රාලහාමි නිසා ආයෙමත් බුලත් කනවා, ඒත් ඒකට එයා කැමති නෑ
සමහර රංග ශිල්පීන් ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියව සිටින්නේ ඔවුන්ගේ සැබෑ නාමයෙන් නොවෙයි. මේ ශිල්පියාද එවැනි කෙනෙකි. ඔහු නමින් දුලාංජල පෙරේරාය. එහෙත් වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ නාඩගම්කාරයෝ නාට්‍යයේ රාළහාමි නමිනි. දුලාංජල සඳැල්ලට ගොඩ වූ මොහොතකි මේ.
‘රාළහාමි’ කොහොමද ඉතින්? කවුද මේ රාළහාමි?
සැබෑ ජීවිතයේ මගේ නම දුලාංජල පෙරේරා. මම ඉන්නෙ උඩුනුවර. ලංකාතිලක රජමහා විහාරයට තරමක් නුදුරින් අපි ඉන්නෙ. රබ්බේගමුව මගේ ගම.
ඒ කියන්නෙ සැබෑ ජවිතයේදීත් පංසල ඔබට නුහුරු තැනක් නොවෙයි?
ඔව් ඒ කතාව හරි. මම පංසලට බොහොම සමීපයි. හිතමිත්‍ර ස්වාමීන් වහන්සේලා බොහෝමයක් මට ඉන්නවා. ඒ ස්වාමීන්වහන්සේලා එක්ක හොඳ බැඳීමක් මට තියෙන්නෙ. පසුගිය කාලයේදී ඒ හිමිවරු පිරිසකට සහ බෞද්ධාගමික ප්‍රසංගයකට ඉන්දියාවේ කළ සංචාරයට මාවත් සහභාගී කරවා ගත්තා. ඒ සියලු දේ නිසා නාඩගම්කාරයෝ නාට්‍යයේ ‘රාළහාමි’ චරිතය කරන්නත් මට ඒ දේවල් ප්‍රයෝජනවත් වුණා.
සෑම පෝයකටම, රාළහාමි ලංකාතිලක විහාරය වඳින්න යනවා ඇති?
අපේ ගමේ පන්සලට තමයි වැඩිපුරම යන්නේ. ලංකාතිලක රජමහා විහාරයටත් ලැබෙන අවස්ථා අනුව යනවා.
මේ දක්වා ලංකාතිලක රාජමහා විහාරයට කී වතාවක් විතර ගිහින් තියෙනවද?
ගණන් කළොත් නම් කියන්න බැරි තරම්. මේ දක්වා බොහෝ වාරයක් ගිහින් තියෙනවා.
ලංකාතිලක විහාරය වඳින්න තනියම නොවෙයි යන්නෙ නේද?
අපේ අම්මා- තාත්තා, නංගි, මල්ලි සහ මම ඇතුළු අපේ පවුලේ ඔක්කෝලා වගේ යනවා. මම පවුලේ වැඩිමලා.
මොන වගේ පවුලක්ද?
සාමාන්‍ය පවුලක්. තාත්තා පුද්ගලික අංශයේ රැකියාවක් කරනවා. අම්මා නර්තන ගුරුවරියක්. මල්ලි තාක්ෂණික විද්‍යාලයක ඉලෙක්ට්‍රොනික අංශයේ හැදෑරීම් කරනවා. නංගි තවම පාසල් අධ්‍යාපනය ලබනවා. පවුලම කලාවට බොහොම ළැදි බව කියන්න පුළුවනි. සංගීත භාණ්ඩ එහෙමත් ගෙදර තියෙනවා. අපි ඉතින් හරි සතුටින් ඉන්නවා.
‘රාළහාමි’ ගමේ අය අතර ප්‍රසිද්ධ මොන විදියටද?
ගමේ අය ඔක්කෝම වගේ මා ගැන දන්නෙ ‘කසුන්’ කියලයි. අද නම් මට කියන්නෙ ‘රාළහාමි’ කියලයි. හැබැයි කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් මට කතා කරන්නෙ ‘ගමයා’ කියලයි.
