රඟපාන්න මට ආරාධනා ඇවිල්ලා තියෙනවා. ඒත් මම බාර ගත්තේ නැහැ. මොකද මට රඟපාන්න බැහැ.
දිනේෂ් ගමගේ කියන්නේ නවක ගායන තරු අතර කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ගායන ශිල්පියෙක් සේම සංගීත අධ්යක්ෂවරයෙක්. "දැනෙනාතුරු මා" ගීතයෙන් රසිකයන් අතර ජනප්‍රිය වුණු ඔහු තමරසා, වැහි බිඳු වැටෙනවා නම්, නෑසුණා, වෙර්ළු මල් වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු ගායකයෙක්. ඒ වගේම දිනේෂ් මේ වනවිට ක්ෂේත්රයේ ප්‍රවීණ, නවක ගායන ශිල්පීන් බොහෝමයකගේ ගීතවල තනු නිර්මාණ කර හමාරයි. ඉතා කෙටි කලකින් තම නිර්මාණ හැකියා විදහාපෑ මේ තරුණයා ඔහුගේ කලාව ගැන අප සමඟ බොහෝ දෑ පැවසුවා.
සංගීත ක්ෂේත්රයට ආවේ කොහොමද?
උසස් පෙළ ඉවර වුණාට පස්සේ මොකක්ද කරන්නේ කියලා අදහසක් නැතුව හිටියේ. රට යන්න අදහසක් මට තිබුණා. ඒත් මියුසික් කරන්න ආසාවක් තිබුණා. ළහිරු (පෙරේරා) අයියායි මනුරංග (විජේසේකර) අයියායි දවසක් ටීවී චැනල් එකකට ඇවිත් කිව්වා ඕඩියෝ ඉන්ජිනියරින්ග් ඉගෙනගන්න ආයතනයක් පටන්ගත්තා, ඒකට අලුත් ළමයි බඳවාගන්නවා කියලා. ඊට පස්සෙ මම ඒ විෂය ගැන හොයලා බලලා ඕඩියෝ ඉන්ජිනියරින්ග් ඉගෙනගන්න තමයි නුවරඑළියේ ඉඳලා කොළඹ ආවේ. ළහිරු අයියා එක්ක එයාලගේ "Music Oven" එකේ විවිධ වැඩ කරන්න ලැබුණා.
දිනේෂ්ගේ සංගීත නිර්මාණයන් ගැන කතා කරමු?
මුලින්ම "වස්ති" ටීම් එකේ අනුෂ්ක උදානගේ "මැරුණු හිතේ" ගීතයේ තනු නිර්මාණය කළා. ඊටපස්සේ මගේ පළවෙනි ස්වතන්ත්‍ර ගීත නිර්මාණය "තමරසා" එළිදැක්වුවා. ඒ ගීතය රසිකයන් ආසාවෙන් ඇහුවා. ඒකෙන් වුණු මෝටිවේෂන් එකත් එක්ක තමයි ගොඩක් ගීත නිර්මාණය කරන්න ගත්තේ. අනුෂ්ක උදානගේ "යමි පයින් යමි", "කොරියව" යන ගීතවල තනු නිර්මාණය කළා. "ඔයයි මමයි" කියලා මම ගීතයක් කළා. තව ටික කාලයක් ඉඳලා තමයි "දැනෙනාතුරු මා" ගීතය නිර්මාණය කළේ.
ගොඩක් අය ඔබ ගැන දැනගත්තේ මේ ගීතයෙන්?
ඔව්. ඇත්තටම ඒක එළිදක්වන්න හිතපු ගීතයක් නෙමෙයි. ඒක අහඹු ලෙස හදිසියේ කරපු ගීතයක්. මමයි කාංචනා අනුරාධියි ගායනා කරන්නේ. ඒ ගීතය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. මේ ගීතයත් එක්ක ගොඩක් අය මට කියලා ගීතවල තනු නිර්මාණය කරන්න කතා කළා. රයිනි චාරුකා, උමාරියා සිංහවංශ, ක්‍රිෂාන් පෙරේරා, රිද්ම පෙරේරා වගේ ගායන ශිල්පීන්ට මම ගීත නිර්මාණය කළා. ඒවා ඉදිරියේදී එන්න නියමිතයි. එහෙම නිර්මාණය කරපු ගීතයක් තමයි සශිකා නිසංසලා අක්කාගේ "චන්ද්‍රා පායන්න" ගීතය. ඒ ගීතයේ තනුව සහ සංගීතය මගෙන්. ගීතය ලිව්වේ මනුරංග අයියා.
දිනේෂ්ගේ නිර්මාණ වැඩිමනක් හින්දුස්තානී සංගීතයට නැඹුරු බවක් පේනවා?
මම හැදුණේ නුවරඑළියේ. මට ගොඩක් හිටියේ දෙමල යාලුවෝ. මම සෙල්ලම් කළේ, ආශ්‍රය කළේ දෙමල යාලුවන්ව. ඔවුන්ගේ ගීත තමයි පොඩි කාලේ ඉඳන්ම මට ඇහුණේ. ඒ ආභාශය මගේ ගීත නිර්මාණවල තියෙනවා. මම දෙමල ගීතයකුත් කළා. ඒකේ නම "මන්නිප්පායා". මට දෙමල කතා කරන්න ලියන්න පුළුවන්. මට හීනයක් තියෙනවා දෙමල ගීත සහිත ඇල්බම් එකක් කරන්න. "දැනෙනාතුරු මා" ගීතයෙත් දෙමල එක කරලා තියෙන්නේ. ඒක ඉන්දීය ගායිකා ශ්වේතා මෝහන් ගායනා කරන්නේ. ඒ ගීය ඉදිරියේදි එළිදක්වනවා. දෙමල ගීත ගයලා ලෝකෙම දෙමල ගීත රසිකයන් අතර ජනප්‍රිය වෙන එක මගේ එක හීනයක්.
