රූපවාහිනි අවුරුදුකුමරිය වෙලා කලාවට ආව අපේ තරු
අද පුංචි තිරයේ වැඩිපුරම දක්නට සිටින රංගන ශිල්පී ශිල්පිනියන් අතරින් වැඩිම පිරිසක් අවුරුදු කුමර කුමරියන්. කලා ක්ෂේත්රයට අවතීර්ණ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ තරුණ තරුණියන්ට මේ තරඟාවලි මහඟු පිටිවහලක් ඔවුන්ගෙ ගමන් මඟ ඉදිරියට යන්න. ඒ විදියට ඉදිරියට ගිහින් ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් දිනාගත් සුන්දර අවුරුදු කුමරියන් කිහිප දෙනෙක් මෙවර සඳැල්ලට එකතු කරගන්න හිතුවා. අපි ඔවුන්ගෙන් ජීවිතේට වාසනාව ගෙනාවෙ කොහොම ද කියනදේ. ඔවුන් පිළිබඳව ඔවුන් දැක්වූ අදහස් තමයි මේ.
අවුරුදු දෙකෙන්ම සම්මාන - රුවන්ගි රත්නායක
මම 2010 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරඟයට සම්බන්ධ වුණා. ඒ තුළින් මට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම මම හිතුවෙවත් නැති විදියට තමයි ඒ ජයග්‍රහණය ලබාගන්න හැකි වුණේ. ඉතින් ඒ හරහා මට ඉතාමත්ම කෙටි කළකින් කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. පොඩි කාලේ ඉඳන් මම කලාවට ආස කළත් කලාව වෘත්තියක් විදියට තෝරාගන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. නමුත් මේ තරගයේ ජයග්‍රහණයත් එක්ක කලා ක්ෂේත්රයේ ගොඩාක් දේවල්වලට ආරාධනා ලැබුණා. ටෙලිනාට්‍ය රංගනයට, සිනමාවට සහ වෙළඳ දැන්වීම්වලට වගේම නිවේදනයටත්. ඒ ආරාධනා එක්ක මම කලා ක්ෂේත්රයට පිවිසුණේ. එතැනින් පසුව අවුරුදු 2 ක් වගේ කෙටි කාලයක දී 2012 වසරේ මට හොඳම නැගී එන නිළිය සම්මානය ලබාගන්න හැකිවෙනවා.
ඒ වගේම 2013 වසරේ සුමති සම්මාන උළෙලෙ ජනප්‍රියම නිළිය සම්මානයත් ලැබෙනවා. ඉතින් ඒ තරමට ජයග්‍රහණයක් ප්‍රේක්ෂක ආදරයක් ජනප්‍රියත්වයක් ලබාගන්න මට හැකිවුණේ බක් මාසයේ අවුරුදු කුමාරි තරඟය ජයග්‍රහණය ලබාගන්නට හැකිවුණ නිසා. ඒ නිසාම මම ඒ මාසයට ගොඩාක් කැමැතියි. ඒ වගේම 2010 අවුරුද්දත් මගේ ජීවිතේ මතකයේ රැඳෙනම අවුරුද්දක්, මගේ ජීවිතයට වාසනාව ගෙනාපු.
කොරෝනා මැද්දෙන්... - හේෂානි ලියදිපිට
මම 2021 දෙරණ අවුරුදු කුමාරි තරඟයට සම්බන්ධ වුණා. ඒ තුළින් මට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඒ අවුරුද්දේ රටේ පැවැතුණේ දුෂ්කර කාල සීමාවක්. මොකද කොරෝනා වසංගතයෙන් ලෝකයම ගිලගෙන තිබුණෙ. ඉතින් අපි ඒ කාලෙ අවුරුදු කුමාරිය තරඟයට සම්බන්ධ වෙලා මූලික තරඟවලට මුහුණ දීලා අවසන් තරඟ කරුවනුත් තෝරාගෙන හිටියේ.
