රුපියලක්වත් එපා කියමින් ගී තනු මවන තරිඳු
සඳත් නැති දාක
තුන් යාමේ අමාවක මකා
සිධංගන දෑස
කියා දුන්නු ආලේ කතා.. අසමින් මම අකීකරු පෙම් කතාවක් අස මොහොතකට නැවතුණෙමි.
සීත හිම මත වතාවක්
නිමවුණා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු
අකීකරු පෙම් කතාවක්.. ඒ පෙම් කතාව අසමින් හුදෙකලාවක ඔහේ ඇවිදිද්දී
මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසං වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
යැයි ගයන ළිහිණියක හඬ මට ඇසිණි. ඒ ගී සංධ්වනියේ මිහිර මෙතෙකැයි කෙසේ කියන්නද? කාට කියන්නද? යි මට හැඟුණේ නුඹත් මා ළඟ නැති වග දැනුණු ඇසිල්ලකය.
රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා...
ඉනික්බිති ඒ ගී චාරිකාවේ මුදුන් මුල ළඟ නැවතෙද්දී අපි හමුවුණොතින් යැයි තිවංක ලක්මාල් ගයනු මට ඇසුණි. ඔබට කියන්නට මා සිත නැවතුණු මේ හැම ගීතයක්ම ශාස්ත්‍රීය සෞන්දර්යාත්මක රසයක් මවමින් සංනාදවත් කළේ ඉගිල්ලෙන මාළුවෝ (flying fish) සිනමා රූපකාරකයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ජාත්‍යන්තරයේ සම්මානනීය ඇගයුමට පාත්‍ර වූ අද්‍යතන පරම්පරාවේ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකි. තරිඳු ප්‍රියංකර ද සිල්වා ඔහුය.
තරිඳු මෙතෙක් ආ මඟ මතක මංපෙත ඇවිදිමින් මම ඔහු හා මහනුවරටම ගියෙමි.
සාමාන්‍ය පෙළ දක්වා මාවිල්මඩ මධ්‍ය මහා විද්‍යාලයෙනුත්, ඉන්පසු මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනුත් අකුරු ශාස්ත්‍රය හැදෑරූ තරිඳු සංගීතයට යොමුවීම අහම්බකාරයක්ම නොවූයේ පහන් තාරකාවක් සේ යන මඟ කියා දෙන්නට පුංචි සන්ධියේ සිටම ආදරණීය පුංචි අම්මා කෙනෙක් සෙවණැල්ලක් සදිසිව ඔහු සමඟ සිටි හෙයිනි.
ඔව් මම පුංචි කාලේ මගේ අම්මා තාත්තා හිටියේ රත්තොට. මට තව එක නංගියෙක් හිටියා. මම හැදුණේ වැඩුණේ මගේ අම්මාගේ අම්මා තාත්තාගෙ ළඟ නුවර. ඒ ආච්චියි සීයයි අද ජීවතුන් අතර නෑ. ඒත් අදටත් මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ආදරේ කාටද කියලා කෙනෙක් මගෙන් ඇහුවොත්, මගේ හිතට වැඩියෙන්ම දැනුණෙ කවුද කියලා කෙනෙක් මගෙන් ඇහුවොත්, මගේ උත්තරය ආච්චි සහ සීයා. ඒ තරම් ඒ දෙන්නට මම ආදරෙයි.
හැබැයි අපි හැමෝගෙම ජීවිතවල වීරයෙක් ඉන්නවනේ. මගේ ජීවිතයේ හිටපු ඒ වීරයා තමයි ධම්මි පුංචි. මගේ අම්මාගේ ලොකු නංගි. ජීවිතයේ හරිම දුෂ්කර ගමනක් ඇවිත් ජීවිතය දිනාගත්ත හරිම ධෛර්යවන්ත, මගේ ජීවිතයේ පරමාදර්ශීම චරිතය තමයි ඇය. පමුණුවට ගිහින් රුපියල් තුන්සීයකට රෙදි කෑලි අරගෙන ඇවිත් පාපිසි මහලා ඊට පස්සේ රත්තරන් මාලේ උගස් කරලා රෙදි අරගෙන පුංචි ව්‍යාපාරයක් පටන්ගත්ත මගේ පුංචි අම්මා අද මහා පරිමාණ එයාගේම ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන යන ඉතා ධනවත් කාන්තාවක්. හැමදෙයක්ම නිවැරදි විදිහට සැලසුම් කරලා ඒ අරමුණු ඒ විදිහටම ඉෂ්ඨ කරගෙන පුදුම ගමනක් යන කෙනෙක් ඇය. ඕනෑම දෙයක් කෙළින් කතා කරන්න ඇයට ආත්ම ශක්තියක් තියෙනවා. ඇය යමක් කරන්න එපා කීවොත් එය නොකරන්නත්, කරන්න කීවොත් එය කරන්නත් මම හිතන තරමට ඇය මගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක්. මගේ සංගීත හැකියාවන් හඳුනාගෙන මාව ඒ පැත්තට යොමු කරන්න පසුබිම සකස් කර මුල්ම අඩිතාලම නිර්මාණය කළේ ධම්මි පුංචි...