ගීත ක්ෂේත්රයේ කාලයක ඉඳන් තිබුණු අඬන ගීත රැල්ල වෙනස් කරපු පිරිසෙන් එක්කෙනෙක් ඔබ?
මම මියුසික් කරන්න පටන් ගත්ත කාලේ තිබුණු රැල්ල ඒක. සරල ගීත ගොඩක් තිබ්බා. ඒ රැල්ලට අපිත් වැඩ කළා නම් ඒ රැල්ලට අපි ගහගෙන ගිහිල්ලා. ඇත්තටම මම සතුටුයි ඒ රැල්ලට හසු නොවීම ගැන. අපි ඒ රැල්ලෙන් බැහැරව නිර්මාණ කරපු නිසා තමයි මිනිස්සු අපිව විශ්වාස කරලා අපේ ගීත රසවින්දෙ. සරල ගීතත් ලස්සන ඒවා තියෙනවා. නමුත් ඒක ව්‍යාපාරයක් විදිහට කරන්න ගියාම ඒ ගීතවල සංගීතයේ සහ පදරචනයේ ප්‍රමිතිය අඩු වීමක් වෙනවා. ඒ නිසයි ඒ ගීතවල වටිනාකම අඩුවෙලා තියෙන්නේ.
තනු නිර්මාණකරණයේදී භාවාතිශය වීම වැදගත්ද?
ගීතයක තනුවක් නිර්මාණය කරන විධි දෙකක් තියෙනවා. පදරචනාවකට තනුව නිර්මාණය කරන්න පුළුවන්. නැතිනම් තනුව නිර්මාණය කරලා ඒකට පදරචනය කරන්න පුළුවන්. මගේ අතින් ගොඩක් වෙලාවට වෙන්නේ තනුව නිර්මාණය කරලා ඒකට පදරචනය කරන එක. තනු හදන විදිහ කාටවත් උගන්වන්න බැහැ. ජීවිතය අපි ලබන අත්දැකීම් සහ අපි ඉන්න මූඩ් එක තමයි මෙලඩි විදිහට හැදෙන්නේ. ඒක ආදරය, විරහාව, දුක, තරහා මේ හැමදේම ඒකට අදාළයි. ජීවිතේ අපි ලබන අත්දැකීම් සහ විවිධ අවස්ථා එක්ක හැදෙන මූඩ් තමයි මෙලඩි කියන්නේ. ඒ තනු මිනිස්සු කැමති විදිහට, ශ්‍රවණගෝචර වෙන්න හදන එක අත්දැකීම් එක්ක වෙන දෙයක්.
නව පරපුරේ ගායකයෙක් වුණු ඔබට ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබෙනවාද?
මුල ඉඳලා වැඩ කරන කාලේ මට ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ජගත් වික්‍රමසිංහ මහත්මයා, සෝමසිරි මැදගෙදර අංකල්, සංගීත් වික්‍රමසිංහ අංකල් වගේ ජ්‍යේෂ්ඨයන්ගෙන් මට හොඳ ප්‍රතිචාර සහ උපදෙස් ලැබෙනවා. ගොඩක් තරුණ අය කියන්නේ ප්‍රවීණයෝ අපිට උදවු කරන්නේ නැහැ කියලා. ඒත් මට ප්‍රවීණයෝ හරිම ආදරෙන් ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. ඒ වගේම ළහිරු පෙරේරා, මනුරංග විජේසේකර, විරේෂ් කුරේ (චිකා) මේ තුන්දෙනා මම මාව විශ්වාස කරන ප්‍රමාණයටත් වඩා මාව විශ්වාස කළා. මම දෙයක් කරයි කියලා එයාලා මාව විශ්වාස කළා. මේ අයියාලා නිතරම මාව දිරිගන්වනවා මගේ වැඩවලට.
චිත්‍රපටියක සංගීත නිර්මාණය කරන්න ලැබිලා නැද්ද?
ඉදිරියේදී තිරගත වෙන්න නියමිත චිත්‍රපටයල ගීත කීපයක් මම නිර්මාණය කළා. ඒ ලංකාවේ පළවෙනි 3D චිත්‍රපටය "ගජමෑන්". ඒකේ සුනිල් පෙරේරා සහ අනුෂ්ක උදාන කියන ගීතයකට තනුව සහ පදරචනාව කළා මම. ඒ චිත්‍රපටයේම මම තව සින්දුවක් කියනවා. තිසර ඉඹුලානගේ අලුතෙන් එන්න තියෙන ටෙලිනාට්‍යයක සංගීතය මම නිර්මාණය කළේ.
ගීත ක්ෂේත්රයට අලුතෙන් එන පරම්පරාව ගැන මොකද හිතෙන්නේ?
රියැලිටි වැඩසටහන්වලින් ක්ෂේත්රයට එන නවක ගායන ශිල්පීන්ගේ ගීත ගොඩක් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. මාරම දක්ෂතා තියෙන ළමයි ගොඩක් ක්ෂේත්රයට එනවා. ඒ ළමයින්ගේ වයසට වඩා බර ගීත ගායනා කරන බවක් පේනවා.
රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද?
රඟපාන්න මට ආරාධනා ඇවිල්ලා තියෙනවා. ඒත් මම බාර ගත්තේ නැහැ. මොකද මට රඟපාන්න බැහැ. ඒ සමහර ටෙලිනාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. මගේ ගීතවල රූපරචනාවල රඟපාන්නේත් ඒ අධ්‍යක්ෂවරුන්ගේ බල කිරීමට.
නිර්මාණි බණ්ඩාරනායක