අවුරුදු කුමරියෝ 12 යි අවුරුදු කුමාරයෝ 12 යි. ඉතින් අපි අවසන් තරඟයට මුහුණ දෙන්න ළංවෙලා තියෙද්දීම මේ තරඟය පවත්වන්න විදියක් නැහැ රට වහනවා කියලා කිව්වා. නමුත් දෙරණ නාළිකාවෙ නිෂ්පාදක මණ්ඩලය කොහෙත්ම මේ තරගය අතහරින්න බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. අපිටත් කිව්වෙ බලාපොරොත්තු නැති කරගන්න එපා කියලා. ඉතින් නිෂ්පාදක මණ්ඩලයෙන් අපිට කිව්වා අපි පුහුණුවීම්වලට කරපු දේවල් ටික වීඩියෝ කරලා එවන්න කියලා. ඇවිදින විදිය, කතාබහ කරන විදිය, රංගනය, නර්තනය හැමදේම. ඒ වීඩියෝ ක්ලිප්ස් බලලා තමයි විනිශ්චය මණ්ඩලයක් යටතේ අපිව තෝරා කරගත්තෙ. ඉතින් ඒ විදියට ප්‍රශ්න ගොඩාක් මැද තමයි මම අවුරුදු කුමාරියක් වුණේ. බාධක මධ්‍යයේ වුණත් අවුරුදු කුමාරි තරඟය ජයග්‍රහණය කිරීම නිසා තමයි මට අද වෙද්දී ඉතාමත් සුළු කාලසීමාවක දී කලා ක්ෂේත්රයට එන්න ලැබුණෙ.
ඉතින් අද රංගන ශිල්පිනියක් විදියට ලොකු ප්‍රතිචාරයක් ආදරයක් මම ලබාගන්නවා. ඒ ප්‍රතිචාර ආදරය මම ලබාගන්නෙ මේ තරඟයට සම්බන්ධවුණු නිසානෙ. ඒ නිසා අවුරුදු මාසය කියන්නෙ මගේ ජීවිතේට ලොකු වාසනාවක් ගෙනාපු මාසයක්.
අඬ අඬා ගිය ගමනක් - ශලනි ප්‍රනාන්දු
මම 2018 වසරේ තමයි දෙරණ අවුරුදු කුමාරි වුණේ. ඇත්තටම මම මේ තරඟයට සම්බන්ධ වෙන්න කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ පුංචි තමයි මේ වෙනුවෙන් මාව සම්බන්ධ කරවන්නෙ. තරඟයට සම්බන්ධ කරලා මගේ ගම් ප්‍රදේශයේ මීගමුවෙ ඉඳලා කොළඹට එනකම් මම ඇඬුවා. අම්මා එක්කවත් කතා කළේ නැහැ තරහට. ඒ තරහෙන් හිටියෙ ඇත්තටම ගැහැණු ළමයි සාමාන්‍යයෙන් ඉදිරියට යන්න, තැනකට ගිහින් කතා බහ කරන්න ලැජ්ජයිනෙ. ඉතින් මම ඇඩුවෙ ඉස්සරහට ගිහින් ආයුබෝවන් කියලා නම කියන්න තියෙන ලැජ්ජාවට. එදා ඒ අඬ අඬා ගිය ගමන ගැන අද වෙද්දිනම් තියෙන්නෙ මාරම සතුටක්.
මොකද අද කලා ක්ෂේත්රයේ රංගන අංශයේ ශලනි ප්‍රනාන්දු කියලා කෙනෙක් ඉන්නේ එදා ඒ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වුණ නිසා. ඉතින් අද වෙද්දී මම අවුරුදු කුමරිය වෙලා අවුරුදු 5 ක් වෙනවා. ඒ අවුරුදු 5 ඇතුළත මම ලබාගත්තු දේවල් ගොඩයි, විශේෂයෙන් ප්‍රේක්ෂක ආදරය, මේ හැමදේම එක්ක බලද්දී අප්‍රේල් මාසය කියන්නෙ මගේ ජීවිතේ අමතක නොවනම මාසයක්. ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා කියන්න පුළුවන්. කොහොමත් අවුරුදු මාසය ලබද්දී කොහාගෙ හඬත් එක්ක මගේ හිත දුවන්නෙම 2018 අවුරුදු කුමාරි තරඟයට.
දැන් වැඩ ගොඩක්... - නෙත්මි රොෂෙල්
2019 වසරේ ජාතික රූවාහිනියේ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ ජයග්‍රහණයත් එක්ක මගේ ජීවිතේ ලොකු වෙනසක් ලොකු පෙරළියක් ඇති වුණා කිව්වොත් නිවැරදියි.
මොකද මම හිතුවෙවත් නැති විදියේ ක්ෂේත්රයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ කලා ක්ෂේත්රයට සම්බන්ධ වීමට. ඉතින් අද කලා ක්ෂේත්රයේ මම රංගන අංශයටත් නිවේදන අංශයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
මේ දේවල් එක්ක එකතුවීමත් එක්ක මම ගොඩාක් සතුටින් අද ජීවත් වෙන්නේ. ඇත්තටම අවුරුදු කුමාරි තරඟය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුළුවන්.
මොකද නොහිතපු විදියේ කාලයක රංගනයෙන් වගේම නිවේදනයෙන් එකතුවෙලා ප්‍රේක්ෂක ආදරය ලබාගන්නවා කියන්නෙ මගේ ජීවිතේට ලැබුණු ලොකු වාසනාවක් කියලා මට හිතෙන්නෙ.
ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරයට මමත් ගොඩාක් ආදරෙයි. අද කොහේ ගියත් මාව හඳුනගෙන කතා බහ කරන අය ඉන්නවා. ඉතින් ඒ හැමදේම ලැබුණෙ අවුරුදු කුමාරිය තරගය නිසානෙ. කොහොමත් අප්‍රේල් කියන්නේ හරිම ලස්සන වාසනාවන්ත මාසයක්. අපි කව්රුත් ඒ මාසෙට ගොඩාක් කැමැතියිනෙ. ඉතින් මගේ ජීවිතේ වෙනස් කරපු වාසනාව ගෙනාපු මාසෙ තමයි මේ. ජීවිතේ කවදාවත්ම අමතක කරන්න බැරි.
අවුරදු හතරකදි ආ දුර - ගීත්මා බණ්ඩාර
මම 2018 වසරේ හිරු නාළිකාවේ අවුරුදු කුමාරි දෙවන ස්ථානය දිනා ගත්තා. ඒ ජයග්‍රහණයත් එක්ක තමයි මට කලා ක්ෂේත්රයට පා තබන්න අවස්ථාව ලැබෙන්නේ.
ඇත්තටම මම ගොඩාක් කැමැත්තෙන් හිටියෙ නිවේදනයට එකතුවෙන්න. නමුත් අවුරුදු කුමාරි තරඟය ජයග්‍රහණය කළ වසරෙම මට නොහිතපු විදියට රංගන ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.
මගේ සැඟවුණු දක්ෂතාවයක් එළියට ඇවිල්ලා රංගන ශිල්පිනියක් විදියට සාර්ථක ගමනක් එන්න මට හැකිවෙනවා. ඇත්තටම ඒ ගැන අද වෙද්දී ගොඩාක්ම සතුටුයි.
මොකද මගේ රංගනයට ආදරය කරන ලොකු පිරිසක් මේ වෙද්දී මගේ වටා ඉන්නවා. අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 4 ක්. ඒ ගතවුණු අවුරුදු 4 තුළ මට ලැබුණු දේවල් ගොඩායි.
ඇත්තටම ඒ ගැන වචනවලින් කියන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ. මගේ පුංචි තමයි මේ තරගයට මාව අයදුම්පතක් දාලා යොමු කරන්නෙ. ඇත්තටම මම හිතුවෙ නැහැ මේ තරම් ආදරයක් එක්ක ලස්සන ගමනක් එන්න ලැබෙයි කියලා.
ඉතින් ඒ ගැන සතුටුයි. අප්‍රේල් මාසෙ ඉල්ලද්දී ඒ හැමදේම ඉතින් මතකයට එනවා. ඒවා හරි සුන්දර කාල සීමාවක්.
යෙහෙළියන්ගේ හීනයක්... – ඉෂානි විජේතුංග
මම 2017 වසරෙ තමයි අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වුණේ. ඒ දෙරණ නාළිකාවේ පැවැත් වුණු තරඟාවලියට. ඒ තුළින් මට දෙවන ස්ථානය ජයග්‍රහණය ලබාගන්න හැකිවෙනවා. ඇත්තටම මටත් වඩා මේ තරඟයට මාව සම්බන්ධ කරන්න ඕනැ වුණේ මගේ අම්මට සහ මගේ යාලුවන්ට. ඉතින් මගේ යාළුවෝ තමයි දෙරන අවුරුදු කුමාරි තරඟයට අයදුම් පත යොමු කළේ. ඉතින් ඒ හැමෝගෙම කැමැත්ත අනුව මම සම්බන්ධ වෙලා ජයග්‍රහණය කළාම හිතුවෙවත් නැති විදියට තමයි මට කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. ඇත්තටම මම මේ ක්ෂේත්රයට යොමුවෙන්න හිතකවත් තිබුණෙ නැහැ. නමුත් ඒ ක්ෂේත්රයටත් සම්බන්ධ වෙලා රංගන ශිල්පිනියක් විදියට මට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගන්නට හැකි වුණා.
ඉතින් ඒ ප්‍රතිචාර කොහේ ගියත් ලැබෙනවා. පාර තොටේ වුණත් මාව හඳුනගෙන කතාබහ කරන පිරිසක් ඉන්නවා. ඒ ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ හැමදේම මට ලැබුණෙ අවුරුදු කුමාරි තරඟයට සම්බන්ධ වුණ නිසානෙ. ඒ නිසා ඒ මාසය මගේ ජීවිතේට ගොඩාක් වැදගත්. හරිම වාසනාවන්ත මාසයක් විදියට මම දකින්නෙ. ජීවිත කාලෙම මේ මතකයන් සොඳුරුම මතකයන් විදියට මගේ හිතේ රැඳිලා තියෙයි.