තරිඳු ඒ ගමන් මගේ එක් මතකයක් භක්ත්‍යාදරයෙන් සිහිපත් කරයි.
2010 පෙබරවාරි 28 වැනිදා තරිඳු එංගලන්තය බලා ගියේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. එහෙත් දෛවය ඒ ගමන් මඟ වෙනස් කළේය.
ඒ කාලයේ ඇත්තටම ආර්ථික ප්‍රශ්න අමාරුකම් දැනුණු කාලයක්. දිගටම අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මට බැරි වුණා. ඒ නිසා මම රුකියාවකට ගියා. මුලින්ම රුකියාව කළේ ''ක්ලීනර්'' කෙනෙක් විදිහට. එහෙත් කෙටි කාලයක් තුළ ජීවිතයේ ලොකු ගමනක් යන්න මට පුළුවන් වුණා. අද මම එංගලන්තයේ සුපිරි වෙළෙඳසල් එකසිය අසූ හයක් තියෙන සුපිරි වෙළෙඳසල් ජාලයක, එයින් සුපිරි වෙළෙඳසල් 50ක කළමනාකාරීත්වය දරන සේවකයන් 887ක් සිටින සමාගමක දෙවැනියා විදිහට තනතුර දරමින් ඉහළ රැකියාවක් කරනවා. ඒ කියාව නිසාම එංගලන්තයට යමින් වගේම මෙහේ සිටිමින් තාක්ෂණය ඔස්සේ සියල්ල කළමනාකරණය කරමින් මම රුකියාවේ වැඩ කටයුතු සාර්ථකව කරනවා.
සංජීව පුෂ්පකුමාර නිර්මාණවේදියාගේ නිර්මාණයක් වූ ඉගිල්ලෙන මාළුවෝ සිනමා රූපකාරකයේ සංගීත නිර්මාණවේදියා ලෙස එම චිත්‍රපටයට දායකත්වය ලබා දෙද්දි තරිඳුට ඊට අවැසි සියල්ල සපයා ගන්නට වූයේ දුෂ්කරතා මධ්‍යයේය. එහෙත් ඒ සියල්ල ඉවසා දරා සපයා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ නිමැවූ ඒ සංගීතය කොතෙක් ඒ චිත්‍රපටය හා අනුරූපී වූයේද, රසාලිප්ත වූයේද යත් එම චිත්‍රපටය ලද සම්මාන අතරට සංගීතය වෙනුවෙන් සම්මානය ද එක් වූයේය.
ඊට පසුවත් චිත්‍රපට සංගීතය වෙනුවෙන් මට අවස්ථා ලැබුණා. ඒත් මම ඉන්පසු මේ වනතුරු තාම චිත්‍රපටයක් බාරගත්තෙ නැහැ. ඒ ඔහුගේ හඬයි.
තරිඳු පළමුවෙන්ම සංගීතය මුසු කළ ගීතය වූයේ තිවංක ලක්මාල් ලියා තිවංක විසින්ම ගැයූ අපි හමුවුණොතින් ගීතයයි. අභිෂේකා විමලවීර ලියූ කරුණාරත්න දිවුල්ගනේ සහ ඇය විසින් ගැයූ මතක ලන්තෑරුම්, ලක්මි ප්‍රභා රත්නායක ලියූ කාංචනා අනුරාධි ප්‍රනාන්දු ගැයූ අකීකරු පෙම් කතාවක්, නිසල් ගමගේ ලියූ සහන් චාමිකර ගැයූ සිධංගනා, සුසන්ත දන්දෙණිය ලියූ තාරක ගුණරත්න ගැයූ රාත්‍රිය මනරම් කියා ගීතය ඔහුගේ සංගීත සම්මිශ්‍රණයෙන් ප්‍රාණය ලද ගී අතර වෙයි. අද ඉතා පැහැදිලි ගමනක් යන කාංචනා අනුරාධි ක්ෂේත්රයට පය තැබූ පළමු ගීතය තරිඳු සංගීතවත් කළ අකීකරු පෙම් කතාවක් ගීතය වීමද සුවිශේෂී වෙයි.