ගමයා කියන්න හේතුව?
ඉස්සෙල්ලාම මම රඟපෑවෙ කෝටිපතියෝ නාට්‍යයේ. ඒ නාට්‍යයේ මට රඟපාන්න ලැබුණෙ ලංසියාවත්තේ ගමයා නමැති චරිතය. ඒ ‘ගමයා’ කියන චරිතය එක්ක කලා ක්ෂේත්රයේ, විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ හැමෝම වගේ මට ‘ගමයා’ කියන්න පටන් ගත්තා. ඒ විදියට තමයි මම ගමයා වුනේ.
එතකොට ‘කසුන්’ කියන්නෙ?
ගෙදර අය මගේ කුඩා කාලයේදි මට කතා කළේ කසුන් කියලයි. ඉතින් ගමේ අය දන්නෙත් මාව ඒ නමින්.
දුලාංජලගෙ වෘත්තිය?
දන්නා කාලයේ ඉඳලාම වේදිකාව සහ කලාව තමයි. මම නර්තන ශිල්පියෙක්. දළදා පෙරහැරේ බෙර සහ බටනලා වාදන ශිල්පියකු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපති සම්මාන පවා ලැබිලා තියෙනවා. රඟපෑමට අමතරව මේ වනවිට මම ටෙලිනාට්‍ය සහාය අධ්යක්ෂණයට දායක වෙනවා. නාඩගම්කාරයෝ නාට්‍යයේ දෙවැනි සහාය අධ්යක්ෂ ලෙස වැඩ කරන්නෙත් මම.
දුලාංජල වඩා කැමති, කසුන්, රාළහාමි, ගමයා සහ දුලා යන නම් අතරින් මොන නමටද?
දුලා කියලා තමයි මගේ යාළුවෝ වැඩි දෙනෙක් කතා කරන්නේ. මේ නාට්‍යයේ ‘දුලා’ලා හතර දෙනෙක් විතර ඉන්නවා. විශේෂයෙන් නැහැ. කොයි විදිහට කතා කළත් මටනෙ, ඒ මමනෙ.
නාඩගම්කාරයෝ, රාළහාමිට නිතරම හාමුදුරුවො මෝටර් සයිකලය පිටුපස රැගෙන යන්න වෙනවා. කොහොමද ඒ දර්ශනවලට පෙනීසිටීම පහසුද?
මම මෝටර් සයිකලය පදවාගෙන යනවාට වඩා හාමුදුරුවන්ගේ චරිතය රඟපාන රහල් අයියා පිටුපස වාඩිගෙන සිටින විදිය එක්ක තමයි සමබරතාවය රැඳෙන්නෙ. ‘රහල් අයියා ඒ වැඩේ හරියටම කරනවා. එහෙම නොවන්නට මට බයික් එක පැදගෙන යන්න බැහැ. විශේෂයෙන් කියන්න ඕනෑ දේ තමයි, රහල් අයියා මෝටර් සයිකලයක් පැද්දෙ අවුරුදු 16කට පස්සෙ. මීට 16 වසරකට පෙරදී එයා එයාගේ මෝටර් සයිකලයේ යද්දී අනතුරකට ලක්වෙලා පාදයේ අස්ථි බිඳිලා සෑහෙන කාලයක් ප්‍රතිකාර ගත්ත කෙනෙක්. ඒ නිසා එදායින් පසුව මාව විශ්වාස කරලා තමයි එයා මේ විදියට ආයෙත් බයික් එකක ගියේ. ‘තැපැල් 90’ බයික් එක පදින එක එච්චර ලෙහෙසි නැහැ. එක අවස්ථාවක හාමුදුරුවො වැටෙන දර්ශනයක් රූගත කරන්න තිබුණ. ඒ වෙලාවෙ රහල් අයියා මට උඩින් ගිහින් වැටුණෙ. මම හොඳටම බය වුණා. බයික් එක නවත්වාගෙන ඉඳිද්දි, ප්‍රභාත් අයියා, මට අණ දුන්නෙ පලයං ගිහින් රඟපාපන් කියලයි. ඇත්තටම එතකොටයි ආයෙත් මම මූඩ් එකට ආවේ. කොහොම හරි ඒ දර්ශනයෙ ෂූට් එක ‘කට්’ කියලා කිව්වාට පස්සේ හරිද මල්ලි කියලා රහල් අයියා ඇහුවට පස්සේ තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. තවත් අවස්ථාවකදි මගේ කකුල තුවාල වෙලා දවස් කීපයක් යනතුරු බෙහෙත් දාන්න සිද්ධ වුණා.