හීනයක් වගේ... - දිලිනි ලක්මාලි
මම 2008 වසරෙ තමයි ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළේ. ඊට පෙරත් මම පාසලේ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වෙලා ජයග්‍රහණය කළත් ප්‍රසිද්ධ මාධ්‍යයක පළමු වතාවට තමයි මෙවැනි තරඟයකට සම්බන්ධ වුණේ. මේ තරඟයේ අවසන් 15 දෙනා අතරට තේරී පත් වුණාට ජයග්‍රහණය කරන්න ලැබෙයි කියලා නම් හිතුවෙ නැහැ.
මේ අවසාන තරඟය තිබුණෙ අප්‍රේල් 14 වෙනිදා. ඒ මාතර කඹුරුපිටියෙ. ඉතින් එදා අවුරුදු කුමාරි කියලා පළවෙනි ස්ථානයට මගේ නම කිව්වම මට අදහාගන්නත් බැරිවුණා. මගේ නම කිව්වත් මම ඔහේ හිටගෙන ඉන්නවා. එදා ඒ තරඟය විනිශ්චය කරන්න ඇවිල්ලා තිබුණේ ඕෂධී හේවාමද්දුම අක්කා ඇතුළු ටෙලිනාට්‍ය කලාවේ ජනප්‍රිය තරු කිහිපයක්. ඉතින් ඒ කලාකරුවන් එක්ක මට අද රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් ඇත්තටම හරි අමුතු සිදුවීමක්. මේ අවුරුදු කුමාරි තරඟය මගේ ජීවිතේට වාසනාව ගෙනාපු තරගයක්. ඒ හරහානෙ මට කලා ක්ෂේත්රයට එන්න ලැබුණෙ. ඉතින් මම ගොඩාක් ආදරේ කරන මාසයක් තමයි අප්‍රේල්. අවුරුදු කුමාරි වෙලා අවුරුදු 14 ක් ගත වුණත් ඒ මතකය ඒ විදියටම තමයි. විශේෂයෙන් අප්‍රේල් මාසෙ ඒ මතකයන් අලුත් වෙනවා වැඩියි. කොහොමත් අප්‍රේල් කියන්නේ වාසනාවන්තම මාසයක්.
අම්මාගේ පැතුම - දමිත්‍රි සුබසිංහ
මම 2019 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය තමයි ජයග්‍රහණය කළේ. මේ තරඟයට අයදුම්පතක් යොමු කළේ මගේ අම්මා. අම්මාට තමයි ගොඩාක්ම ඕනෑ වුණේ මාව මේ ක්ෂේත්රයට සම්බන්ධ කරවන්න. මොකද කලාවට පොඩි කාලෙ ඉඳන්ම මගේ නැඹුරුවක් තිබුණ නිසා. නමුත් කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යනවා කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ.
ඉතින් අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වෙලා අවසන් 12 දෙනා අතරට තේරීලා එහි මිනි පැජ්න්ට් එකක් වුණු සුන්දරතම සිනහව ජයග්‍රහණය කරන්න ලැබෙනවා මුලින්ම. ඉන්පසුව තමයි ඒ තරගයේ අවුරුදු කුමරිය වෙන්නත් වාසනාව ලැබෙන්නෙ. ඒ ජයග්රහණයන් හරහා තමයි කලා ක්ෂේත්රයට එන්න පාර කැපෙන්නෙ. ඇත්තටම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ මේ තරඟය තමයි.
මේ තරඟාවලියේ ජයග්‍රහණයක් එක්ක ආපු ගමන් මගේ ඒ සතුට කියලා නිම කරන්න බැහැ. මොක ද අද වෙද්දී මට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන චරිතවලින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හරහා ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ඒ ආදරය අති විශිෂ්ටයි. ඉතින් බොහොම කෙටි කලකින්ම මේ වගේ ගමනක් එන්න මට ලැබුණේ මේ අවුරුදු කුමරිය තරඟය හරහා ඒ තරඟය මගේ ජීවිතේට ලොකු වාසනාවක් වගේම ආශීර්වාදයක් වුණා. කොහොමත් අවුරුදු මාසය කියන්නෙ අපි කව්රුත් කැමති ආදරේ කරන මාසයක්නෙ. ඉතින් මගේ ජීවිතෙත් 2019 අප්‍රේල් කියන්නෙ සදා මතකයේ රැඳෙන මාසයක් සහ අවුරුද්දක්.
ධනු විජේරත්න