ශාස්ත්‍රීය නාද රටාවන් අතර සැරිසරන්නට ඔහු දක්වන රුචිකත්වය ඔහුගේ තනු නිර්මාණ අතර සැරිසරද්දී මැනවින් පැහැදිලි වෙයි.
ඇත්තටම බටනලා නාදයට සහ සිතාරයේ නාදයට මම හරි ප්‍රියයි. සිතාරය මගේ තනු නිර්මාණ සඳහා යොදාගන්න ලොකු කැමැත්තක් මගේ තියෙනවා. මම මෙතෙක් නිර්මාණය කළ කිසිම තනුවකට මුදල් අය කරලා නෑ. කවදාවත් එහෙම කරන්නෙත් නෑ. මගේ හෘද සාක්ෂියට එකඟව මම කෙනෙක්ගේ ගීතයක් කරන්න කැමති නම්, මට ඇහෙන කටහඬ ගීතවත් නම්, ඒ කටහඬට මම එකඟ නම්, අවසානයේ හොඳ ගීතයක් ශ්‍රාවකයන්ට තිළිණ කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා නම්, ඒ තමයි මගේ එකම කොන්දේසිය. එංගලන්තයේ ඉඳන් එද්දි 'ස්ටූඩියෝ' එකක් පටන් ගන්න අවශ්‍ය සියලුම බඩු මම ගෙනාවත් ඒවා සියල්ල මම නොමිලේම අවශ්‍ය අයට බෙදලා දුන්නා. දෙන දේවල් ඒ අයගෙන්ම නැතත් තව කෙනෙක්ගෙන් හරි අපිට ලැබෙනවා. ඒක තමයි මම විශ්වාස කරන සොබාදහමේ රීතිය.
වෘත්තිය කලාකරුවෙක් වෙන බලාපොරොත්තුවක් මගේ හිතේ නැහැ. හිතට අවංකව කලාවත් එක්ක රැඳෙන කලාවේදීන් විරල රටක කලාකරුවන් අතර තවත් එක් කලාකරුවෙක් වෙන්න මම කැමති නෑ. මේ මෑතකදි ඉන්දියානු ශිල්පියෙක් මට කතා කළා. ඔහු ආකේශ්. එයාගෙන් මට ඇරියුමක් ලැබුණා ඉන්දියාවට එන්න කියලා නිර්මාණයක් වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. ළඟදිම මම එංගලන්තයට යනවා මගේ රැකියාවේ කටයුතු සඳහා. ඒ ගිහින් ඇවිත් මේ දෙසැම්බරය ගෙවෙන්න කලින් ආකේශ්ගේ ඉල්ලීම වෙනුවෙන් ඉන්දියාවට යාම තමයි මගේ බලාපොරොත්තුව...
කලාව මෙන්ම සංගීතය ද දෙවියන්ගෙන් ලද තිළිණයක් ලෙස මම විශ්වාස කරමි. දෙවියන් විසින් දුන් දේ මිනිසුන් විසින් ව ෙරක අසාධාරණ ලෙස මිල කරන පසුබිමක, සෞන්දර්යාත්මක මනෝභවයන් ඉක්මවා කාසි නෝට්ටු වටිනාකමේ ඉහළට සපැමිණෙන පසුබිමක, සොඳුරු අර්ථවත් ගී නිමැවුම් වෙනුවෙන් තමන් විසින් මවන සුමියුරු සංගීතය කාසි නෝට්ටු කොන්දේසියෙන් විරහිතව දන් දෙන අද යුගයේ අපූරු සංගීතවේදියෙකු ලෙස තරිඳු හඳුන්වන්නට ලැබීම ද ඔහු මැවූ තාල රටා මෙන්ම සොඳුරු වග දැනේ.
සංජු / සේයාරුව - සුමුදු හේවාපතිරණ