පුහුණු වැඩමුළුවක් අපි නොවැම්බර් තුන්වැනිදා පටන් ගත්තා.
රංගනයට එකතු වීම ඔයා පුංචි කාලෙ දැකපු හීනයක් හැබෑ වීමක්ද?
නැහැ. මට පොඩි කාලේ රංගන ශිල්පියෙක් වෙන හීනයක් තිබුණේ නැහැ. අඩුම ගාණේ මම පාසලේදීවත් නාට්‍ය වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. මම ඉගෙන ගත්තෙ කොළඹ වේලුවන විදුහලේ. පාසල් වේදිකාවේ රංගනයට මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම අපේ අම්මා තාත්තා නාට්‍ය බලන්න මාව එක්කගෙන ගියා. ඒ නිසාම නාට්‍ය බලන්න මගේ කැමැත්තකුත් තිබුණා. මට මතකයි නවය වසරේදී අපේ සිංහල පාඩම් පොතේ මනමේ නාට්‍ය තිබුණා. අපේ සිංහල ටීචර් පන්තියෙදි මනමේ කැසට් එක දාලා අපිට ඒක අහන්න දුන්නා. ඒකත් එක්ක නාට්‍යවලට මගේ කැමැත්ත වැඩි වුණා. උසස් පෙළ අවසාන කළාට පසුව මට රංගන ශිල්පියෙක් වෙන්නෙ කොහොමද කියලා හොයන්න ඕනෑ වුණා.
පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කෙ?
ඇත්තටම එහෙම හීනයක් තිබුණෙ නැහැ. අපේ ගෙදරිනුත් කිසිම දේකට බලපෑමක් කළේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පැත්තෙන් වැඩ කරන්න ආසා කළා. හැබැයි ඒකටත් ලොකු උනන්දුවක් තිබුණේ නැහැ.
මයුර පාසලේදි විෂය ධාරා දෙකකින්ම උසස් පෙළ හැදෑරුවා නේද?
ඔව්නෙ. මුලින්ම විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ ලිව්වා. වැඩිදුර උසස් අධ්‍යාපනයට ලකුණු මදි වුණු නිසා මම දෙවැනි වර කලා විෂය ධාරාව සමත් වෙලා විශ්වවිද්‍යාලට තේරුණා. රංගනය පිළිබඳව හදාරන්න තිබුණු ආසාව නිසාම මම දෙවැනි වතාවට කලා විෂය ධාරාව හදාරන්න තීරණය කළා.
විෂය ධාරා දෙකක් හැදෑරීම ලොකු අභියෝගයක්?
ඔව්... විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගනිමින් ඉඳිද්දී මම ඒ විෂය ධාරාවට ආසා කළා. නමුත් උසස් පෙළ පළමු වතාවට විද්‍යා විෂයන් ලියලා ඉවර වෙනවාත් සමඟම විද්‍යාව කියන්නෙ තාක්ෂණික දේවල් සම්බන්ධ වුණු විෂයක් නිසා ඊට වඩා මිනිසුන්ගේ ජීවිත, හැඟීම්, ගැන කතා කරන විෂයක් ඉගෙන ගන්න ඕනෑ කියලා හිතුණා. ඒ වෙද්දී රංගනය වෙන්නෙ කොහොමද කියන කූතුහලයක් මට තිබුණා. ඒ නිසා රංගනය හදාරන්න ඕනෑ කියලා හිතුණු නිසා උසස් පෙළ පළමුව ලියලා ප්‍රතිඵල එන්නත් පෙරම මම කලා විෂය ධාරාව හදාරන්න පටන් ගත්තා. දෙවැනි වර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ලියලා මම විශ්ව විද්‍යාලයට තේරුණා.
මේ විෂයන් දෙක මාරු කරන තීරණයට ගෙදරින් අකමැත්තක් තිබුණෙ නැද්ද?
රංගනයට සම්බන්ධ වෙන්න මගේ අදහසක් තියෙනවා කියලා ගෙදරින් දැනගනිද්දී අම්මට තාත්තට ඒ සම්බන්ධව ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. මම මොනවට හරි කැමතියි කියලා කිව්වොත් ඒකට ඉඩ දෙනවා. විරුද්ධ වෙන්නෙ නැහැ. හැබැයි “ඕවා කරලා හරි යනවද? ඉස්සරහට මොකද වෙන්නේ?” කියලා අම්මා තාත්තා කිහිප වතාවක්ම අහලා තියෙනවා. ලංකාවේ කලාකරුවන්ට ආර්ථිකය සම්බන්ධයෙන් ලොකු අවදානමක් තියෙනවා කියලා ඒ දෙන්නා දැනගෙන හිටියා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අම්මා තාත්තා තුළ යම් දෙඟිඩියාවක් තියෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ තීරණය ගනිද්දි එයාලා කිසිම වෙලාවක බලපෑමක් කළේ නැහැ. අද වෙද්දි මම රජයේ රැකියාවක් කරනවා. නමුත් මම හිතන විදියට මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්.
කලාකරුවෙක් ලෙස අද ඉන්න තැනට ඒම දුෂ්කර වෙන්න ඇති?
අම්මෝ ඔව්. මේ සම්බන්ධයෙන් බොහෝ දේ හදාරන්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. රස්තියාදු ගහන්න ඕනෑ. සමාජයත් එක්ක ගැටෙන්න ඕනෑ. ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනෑ. ඒ හැමදේම මේක ඇතුළේ තියෙනවා. ලංකාවේ කලාකරුවන්ට තියෙන පහසුකම් හරි අඩුයි. ඒත් එක්ක මේ දේවල් හැදෑරීම, මේ ඇතුළේ රැඳිලා සිටීම සෑහෙන දුෂ්කර දෙයක්.
ඔය විදියට අභියෝග එද්දී කලාවෙන් අයින් වෙලා වෙනත් රැකියාවක් කරලා ජීවත් වෙන්න හිතුණෙ නැද්ද?
නැහැ. එහෙම කවදාවත් හිතුණෙ නැහැ. වේදිකාවේ රඟපානකොට ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රතිචාර ලැබෙද්දි, වේදිකාවේ නාට්‍ය දර්ශනය ඉවර වෙලා ඉස්සරහට ගිහින් ආචාර කරනකොට ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොළසන් හඬ නැගෙද්දි, ඔල්වරසන් දෙද්දි, කලාවෙන් අයින් වෙන්න කවදාවත් හිතිලා නැහැ. අපි රඟපාන ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් බලලා යම්කිසි දෙයක් කවුරුන් හෝ විඳිනවා නම්, ඒකෙන් අපිට ඇගයීමක් ලැබෙනවා නම්, ඒ තෘප්තිය වෙන රැකියාවකින් ලැබෙන එකක් නැහැ.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම වේදිකා නාට්‍යයක් හෝ කෙටි චිත්‍රපටයක් හෝ ඒකාංගික ටෙලිනාට්‍යයක් හෝ ටෙලිනාට්‍ය මාලාවක් හෝ චිත්‍රපටයක් නිර්මාණ කරන්න කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා. අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ලොකු කැමැත්තක් තියෙනවා. ඊට අමතරව කලාව සම්බන්ධයෙන් ආයතනයක් ගොඩනගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙද්දි එවැනි ආයතනයක් ඉතා සුළුවෙන් පටන් ගත්තා. ඒක වැඩිදියුණු කරමින් ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