රාළහාමිට බුලත්විට නිතරම කන්න වෙනවා?
මෙහෙමයි, ඉස්සර මම ඔය නර්තන වැඩ කරද්දි බුලත්විට එහෙම කෑවා. පසුව ඒ පුරුද්ද නතර කළා. දැන් රාළහාමි නිසා මට බුලත් කන්න වෙනවා.
මේ ‘විට’ කෑම නිසා ඔයාගෙ ගැහැණු ළමයාගෙන් තහිංචි නැද්ද?
එයා නම් ඇත්තටම මම විට කනවට කැමති නැහැ. වැඩිය කන්න එපා කියලා තමයි කියන්නෙ.
රාළහාමිගෙ, නෝනාහාමි වෙන්න ඉන්න එයා ගැනත් කියමු?
ඔව් මට ප්‍රේමවන්තියක් ඉන්නවා. 2015 ඉඳලා අපි දෙන්ගෙ ඒ ප්‍රේම කතාව ගලාගෙන යනවා. මගේ අදහස්වලට ගැළපෙන ප්‍රේමයක්. ඒ කාලයේ අපි දෙන්නම හිටියෙ එකම පාසලේ. එයා සයන්ස් කරද්දි මම කළේ ආර්ට්. නමුත් ඒ කාලයේදී අපි කතා කරලාවත් තිබුණෙ නැහැ. පාසලේ උපප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටපු නිසා මම නිතරම කළේ එයාලට බැනපු එකයි. පසු කාලයකදී පාසලේ ක්‍රීඩා උත්සවයකට ආදි සිසුන් ලෙස පැමිණ සිටි අවස්ථාවක අපිට කතා කරන්න ලැබුණා. එතැනින් පසුව තමයි අපේ ආදර කතාවට මුල පිරුවෙ. ගෙවල්වලින් කැමැත්ත ඇතිව ඒ ආදරය පවත්වාගෙන යනවා.
කවදද රාළහාමි එක වහලක් යටට එන්න හිතාගෙන ඉන්නෙ?
වෙලාවට- කලාවට ඒ දේවල් සිදුවේවි.
‘දුලාංජලට’ ප්‍රේමය දැනෙන්නෙ කොහොමද?
මෙහෙමයි මම මේ ප්‍රේමයේදී බබා, මැණික, පණ, වස්තුව කියලා නම් එයාට කතා කරන්නෙ නැහැ. එයාටත් ඒ විදියට ‘මල්’ ලව් එකක් අවශ්‍ය නැහැ. සැබෑ විදියට මිසක මවාගෙන අපි ප්‍රේම කරන්නෙ නැහැ. එයාටත් මාව දැනෙනවා ඇති මටත් එයාව දැනෙනවා.
සැබෑ ජීවිතේ ‘දුලා’ කවුද?
කාටත් කරදරයක් වෙන්න කැමති නැති දක්ෂයෙක් කියලා හිතෙනවා. තව කෙනෙකුට යමක් කියා දෙන්න පුළුවන් නම් ඒ දේ ලෝබ නැතුව කියා දෙන කෙනෙක්. නිහතමානී කෙනෙක්. ඒත් අසාධාරණය නම් පෙන්නන්න බැරි කෙනෙක්.
සඳුන් ගමගේ