රාමුවෙන් පිට රහක් හොයන කාලී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැමෝම තරම් දේවල් නොකරන, වෙනස්ම විදිහට හිතලා වෙනස්ම දෙයක් කරන චරිත අපි අවට ලෝකයේ ඉන්නවා. ඒ අය ටිකක් අමුතුයි කියලා තමා පොදුවේ හැමෝටම හිතෙන්නෙ. සෑම සති අන්තයකම එහෙම චරිතයක් ගැන අපි පොඩ්ඩක් කතා කරනවා. අපි කතා කරන්නෙ ඔවුන් ගැන ලෝකය දකින විදිහ ගැන. 

“කාලී" එහෙම කිව්වාම තමා ගොඩක් දෙනා ඔහුව අඳුරන්නෙ. කාලීව යූටියුබ් මාධ්‍ය ඇතුළේ හැමෝම දන්නවා.  කාලී කියන්නෙ ටිකක් වෙනස් විදිහෙ වැඩ කරන චරිතයක්. ඇත්තට ඔහුගේ නිර්මාණ සංකල්ප නිසා තමා  අමුතු චරිතයක් වෙනස් විදිහට ලෝකෙට පෙනෙන්නෙ. 

අපි හැමෝම කාලී කියන නමින් ඔහුව දැනගෙන හිටියට ඔහුගේ සැබෑ නම  නම කලිත් යුරාන්. කාලී අධ්‍යාපනය ලබලා තියෙන්නෙ කිරුළ මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන්. සමාජ මාධ්‍ය ප්‍රතිරෑපයක් විදිහට ටිකක් වෙනස් චරිතයක් වුණත් කාලී සරල ගති පැවතුම් තියෙන කෙනෙක්.

ඔහු කාලයක් යූටියුබ් මාධ්‍ය ඇතුළේ විවිධ අත්හදා බැලීම් සිදු කරමින් සිටියා. මේ වෙනකොට ඔහු සාර්ථක වෙලා තියෙනවා. එක්තරා විදිහකට ඔහුගේ සෑම  නිර්මාණයක්ම අත්හදා බැලීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද, ඔහු තමන්ගේ නිර්මාණය ඇතුළේ අභියෝගයක් බාරගන්නවා.

මේ වෙනකොට යූටියුබ් ඇතුළේ දෙලක්ෂ තිස් දහසකට අධික රසික සමාජයක් ඔහුට ඉන්නවා. මුහුණු පොතේ ලක්ෂයක්, ටික්ටොක් මාධ්‍යයේ දෙලක්ෂ හැට දහසක් ඔහු වටේ ඉන්නවා. ඔහුගේ නිර්මාණ රසවිඳින පිරිස ඊට වඩා වැඩියි. කාලී යූටියුබ් නාලිකාව නම් ආරම්භවෙලා තියෙන්නේ 2016 දී විතර.

කොහොම නමුත් කාලී හිතන්නේ රාමුවෙන් පිට. ඒක ඔහුගේ නිර්මාණ සංකල්ප හරහා පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් කාලී කරන කියන දෙයකට ඔයාට හිනා යන්න පුළුවන්. නමුත් කාලී කියන්නෙ විහිළුකාරයෙක් නෙවෙයි. එතකොට කාලී කියන කරන දෙයක් ඔයාට පළවෙනි පාර නොතේරෙන්න පුළුවන්. ඒත් ඒකේ මොනවාම හරි දෙයක් තියෙනවා. 

යූටියුබ්කරුවෙක් විදිහට ඔහුගේ තව විශේෂත්වයක් තියෙනවා. කාලී කාලෙන් කාලෙට මතුවෙන සමාජ මාතෘකා යටතේ නිර්මාණ කරන්නෙ නෑ. කාලීගෙ නිර්මාණ පොදුවේ ඕනෑම කාලයක් කෙනෙක්ට රසවිඳින්න පුළුවන් විදිහට තමයි ඔහු සිදු කරන්නෙ. ඒක යම් ආයාසයක් යොදවමින් කරන කටයුත්තක් කියලා පැහැදිලියි.

උදාහරණ විදිහට කාලීගෙ "ආදර කවය", “හොරකම" වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිර්මාණ භාවිතය සාම්ප්‍රදායික යූටියුබ් නිර්මාණකරණයට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා අතරමං කරනවා වගේ වැඩක් තමා කලී කරන්නෙ. කොහොම වුණත් ඔහු වටා ඉන්න රසික සමාජය ඒ අතරමං වීමට කැමතියි.

කාලී වෙනස් චරිතයක් විදිහට ලෝකයට පෙනෙන හේතුව අපි ඉදිරිපත් කරපු කරුණුවලට වඩා තරමක් වෙනස්. ඔහුගේ පෙනුම තමා කාලී වෙනස් චරිතයක් විදිහට ලෝකයට පේන්න හේතුව. මුහුණ පුරා වවපු ලොකු රුවුල, එතකොට ඔහු අඳින පළඳින විදිහ, කතාබහ කරන විදිය වගේ දේවල්. ඇත්තටම ඔහුට අනන්‍යතාවක් තියෙනවා.

කාලී කියන්නෙ එක කුසලතාවක් විතරක් එක්ක ඉදිරියට යන චරිතයක් නෙවෙයි. කාලී වෙලාවකට ගායකයෙක්. ගිටාරයක් අතේ තියාගෙන ඔහු ගයනවා. රුප් එකක් කියනවා. ඒකේ වෙනස්ම හැඩක් තියෙනවා. තව වෙලාවකට ඔහු සටන් ජවනිකා නිරූපණය කරනවා. අපි ඔහුව ටෙලි නිර්මාණවලත් දකිනවා. එතකොට ඔහු විශේෂ හැකියා සහිත සටන් නළුවෙක්.

ඒ සියල්ලම අතර අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙන වෙළෙඳපොළ තුළ ඔහු තමන්ට වටිනාකමක් නිර්මාණය කර ගන්න චරිතයක්. එතකොට ඔහු ව්‍යාපාරිකයෙක් වගේ පේන්න පුළුවන්. ඔහු වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් නිර්මාණය කරනවා නම් නිර්මාණයේ අගය ඔහු බාල කර ගන්නේ නෑ. 

ඉතින් කාලී කියන්නෙ සැබෑ දක්ෂයෙක්. ඒකේ තර්කයක් නෑ. කොහොම නමුත් ඔහු පෙනුමට වඩා තරුණයෙක්. ඒ නිසාම අපි විශ්වාස කරන්නෙ මේ අමුතු චරිතය තවදුරටත් දිදුලාවි. අනාගතයේ කාලීගේ නිර්මාණ සංකල්පයට විශාල අගයක් ලැබේවි. මොකද, කාලී කියන්නේ ඊළඟ පරපුරේ නිර්මාණවේදියෙක්.

නිසල්