රසංග වේදිකාවට අලුත් නර්තන කණ්ඩායමක් - කටාන තණ්ඩාවා
ඉදිරියේදී ප්‍රසංග වේදිකාව තුළ නිතරම දකින අලුත්ම නර්තන කණ්ඩායමක් කෙරෙහි අපගේ අවධානය යොමු වුණා. ඒ කටාන තණ්ඩාවා නර්තන කණ්ඩායම. එහි කළමණාකාරිණිය ලෙස කටයුතු කරනු ලබන්නේ තමරා කුමාරි වන අතර, ඇයද කාලයක් ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කර ඇත. එමෙන්ම ගීත රූප රචනා සහිතව ඇයගේම ගීත තුනක් මේ වනවිට එළිදක්වාද ඇත. සිය නර්තන කණ්ඩායම ගැන තමරා අපට පැවසුවේ මෙවැන්නකි.
තණ්ඩාවා නර්තන කණ්ඩායමේ ආරම්භය සිදු වුණේ කොහොමද?
මේ නර්තනය කණ්ඩායමේ ආරම්භය සිදු වුණේ මේ 2025 වසරේදී. කොච්චිකඩේ පැවති නිදහස් රාත්‍රීය ප්‍රසංගයේදී තමයි තණ්ඩාවා නර්තන කණ්ඩායම මුල් වතාවට ප්‍රසංග වේදිකාවක් තුළ නර්තනයේ යෙදුණේ. තවමත් අපි ඉන්නේ ආරම්භක අවදියේ නිසා දැනට වැඩ ගොඩක් කරලා නැහැ.
කොහොමද මේ කණ්ඩායමට නර්තන ශිල්පින් එකතු කර ගත්තේ?
මගේ දුව හා මගේ මිණිපිරියගේ යහළුවන් කිහිප දෙනෙකුගේ එකතු වෙන් තමා මේ කණ්ඩායම මුලින්ම හැදුණේ. දැනට මෙහි සාමාජිකාවන් හත් දෙනෙකු සිටිනවා. කණ්ඩායමේ නායිකාව විදිහට කටයුතු කරන්නේ මගේ මිණිපිරිය තරුෂි නෙත්මිකා. ඇය තවමත් පාසල් යනවා. වයස අවුරුදු 15යි ඇයට. අනෙකුත් සාමාජිකාවන් වන්නේ රාධිකා, ශාමලි, සරණි, දේව්මි, හරිනි, සඳලිකා, නේහාරා යන අය. නේහාරා කියන්වෙත් මගේ මිණපිරිය මෙන්ම තවමත් පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්.
නර්තන කණ්ඩායමක් හදන්න අදහස කාගේ එකක්ද?
මගේ. හැබැයි ඒකට ගොඩක්ම උදව් කළේ මගේ සැමියා ක්‍රිශාන්ත සම්පත්. ඔහුත් ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්. ගීත පටිගත කිරිමේ ස්ටුඩියෝවක් පවා මගේ සැමියට තියෙනවා. මගේ දුවට වගේම මගේ මිණිපිරියටත් හොඳට නටන්න පුළුවන්. ඒ නිසා තමයි අපි නර්තන කණ්ඩායමක් හදන්න තිරණය කළේ. සැමියාගෙත් සහය මට ඊට ලැබුණා. පස්සේ ජනප්‍රිය නිවේදන ශිල්පියෙකු වූ සන්දිප ජයසිංහ මේ කණ්ඩායමට තණ්ඩාවා කියන නම තිබ්බා. සංගීත ක්ෂේත්‍රය තුළ කවුරුත් දන්න රන්සිරි පුෂ්පකුමාර අයියා මේ කණ්ඩායම පුහුණු කරන්න නටාෂා හා චාරිකා කියන නර්තන ශිල්පිණියන් දෙදෙනා අපට සම්බන්ධ කරලා දුන්නා. ඒ එක්කම මතක් කරන්න ඕනා හිපොප් බැලේ නර්තන ඉගැන්වූ දුලාජ් හා උඩරට පහතරට නර්තන ඉගැන්වූ සෙව්වන්දි දෙදෙනාව.
එළිමහන් ප්‍රසංග සදහා පමණද ඔබේ කණ්ඩායම දායකත්වය දෙන්නේ?
නැහැ. අපි එළිමහන් ප්‍රසංගවලට පමණක් සීමාවෙලා නර්තන කටයුතු කරන්නේ නැහැ. විවාහ මංගල්‍යයන්, ප්‍රිය සම්භාෂණ උත්සව හා පෙරහැරවල් වගේ දේවල්වලටත් සහභාගි වෙනවා. අපි තවමත් අපේ ගමනේ මුලාරම්භයේ සිටින්නේ. අපි බලාපොරොත්තු වෙනවා අත්දැකිම් ලබාගෙන පරිපුර්ණව ඉදිරි කාලයේදි මේ වැඩවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න.
නර්තන කණ්ඩායම් අද විශාල ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රය තුළ අපි දකිනවා?
ඔව්, ගොඩක් නර්තන කණ්ඩායම අද නර්තන ක්ෂේත්‍රය තුළ දකිනවා. ඒ වගේම විශාල වශයෙන් මේ වනවිටත් බිහිවෙමින් තියෙනවා. මෙහෙමයි නර්තන කණ්ඩායම බිහිවුණත් බොහෝ අයගේ පැවැත්ම අඩු මට්ටමක තියෙන්නේ. හේතුව තමා කණ්ඩායම් ඇතුළේ තියෙන සහයෝගිත්වය නැතිවීම. අපේ තණ්ඩාවා නර්තන කණ්ඩායම තුළ එහෙම තරගකාරීත්වයක් නැහැ. හැමෝම එකමුතුයි. ඒ වගේම කණ්ඩායමේ ඉන්න හැමෝම එකා වගේ දක්ෂයි. ඔවුන් සහෝදරියන් වගේ සහයෝගයෙන් වැඩ කරනවා. අන්න ඒ දේ තමා වැදගත් කණ්ඩායමක රඳා පැවැත්මට. මම හිතනවා මේ පිරිසට හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා.
තණ්ඩාවා නර්තන කණ්ඩායම සම්බන්ධ කරගන්නවා නම්?
අපේ නර්තන කණ්ඩායම තියෙන්නේ කටානේ. හැබැයි අපි ලංකාවේ ඕනැම ප්‍රසංගයකට සහභාගි කරගන්න පුළුවන්. සියළු තොරතුරු 0766 383109 හා 0771 350535 කියන අංකවලට කතා කරලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ ගමන එන්න අපට උදව් කරපු කිහිප දෙනෙක් ඉන්නවා. අපි නර්තනයෙන් දායක වුණ පළමු ප්‍රසංගයට සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්න ජගත් නිශාන්ත (ඩලා අයියා) වගේම රන්සිරි පුෂ්පකුමාර හා චාමින්ද නවරත්න දෙදෙනාවත් මේ මොහොතේදි විශේෂයෙන්ම මතක් කර සිටිනවා.